පෙරළිකාර සී.එච්.ක්‍රීඩකයෝ ලීග් තරගාවලිය ජයග්‍රාහීව නිමා කරති | දිනමිණ

පෙරළිකාර සී.එච්.ක්‍රීඩකයෝ ලීග් තරගාවලිය ජයග්‍රාහීව නිමා කරති

ෆවුස් මොහොමඩ්

අවසන් මොහොතේ හේෂාන් මධුරංග තැබූ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් ප්‍රබල සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 25-24ක තියුණු ජයක් වාර්තා කළ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ සිය අවසන් තරගයත් ජයග්‍රාහීව නිමා කිරීමට සී.එච්.පිල සමත් විය. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනට පත්වූ සී.එච්.පිලේ ස්ථානය ඊයේ පස්වරුවේ නිත්තවෙල පිටියේ පැවැති මහනුවර කණ්ඩායම සහ හැව්ලොක්ස් පිල අතර තරගයෙන් තහවුරු වීමට නියමිතව තිබිණි.

මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වූ සී.එච්.පිල සිය අවසන් තරගයට ක්‍රීඩා කළේ ජාතික සත් සාමාජික රගර් පිලේ නායක සුදර්ශන මුතුතන්ත්‍රීගේ සහභාගිත්වයත් සමගිනි. පසුගිය වසරේ දී හැව්ලොක්ස් පිලට ක්‍රීඩා කළ මුතුතන්ත්‍රී මේ වසරේ තරගාවලියට එක්වූයේ අවසන් මොහොතේදීය. තරගයේ ආරම්භයේදීම නායක කවිඳු පෙරේරාගේ අනගි උත්සාහක දිනුමක් තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීම නිසා ලකුණු 7-0කින් පෙරමුණ ගත් සී.ආර්.පිල අභිබවා ගිය සී.එච්.කණ්ඩායම ලකුණු 10-7කින් පෙරමුණ ගත්තේ සැමුවෙල් මධුවන්ත සාර්ථක කළ දඬුවම් පහරකින් සහ සුදර්ශන මුතුතන්ත්‍රී තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකිනි. එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කරනු ලැබුවේ ද මධුවන්ත විසිනි. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15-14කින් පෙරමුණ ගත් සී.එච්.පිලට දෙවැනි භාගයේදී දැඩි අභියෝගයක් එල්ල කළ සී.ආර්.පිල අවසන් මොහොතේදී ලකුණු 24-20කින් ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී ඒ බලාපොරෛාත්තුව බිඳ දැමීමට හේෂාන් මධුරංග සමත් විය.

නැවියන්ට ජය

මේ අතර ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 50-28 ක දැවැන්ත ජයක් වාර්තා කළ නාවික හමුදා පිල මෙවර තරගාවලියේ අනුශූරතාව අභියසට පැමිණීමට සමත්විය. කෙසේවුවත් නැවියන්ගේ අනුශූරතාව පිළිබඳ බලාපොරොත්තුව ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර සහ හැව්ලොක්ස් පිල අතර තරගයෙන් තීරණය වනු ඇත. එම තරගයෙන් මෙතෙක් අපරාජිත මහනුවර පිලේ ආධිපත්‍ය බිඳ දැමීමට හැව්ලොක්ස් පිල සමත්වූවා නම් අනුශූරතාව හැව්ලොක්ස් පිලට හිමිකර දෙමින් තරගාවලිය නිමාවට පත්වනු ඇත.

කෙසේවෙතත් අනුශූරතාව පිළිබඳ බලාපොරොත්තු ඉහළ දමාගත් නැවියන් තරගයේ පළමුභාගය ලකුණු 22-16කින් නිමා කරගත් අතර තරගය පුරා ගෝල් 6ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කළේය. ගුවන් හමුදා පිල රැස් කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් පමණි.

යුද හමුදාව ජය ගනී

පොලිස් කණ්ඩායම සමග පැවැති සිය අවසන් ලීග් තරගය ලකුණු 43-36කින් ජයගැනීමට යුද හමුදා පිල සමත් විය. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 31-19කින් පෙරමුණගත් යුද හමුදා පිල තරගය පුරා ගෝල් 5ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කළ අතර පොලිස් කණ්ඩායම ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 3ක් වාර්තා කළේය. 

 

නව අදහස දක්වන්න