උතුරේ ජනපතිගෙන් දකුණේ ජනපතිට සංචාරයකට ආරාධනා | දිනමිණ

උතුරේ ජනපතිගෙන් දකුණේ ජනපතිට සංචාරයකට ආරාධනා

‍දකුණු කොරියා ජනාධිපතිවරයාට උතුරු කොරියාවේ සංචාරය කරන ලෙසට උතුරු කොරියා නායක කිම් ජොන්ග්-අන් විසින් සිය අතින් ලියන ලද ආරාධනා පත්‍රය සෝල් නුවර ජනපති නිල නිවසේදී ජනපති මූන් ජේ-ඉන් වෙත බාර දෙනු ලැබීය. ඒ උතුරු කොරියා නායකයගේ නැගණිය කිම් යෝ-ජොන්ග් විසිනි.

උතුරු කොරියා නායක කිම් ජොන්ග් - අන් ගේ සොයුරිය දකුණු කොරියාවේ ප්යෝන්ග්චැන්ග් හිදී ආරම්භ වූ ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා උතුරු කොරියාවේ ඉහළ මට්ටමේ නියෝජිතයින් පිරිසක් ද සමග දකුණු කොරියාවට පැමිණියාය. කිම් යෝ-ජොන්ග් ගේ මෙම චාරිකාව, දෙරට අතර 1950 දශකයේදී ඇති වූ යුද්ධයෙන් පසුව දකුණු කොරියාවට කෙරුණ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය ලෙස සැලකේ.

ශ්‍රමිකයින්ගේ පක්ෂයේ ජ්‍යෙෂඨ සාමාජිකාවකව සිට පසුගිය වසරේදී දේශපාලන මණ්ඩලයට උසස්වීම් ලද කිම් යෝ-ජොන්ග්, දේශ සීමාව හරහා දකුණට යන කිම් පවුලේ පළමු සමීපතම සාමාජිකයා ය. සීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ දී කොරියා දේශයන් දෙක එක ම ධජයක් යටතේ ගමන් කළ අතර උතුරු කොරියාවේ මෙම සහභාගීත්වය දෙපාර්ශ්වයේ සබඳතාව සමීප කරවන්නක් ලෙස ජාත්‍යන්තර කතා බහට ලක් විය. 

නව අදහස දක්වන්න