අන්තර් සමාජ ලීග් රගර් කිරුළ 19 වැනි වරටත් මහනුවරට | දිනමිණ

අන්තර් සමාජ ලීග් රගර් කිරුළ 19 වැනි වරටත් මහනුවරට

 ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරිජා සිය අවසන් ලීග් තරගයේ දී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තබමින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30-28ක ජයක් මහනුවර ක්‍රීඩා සමාජයට ලබා දුන්නේය. මේ ජයග්‍රහණයත් සමග මෙවර අන්තර් සමාජ පළමු පෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ සිය අපරාජිතබව රැකගත් මහනුවර පිල ලීග් කුසලානය අත්පත් කරගත්තේය.

වසර 15ක් පුරා සිය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් මේ සුපිරි ක්‍රීඩකයා ලීග් රගර් තරග බිමෙන් සමුගත්තේ අමතක නොවන සිහිවටනයක් සමගය. නිත්තවෙල ක්‍රීඩා පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයත්, ෆාසිල් මරිජාගේ අවසන් ලීග් තරගයත් නැරැඹීමට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්වී සිටියේය.

පළමුවරට 1994 දී ලීග් රගර් කුසලානය දිනූ මහනුවර ක්‍රීඩා සමාජය ඉන් අනතුරුව දේශීය රගර් තරග බිමේ ආධිපත්‍ය පතුරුවාලමින් වැඩිම ලීග් කුසලාන සංඛ්‍යාවක් දිනාගත් කණ්ඩායම බවට පත්විය. 2001 සිට 2011 දක්වා දශකයක කාලයක් පුරා ලීග් කුසලානයේ සතුට භුක්ති විඳි මහනුවර පිල ඊයේ අත්පත් කරගත්තේ 2015 සිට නොකඩවා දිනූ 4 වැනි කුසලානයයි.

තරගයේ ජයග්‍රහණය හෝ පරාජය තම කණ්ඩායමට කුසලානය අහිමිවීමට හේතුවක් නොවූවත් තරගාවලිය පුරා රැකගත් අපරාජිත බව රඳවා තබා ගැනීමේ අරමුණින් තරග වැදුණු මහනුවර කණ්ඩායම, නායක ගයාන් වීරරත්න තරගයේ 6 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

අනතුරුව 25 වැනි මිනිත්තුවේදී සිය පළමු උත්සාහක දිනුම තැබූ ෆාසිල් මරිජා සිය කණ්ඩායම ලකුණු 12-0කින් ඉදිරියට ගෙන ගියේ නයිජල් රත්වත්ත එය ගෝලයක් බවට පත් කිරීමත් සමගය. ඊට මිනිත්තු 4කට පසුව දඬුවම් පහරක් එල්ල කළ නයිජල් රත්වත්ත සිය කණ්ඩායම ලකුණු 15-0කින් ඉහළ දැමුවේය.

පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර විශිෂ්ට උත්සාහක දිනුමකින් තරගය වර්ණවත් කළ මරිජා ලකුණු 22-0කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට සමත්විය. නයිජල් විසින් එය ගෝලයක් බවට පත් කරනු ලැබීය.

ලකුණු අහේනියකට ලක්ව මහනුවර පිල හමුවේ පීඩනයට පත්ව සිටි හැව්ලොක්ස් පිල දෙවැනි භාගයේදී හිස එසැවීමට සමත්වූ අතර උත්සාහක දිනුම් 4ක්ම තැබුවේය. එම උත්සාහක දිනුම් 4ම ගෝල බවට පත් කිරීමට හැව්ලොක්ස් පිලේ ෆුල් බෑක් ක්‍රීඩක රීසා මුබාරක් සමත් විය. එය සිදුවූයේ දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් දඬුවම් පහරක් සාර්ථක කරගත් නයිජල් රත්වත්ත සිය කණ්ඩායම ලකුණු 25-0කින් ඉදිරියට ගෙන යාමෙන් පසුවය.

හැව්ලොක්ස් පිල තරගයේ 50 වැනි මිනිත්තුවේදී ලකුණු ලබාගැනීම ආරම්භ කළේ සුදම් සූරියආරච්චි තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකිනි. අනතුරුව මිනිත්තු 10ක් ඇතුළත ඔවුන්ගේ හුකර් ක්‍රීඩක ලිස්ටන් ෆ්ලැට්නි තැබූ උත්සාහක දිනුමත් රීසා මුබාරක් ගෝලයක් බවට පත් කිරීමෙන් පසුව හැව්ලොක්ස් පිලේ ලකුණු තත්ත්වය දිස්වූයේ 14ක් ලෙසිනි.

අනතුරුව 70 වැනි මිනිත්තුවේදී ලසිඳු කරුණාතිලක තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දමාගත් හැව්ලොක්ස් පිල සත්කාරක මහනුවර කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. එහෙත් සිය කණ්ඩායමේ බලාපොරොත්තු රැක ගත් ෆාසිල් මරිජා සිය තුන්වැනි උත්සාහක දිනුමත් තබා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 30 දක්වා ඉහළ දැමුවේ ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මැදය. අවසන් මොහොතේ ලසිඳු කරුණාතිලක තම දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූවත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

තරගයෙන් පසුව ක්‍රීඩාලෝලීන්ගේ කරමතින් නිත්තවෙල තම සුපුරුදු පිටිය වටා වටයක් ගිය ෆාසිල් මරිජා ක්‍රීඩාලෝලීන්ට ආචාරය පුද කිරීමට අමතක නොකළේය. ලීග් තරග බිමෙන් සමුගත් ෆාසිල්ගේ ක්‍රීඩා දිවියේ අවසන් තරග කිහිපය එළැඹෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේදී දැක බලා ගත හැකිය. ෆාසිල් මරිජාගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මහනුවර පිලෙන් විශේෂ තිළිණ හා කුසලාන කිහිපයක්ම ඔහුට තෑගි ලැබිණි.

නාවික හමුදා කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව දිනාගත් අතර එම කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩක තිළිණ වීරසිංහ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියාට සහ සමස්ත ලකුණුලාභියාට හිමි සම්මාන 2ම දිනාගැනීම කැපී පෙනුණි.

තරගාවලියේ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලී නානායක්කාර මහත්මිය අතින් ලීග් කුසලානය පිරිනැමීම සිදු කෙරිණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා රගර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත ඒකනායක, ඩයලොග් ආසියාටා සමාගමේ වෙළෙඳ සන්නාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

ෆවුස් මොහොමඩ් 

නව අදහස දක්වන්න