පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිල 80ක් දක්වා ඉහළ යයි | දිනමිණ

පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිල 80ක් දක්වා ඉහළ යයි

ප්‍රින්ස් ගුණසේකර

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හී අප්‍රේල් 4වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 80ක් දක්වා ඉහළ යයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 12කට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන අතර කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට 55ක පිරිසක් ඇතුළත් කොට තිබුණි. එහෙත් ක්‍රීඩා සංගම්වල ඉල්ලීම පරිදි ජාතික තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත නිර්දේශ කොට ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 80ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

අවසන් වරට 2014දී ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 103ක් සහභාගීවූ අතර එහිදී බර ඉසිලීමෙන් සුදේශ් පීරිස් පමණක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ සමගම ක්‍රීඩා අමාත්‍යාංශය පැවැසූවේ පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගවලට යොමු කිරීමට සියලු ජාතික ක්‍රීඩා සංගම්වල අවධානය යොමු විය යුතු බවය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මලල ක්‍රීඩා, පිහිනුම්, බැඩ්මින්ටන්, බීච් වොලිබෝල්, පාපැදි, ජිම්නාස්ටික්, රගර්, වෙඩි තැබීම, ස්කොෂ්, ටේබල් ටෙනිස්, බර ඉසිලීම හා මල්ලවපොර යන ක්‍රීඩාවලට තරග වදිති. 2014දී ස්කොට්ලන්ත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රටවල් 71කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4947ක පිරිසක් එක්ව සිටියහ.

මේ අතර ගොල්ඩ් කොස්ට් බලා පිටත්වීමට නියමිත බොක්සිං ක්‍රීඩිකාවකට ඩෙංගු රෝගය වැළදී ඇති බැවින් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ. වෛද්‍ය උපදෙස් අනුව මේ ක්‍රීඩිකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට උපරිම උත්සහය ගන්නා බව බොක්සිං සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ ට පැවැසීය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන සියලුම කණ්ඩායම් පසුගිය සැප්තැම්බර් මාසයට පෙර තෝරා අවසන් කළ යුතු බව ක්‍රීඩා ඇමැතිවරයා සියලුම සංගම් ප්‍රධානීන්ට නියෝග කොට තිබුණි. කල්වේලා ඇතිව මෙලෙස කණ්ඩායමක් සූදානම් කරන පළමු අවස්ථාව මෙයවූ අතර, තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ඇතුළු සියලු පහසුකම් ලබාදීමට ඇමැතිවරයා එකඟවිය.

ඒ ඒ සංගම් ඉදිරිපත් කරන පුහුණු වැඩ සටහන්වල ස්වභාවය අනුව විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, ක්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්වල පවතින ගැටළු විසදීම ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අවදානයට යොමුව තිබුණි.

නව අදහස දක්වන්න