රොෂේන් සිල්වා පිතිකරුවන් 29ක් අබිබවා ඉදිරියට | දිනමිණ

රොෂේන් සිල්වා පිතිකරුවන් 29ක් අබිබවා ඉදිරියට

 බංග්ලාදේශය සමග පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0කින් ජයගත් ශ්‍රී ලංකා පිලේ නැංගුරම බවට පත්වූ මැදපෙළ පිතිකරු 29 හැවිරිදි රෙෂේන් සිල්වා නව ජාත්‍යන්තර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 29ක් ඉදිරියට ඒමට සමත්ව සිටී.

ඒ සමග ලෝව හොඳම පිතිකරුවන් 50 දෙනා අතරට එක්වීමට ඔහු සමත් වූයේ 49 වැනි ස්ථානය දිනා ගනිමිනි.

තරගාවලිය ආරම්භ වීමට පෙර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 106 වැනි ස්ථානයේ සිටි රොෂේන් ශතකයක් (106) රැස් කිරීමත් සමග 78 වැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසියේය.

අනතුරුව මීර්පූර්හි පැවැති දෙවැනි තරගයේදී පිට පිට අර්ධ ශතක 2ක් (56 හා 70) රැස්කළ ඔහු මුල් ටෙස්ට් ඉනිම 5ක් තුළ අර්ධ ශතක 4ක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු මෙන්ම ලොව සිවුවැනි පිතිකරු ලෙස වාර්තා පොතටද එක්විය.

දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ කුසල් මෙන්ඩිස් ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයේ පසුවන අතර ධනංජය ද සිල්වා 38 වැනි ස්ථානයේම රැදී සිටී.

තරගයට පෙර 9වැනි ස්ථානයේ සිටි නායක දිනේෂ් චන්දිමාල් ස්ථාන 3කින් පහතට වැටී 12වැනි ස්ථානයේ පසුවන අතර දිමුත් කරුණාරත්න (32) හා නිරෝෂන් දික්වැල්ල (45) ස්ථාන 4ක් බැගින් පහතට වැටී තිබේ. බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ ටමීම් ඉක්බාල් (26) ස්ථාන 5කින්ද, මුෂ්ෆිකූර් රහීම් (28) හා මොමිනුල් හක් (30) ස්ථාන 3ක් බැගින්ද පහළ ගොස් තිබේ.

සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 44කට කඩුලු 8ක් දවාගනිමින් පළමු තරගයේදී ඉහළම දස්කම දැක්වු පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එක්වූ අකිල ධනංජය ශ්‍රේණිගත කිරීම්වල පළමු වාරයේදීම 58 වැනි ස්ථාන අත්කර ගැනීමට සමත්ව සිටී. උප නායක සුරංග ලක්මාල් ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 30 වැනි ස්ථානයට පත්වූ අතර ඩිල්රුවන් පෙරේරා (28) ස්ථානයක් පහළට වැටිණි.

වමතින් පන්දු යවමින් වැඩිම කඩුලු දවාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගත් රංගන හේරත් (8) එම ස්ථානයේම පසුවෙයි.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ටයිජුල් ඉස්ලාම් (34) ස්ථාන 2කින්ද, මස්ටෆිසූර් රහ්මාන් (49) ස්ථාන 10කින් ඉදිරියට පැමිණ සිටිති.

මේ අතර තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල එක් ලකුණක් හිමිව තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 94ක් ලබා 6 වැනි ස්ථානයේ පසුවන අතර පස්වැනි ස්ථානයේ පසුවන එංගලන්තයට ලකුණු 99ක් හිමිව ඇත.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්, ඉන්දියාවේ විරාට් කෝලි හා එංගලන්තයේ ජෝ රූට් මුල් ස්ථාන වල පසුවන අතර එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්, දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා හා ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා පන්දු යවන්නන් අතර පිළිවෙළින් එක, දෙක හා තෙවැනි ස්ථානවල පසුවෙති.

- ප්‍රියංකර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...