සම ජයකින් සිම්බාබ්වේ පිල තරගාවලිය 1-1ක් කරයි | දිනමිණ

සම ජයකින් සිම්බාබ්වේ පිල තරගාවලිය 1-1ක් කරයි

ඇෆ්ගනිස්තානය සමග සාජාහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 154ක ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටද සිම්බාබ්වේ පිලට හැකිවිය. තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානයද ජයගත්තේ ලකුණු 154කින් වීම කැපී පෙනුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල කඩුලු 5ක් දැවී ලකුණු 333ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානයට ඕවර 30.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 179ක් පමණි.

ඇෆ්ගනිස්තානය ජයගත් පළමු තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානයද ලකුණු 333ක් රැස්කළ අතර පිළිතුරු ලෙස සිම්බාබ්වේ පිල ලකුණු 179කට දැවී ගොස් තිබීම සුවිශේෂි සිදුවීමක් විය.

ජයග්‍රාහී සිම්බාබ්වේ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 125ක් රැස්කළේ පන්දු 121ක් රැස්කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් හා හයේ පහර 8කින් වර්ණවත් විය. ටේලර් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් පිහිටවූ සිකන්දර් රාසා හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 92ක් රැස්කළේ පන්දු 74ක් පමණක් වැය කරමිනි.

ඩවාල්ට් සඩ්රාන් නොදැවී ලකුණු 47ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී ග්‍රැහැම් ක්‍රීමර් කඩුලු 4ක් හා ටෙන්ඩායි චටාරා කඩුලු 3ක් දවා ගත්හ. දෙපිල අතර තෙවැනි එක්දින තරගය අද (13) සාජාහිදීම පැවැත්වෙයි. 


නව අදහස දක්වන්න

Or log in with...