වැව යෝධයි වතුර හිඟයි | දිනමිණ

වැව යෝධයි වතුර හිඟයි

 1967 ඉඩම් බෙදා එතැන් සිට කුඹුරු අස්වද්දන බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලුණුගල යෝධ වැවට අද දක්වාත් ස්ථිර වතුර පාරක් නැතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුව නිසා කන්න හතරක් පමණ පසුගිය කාලයේ වී වගාව කිරීමට නොහැකි වූ බව පෙන්වාදෙන ප්‍රදේශවාසීහු මෙම වැවට කිරිගල්පොත්තේ සිට ස්ථිර ජල සැපයුමක් ලබාදෙන්නට කටයුතු කරන්නැයි වාරිමාර්ග ජලකළමනාකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති. වැවට එවැනි ස්ථිර ජල සැපයුමක් ලැබුණහොත් ගොවි පවුල් එක්දහස් පන්සියයකට අධික පිරිසක් ජීවත්වන මොරටුවගම, මයිලහින්න, රිටිගහබැද්ද, අම්බලන්පොත, ගලේලන්ද, කන්ඩියලන්ද, කටුතලආරගම, ගඟේයාය, කබැල්ලෑගොඩ, මෑකොළණිය, මුලනේයාය හා ලුණුගල ඡනපදයට සෙත සැලසෙන බව ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලුණුගල යෝධවැව විහාරාධීපති මයිලහින්නේ නන්දරතන හිමියන් - "මේකට ස්ථිර වතුර පාරක් ලබාදෙන්න කියලා අපි කාලෙක ඉඳලා වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා .

මැතිවරණයක් එනකොට ගමට එන කොයි කාගෙනුත් ගමේ ප්‍රධාන අවශ්‍යතාවය මේකයි කියලා පෙන්නලා දිලා තියනවා. නමුත් අදටත් වැඩේ කෙරුණේ නෑ.

පහුගිය කාලේ කන්න හතරක් ම වතුර නැති නිසා වගා කරන්න බැරිවුණා. අහස් දියෙන් තමයි වගාකරන්නේ. කිලෝමීටර් හතරක විතර නල මාර්ගයක් දිගේ හෝ ඇළක් දිගේ මේ වැවට වතුර ගේන්න පුළුවන්. වැවට අපි ඉල්ලන්නේ මැණික් ගඟේ වැඩි වතුර ටික. මේ වතුර පාර වැවට ගේන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රදේශයේ තියෙන පානීය ජල ප්‍රශ්නයටත් ස්ථිර විසඳුමක් ලැබෙනවා.

ඌව පළාත් සභා මන්ත්‍රී කේ.බී. මැදවෙල මහතා - "විහාරාධිපති ස්වාමීන් වහන්සේ වගේම ප්‍රදේශයේ කාන්තා සංවිධානයකින් මට මේ සම්බන්ධයෙන් යෝජනාවක් කරලා ලිපියක් ඉදිරිපත් කළා. මමත් මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. මේ වැවට ස්ථිර ජල සැපයුමක් ලබාදීම කළ යුතු කාලින යෝජනාවක්. මම ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැතිතුමාව මුණගැහිලා යෝජනාව යොමුකළා එතුමා වහාම අදාළ වාර්මාර්ග නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා. ලබන වසරේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව නිලධාරීන් මා සමඟ පැවසුවා.

සටහන සහ ඡායාරූප
ජී.අයි.ආර්. ගරුසිංහ වැල්ලවාය විශේෂ

 

නව අදහස දක්වන්න