පො.ජ.පෙට ලැබුණේ ප්‍රකාශිත ඡන්ද 45%ක් | දිනමිණ

පො.ජ.පෙට ලැබුණේ ප්‍රකාශිත ඡන්ද 45%ක්

 මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් වන අතර එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදුජන පෙරමුණට එරෙහිව බව ද ඇමැතිවරයා පෙන්වාදෙයි.

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ දී ලැබුණු ජනවරම මෙවර පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවත් එම ශක්තිමත්භාවය හේතුවෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. ප්‍රතිඵලය පිළිබඳව මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා. පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ.

හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ. 2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකඟත්වයට පැමිණ තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා පෙරේදා (11) දින මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා, බේරුවල ආසනයේ පරාජයත් සමඟ මම සොයා ගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා. ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැඳී සිටිනවා. එමෙන්ම 2020 වසරෙන් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමටත් කටයුතු කරනවා. 

නව අදහස දක්වන්න