ඔවුහු පතී අමතක නොකළහ ‘පතී වත’ සොඳුරු දවසක මතකය | දිනමිණ

ඔවුහු පතී අමතක නොකළහ ‘පතී වත’ සොඳුරු දවසක මතකය

 ආචාර්ය ධර්මසේන පතිරාජ පිළිබඳ ඔහුගේ සිනමා කාර්ය සාධනය, ඔහුගේ දෘෂ්ටිවාදය, ඔහුගේ මෙහෙවර පිළිබඳ නිරන්තර කතිකාවක නිරතව සිටින්නේ ඔහුගේ සිනමාවට ආදරය කරන ඒ පිළිබඳ නව අරුත් සොයමින් කියවන නවපරපුරේ සිනමාකරුවන්, රසිකයන් හෝ විචාරකයන් පමණක් නොවේ. පතිරාජගේ මිත්‍ර සමාගමය, මුහුණු පොත මිතුරු මිතුරියන්, බ්ලොග්කරුවන්, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය සගයන් මෙන්ම සිනමාකරුවකු ලෙස ඔහුගේ ප්‍රකාශන මාධ්‍යයෙහි වෘත්තීය සගයන් ද පතී පිළිබඳ මතකයෙහිම ජීවත්වෙමින් ඔහු අමතක නොකොට සිටින බව අපට දැනේ; හැඟේ. පතීගේ වියොවට පෙර ඔහු පිළිබඳ ලියැවුණු අතීත මතක සටහන්, තීරුලිපි, මුහුණු පොතට නැවත එක් කළ ද, ඔහුගේ වියොවින් පසුව ඔහු ඇගැයුමට ලක් වූයේ කෙසේද යන්න පිළිබඳ සටහන් වන්නට කාලයක් නොවුණේ ඔහුට තම වෘත්තීය සගයන්ගේ ප්‍රණාමය පුදනු වස් සැලසුම්කොට තිබූ ප්‍රධාන උළෙල පැවැත්වීමට පෙර පතී දිවිසැරියෙන් සමුගත් බැවිනි. එහෙත් ඔවුහු තම සගයා වෙනුවෙන් ඔහු ජීවත්ව සිටියදී පවත්වන්නට සැලසුම් කළ උළෙල ඒ අයුරින්ම නිමාකරන්නට සමත්වූහ. ශ්‍රී ලංකා සිනමාකරුවන්ගේ සංසදය පසුගිය අටවනදා දවස පුරා ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ටයාගේ නිර්මාණ පිළිබඳ ප්‍රත්‍යවලෝකනයක යෙදුණේ පතී විසින් අප වෙත ඉතිරි කොට ගොස් ඇති නිර්මාණ සමුච්චයෙන් තෝරාගත් නිර්මාණ රැසක් නව රසික පරපුරට නරඹන්නට ඉඩ සැලැස්වීමෙනි. පාර දිගේ, මතුයම් දවස, In Search of a Road හා ස්වරූප ඒ අතර විය. එපමණක් ද නොව ආචාර්ය ධර්මසේන පතිරාජ පිළිබඳ සංගෘහිත සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙබසින්ම ලියැවුණු පතී වත නම් වූ ලිපි සංග්‍රහයක් ද එදිනම ජනගත කිරීමත්, ඔහුගේ දෙවන පරපුරෙහි විශිෂ්ට සිනමාකරුවකු වන අසෝක හඳගම විසින් ආරාධිත දෙසුමකින් පතීගේ සිනමා මෙහෙවර පිළිබඳ ඔහු ඇගැයීමත් උළෙලෙහි සෙසු අංග විය. දවස පුරා චිත්‍රපට නැරැඹීමට පමණක් නොව, උළෙලෙහි සමාප්තිය සටහන් කළ දෙසුමට, පතී පිළිබඳ නිමැවුණු අපූරු කෙටි වාර්තා චිත්‍රපටය නැරැඹීමට පතීට ආදරය කරන්නෝ තරංගණියට එක් රැස් වී සිටියහ. පතී වත යන්න අපූරු නිර්මාණශීලී ග්‍රන්ථ නාමයක් සේ මම දකිමි. එහි පතී හඳුන්වා දී තිබූ සිනමාවේදියා, ශ්‍රාස්ත්‍රවන්තයා හා චින්තකයා යන උප ශීර්ෂ ද පතී පිළිබඳ එතෙක් අප කියවා තිබූ අන්වර්ථ නාමවලට එක් වූ අර්ථවත් හැඳින්වීම්ය. Pathiraja, The Man, his work and his art. වම් ඉවුරේ සිනමාකරුවා, සිනමාවේ කැරලිකරුවා ආදී විශේෂණ අතරට පතී වතින් ඔහු දෙස තවත් ඇසකින් බැලීමට අපට හැකිවී ඇතැයි මම විශ්වාස කරමි.

පතී රෝගාතුර වූ පසු ඔහු තනි නොකොට ඔහුගේ මිතුරු සමාජය දිවා රෑ නොබලා ඔහු අසලම සිටියහ. රජය මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පෞද්ගලිකවම ඔහුගේ සුවදුක් විචාළේය. පතීට 50 නමින් පැවැත් වූ උපහාර උළෙලේ දී මෙන්ම මහනුවර කැන්ඩි ලේක් සයිඩ් සාත්තු නිවාසයේ සිටිය දී ද එතුමා පතීගේ සිනමා කලා සම්ප්‍රදානය අගයමින් දෙවතාවක්ම තම පෞද්ගලික ධනයෙන් මූල්‍යාධාර කළ බව, වෝල්ටර් අබේසුන්දර, ධර්මසිරි බණ්ඩාරනායක හා බණ්ඩාර ඇහැළියගොඩ ආදීහු දනිති. ජනාධිපතිතුමා පතීට කෙතරම් ආදරය කළේ ද යත්, ඔහුට ප්‍රතිකාර කළ හැකි ලෝකයේ ඕනෑම රෝහලකට රැගෙන යාමට අවශ්‍ය නම් එසේ ගෙනයාමට රජය කටයුතු කරන බව ද ප්‍රකාශ කොට තිබිණ. ජනාධිපතිතුමා පතී මිය යෑමට පෙර මහනුවරට ගොස් හමුවී සුවදුක් විචාළේ එවන් කලාකරුවකුගේ අගය දන්නා බැවිනි. මුහුණු පොත ඇතැම් පෝස්ටු මගින් රජයක් විසින් කලාකරුවන් රැක ගතයුත්තේ කෙසේද, විශේෂයෙන් පතී පිළිබඳව රජය නිසි කටයුතු නොකළේය වැනි චෝදනාත්මක ප්‍රකාශ දුටු බැවින් සැබෑ තතු මෙලෙස දීර්ඝව කීමට සිදුවූ බව සටහන්කරමි.

පතී එක්තැන්වූ මොහොතේ සිට ඔහුගේ මිතුරු සමාජ මහනුවරට ගොස් ඔහුගේ සුවදුක් විතාළහ. ධර්මරාජයේ මිතුරන්ගේ සිට පේරාදෙණි සරසවියේ මිතුරු ඇදුරු සමාජය, ඔහුගේ සිනමා හා නාට්‍ය, ටෙලිනාට්‍ය, නිර්මාණාවලියට සම්බන්ධවූ කලාකරු නාමාවලිය, පතී දකින්නට නිරතුරුව පැමිණියහ. ඔහුගේ මතක ගබඩාව සුන්දර අතීත මතකයන්ගෙන් පිරී ඉතිරී පැවතිණ. ඔහුගේ සමකාලීන සරසවි මිතුරන් මෙන්ම ඔහු සේවය කළ කැලණිය, යාපනය, රුහුණ, ශ්‍රීපාලි මණ්ඩපය හා කොළඹ විශ්වවිද්‍යාලය ආදී විද්‍යස්ථාන ආචාර්ය මණ්ඩල සගයන් ද එකී සරසවි විද්‍යාර්ථීන් ද පතී අමතක නොකළහ. පතීට කතාබහ කරන්නට තරම් සුවය වූ සෑම මොහොතකම ඔහු සතුටින් සැහැල්ලුවෙන් මිතුරන් හා අතීත මතක ලොවට ගියේය. සල්ලාපයේ යෙදුණේය. ඔහු ජීවිතය සමඟ පොර බැදූයේ මරණයට අභියෝග කරමිනි. ඔහුගේ මානසික ශක්තියම ඔහුගේ ජීවිත කාලය දීර්ඝ කළ බවයි අපගේ හැඟීම.

පතී වත සංග්‍රහයට දායක වූවන්ගේ ලිපි අතර ලංකා විශ්වවිද්‍යාලයේ චිත්‍රපට සංගමයයි, සියවස් භාගයක මමයි ,පතියි, ( අයිවන් වීරක්කොඩි ),පරාරෝපිත මිනිසා ගේ පතිරාජ සිනමාව ( අසෝක හඳගම ) හරසුන් දිවියේ සිනමා විදර්ශනාව ( විමුක්ති ජයසුන්දර ) The Cinematic Ambition of Dharmasena Pathiraja ( ලලීන් ජයමාන්න ) ආදීන්ගේ ලිපි වෙසෙසින් සඳහන් කිරීමට කැමැත්තෙමි. “අපගේ සිනමාවට පතිරාජ කළ වැදගත් සම්ප්‍රදානය නම් ඔහු එක් කළ සබුද්ධික හා සිනමාත්මක විඥානයයි. ( Rational and Cinematic Wisdom) ලාංකේය සිනමාවේ දෙවන පරම්පරාවේ පුරෝගාමියා ලෙස ඔහු අපේ ( තුන්වන පරපුරේ ) ගරු බුහුමනට පාත්‍ර වන්නේ ඒ අරුතින්.“ (අසෝක හඳගම) හඳගම පවසන ලෙසම ඔහු දෙවන පරම්පරාවේ පුරෝගාමියාය. හඳගමලාගේ පරම්පරාවට මඟ පෙන්වූ තීර්ථ යාත්‍රිකයාය. පතී වතට එක් කොට ඇති ලිපි අතර වූ දමිළ ලිපි කිහිපයෙහි සිංහල ඡායානුවාද හෝ වී නම් එය කෙතරම් වටී ද කියා සිතිණ. එලෙසින්ම පතීගේ නිර්මාණ කාර්යය, දිනා ඇති සම්මාන හා ඔහුගේ පූර්ණ ජීව දත්ත ද ඇතුළත් වී නම් අනාගතයේ පතී පිළිබඳ පර්යේෂණාත්මක කියවීමකට අවශ්‍ය විද්‍යාර්ථියකුට ඵලදායී වනු නියතය. එහෙත් විවිධ දුෂ්කරතා මැද, මෙවන් හෝ කෘතියක් අපත'ට පත කළ සෙනෙෂ් දිසානායක බණ්ඩාර, ලාල් හරීන්ද්‍රනාත්, අතුල සමරකෝන්, සුමති සිවමෝහන්, ප්‍රියන්ත ෆොන්සේකා, හා හිනිදුම සුනිල් සෙනෙවි ආදීහු අපගේ බුහුමනට පාත්‍ර වෙති.

පතී තමා විශ්වාස කළ මාක්ස්වාදී දෘෂ්ටියෙහිම පිහිටා කටයුතු කළ නිර්භීත පෞරුෂයක් වූයේය. ජාතිවාදය ඔහු බැහැර කරන්නේ ඔහුගේ පාසල් සමයේ සිට බව අපට දැනේ. පේරාදෙණිය සරසවියේ දී ශිෂ්‍ය මානවකයකු ලෙස නිවැරදි දේශපාලන පන්නරය ලබාගන්නා පති මිය යනතෙක්ම එම ආස්ථානයෙහිම රැඳී සිටියේය. ඔහු දේශපාලන සංසිද්ධී තුළ ජනතා විරෝධී රජය, තීන්දු තීරණවලට එරෙහිව සක්‍රීයව තම විරෝධය පෑවේය. භෞතිකවාදියකු බව අදහස් පළ කිරීමෙන් පමණක් නොව ප්‍රායෝගිකවම ඔප්පු කොට ද සිටියේ තම අන්තිම කැමති පත්‍රයෙන් තමා මිය ගිය පසු අවමඟුල් කටයුතු කෙසේ කළ යුතුදැයි පැහැදිලිවම උපදෙස් දීම තුළිනි. නිසල දේහය අලෙවියට නොතබා හෝරා විසිහතරක් තුළ දවා හළු කොට අවසාන දුම් රොටුව හිස් ගුවනට එක් වන්නට ඉඩ හරින්නැයි ඔහු ලියා තිබිණ. පතී අප අතරින් අකල්හි වියෝවූව ද, ඔහු විසින් මෙරට සිනමාව තුළ ඉතිරි කොට තබා ගොස් ඇති නිර්මාණාවලියේ ගුණසුවඳ, රුවගුණ මතු පරම්පරා ගණනාවක් විසින් ආස්වාදය කරනු ලබන බව නිසැකය. ඔහු පිළිබඳ මතකය අප මතකයෙහි රැඳවූ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට ප්‍රණාමය පුදමි.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]


නව අදහස දක්වන්න