විද්‍යා පටෙල්ගේ මිශ්‍ර නර්තනය | දිනමිණ

විද්‍යා පටෙල්ගේ මිශ්‍ර නර්තනය

 එංගලන්තයේ දේශපාලනයෙහි යෙදුණු ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පුද්ගලයෙක්ට, තම ඡන්ද ව්‍යාපාරයෙහි යෙදී සිටින අතර ඉංග්‍රීසි කාන්තාවක මුණ ගැසුණි. ඔහුගේ කතාව අසා සිටි ඇය නුරුස්නා හඬින් මෙසේ ඇසුවාය.

“ඉතින් උඹලගෙ රටවලට ගිහින් ඡන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ ඇයි? මෙහෙ ආවෙ මොකටද?“

ඒ ඇසූ ශ්‍රී ලාංකිකයා ඇඟට නොදැනී මෙසේ පිළිතුරු දුන්නේය.

“ඔහෙලගෙ අධිරාජ්ජේ ආරක්ෂා කරල දෙන්න, ලෝක යුද්ධවලදී අපි වගේ ආසියාතික මිනිස්සු මිලියන ගණන් ජීවිත පූජා කෙරුවා. එහෙම නොකළ නම් ඔහෙට මාත් එක්ක කතා කරන්න වෙන්නෙ ජපන් නැත්නම් ජර්මන් භාෂාවෙන්!“

‘සුද්දියට‘ කට උත්තර නැති වූ බව කිව යුතුම නොවේ. හුදු උපහාසය පිණිස, මා අතින් මේ කතාව ‘එහා මෙහා‘ වී ඇතත්, මෙය සත්‍ය සිද්ධියක් පදනම් කර ගත්තකි. (මගේ මතකය නිවැරදි නම්, ඔහු බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පක්ෂයේ සාමාජික නිරංජන් දේවාදිත්‍ය විය යුතුය. එසේ නොවේ නම්, මා නිවැරදි කර, කමා කරනු මැන.)

ඉන්දියානු හා ශ්‍රී ලාංකික සෙබළුන් දසදහස් ගණනින් ඉංග්‍රීසි හමුදාවට බැඳී සේවය කරමින් සිටියදී මිය ගිය බව සැබෑවකි. මහනුවර පිහිටි බ්‍රිතාන්‍ය යුද සොහොනේ පිටියට ගිය විට, එසේ මිය ගිය “බණ්ඩලා, අප්පුහාමිලා, සිල්වලා සහ පෙරේරලා“ගේ සොහොන් කොත් දැක ගත හැකිය.

I ලෝක මහා සංග්‍රාමයේ දී, ඉන්දියානු සෙබළුන් මිලියන 1.3කට වඩා සංඛ්‍යාවක් සටනෙහි යෙදුණු බවත්, එය විශාලතම ස්වේඡා බළකාය වූ බවක් ඉතිහාසයෙහි සඳහන් ව ඇත. රටවලට ගොස්, දිවි පරදුවට තබා සටන් කළ ඔවුන් පිළිබඳ මතක අවදි කරවන සංගීතමය නාටකයක් මෙම පෙබරවාරිය මුලදි එංගලන්තයේ, ලෙස්ටර්හි ‘කර්ව්‘ රඟහලේ දී වේදිකාගත වුණි. ප්‍රකට අධ්‍යක්ෂවරයකු හා රංග වින්‍යාසකරුවකු වූ ගැරී ක්ලාක් විසින් අධ්‍යක්ෂණය කරන ලද එය ‘The Troth‘ නොහොත් ‘දිවුරුම‘ නම් විය.

I ලෝක මහා සංග්‍රාම අවදියේ දී, බෙල්ජියමේ යුද අගල්වල සේවයෙහි යෙදුණු සර්දාර් ලෙසනා සිං නමැති ජනප්‍රවාදගත, ඉන්දීය සොල්දාදුවෙකුගේ ප්‍රේම වෘත්තාන්තයක් වටා ගෙතුණු මෙම නාටකයේ පිටපතට මුල්වන්නේ, පැරණි හින්දි ලේඛකයකු වන චන්ද්‍රහාර් ෂර්මා ගුලේරි ( Chandrahar Sharma G‍uleri) ගේ “උස්නො කහා තා“ (“එසේ කියා තිබූ නිසා“ වැනි ඇරුතකි) කෙටිකතාවයි. 1915 දී ප්‍රකාශයට පත් මෙම කතාවේ විශේෂත්වයක් වන්නේ, එය පළමු හින්දි කෙටිකතාව ලෙස සැලකෙන නිසයි. එහෙත් එය විවාදාත්මකය.

රාජස්වාන් ප්‍රාන්තයේ අගනුවර වූ ජායිපූරුහි විසූ චන්ද්‍රහාර් ෂර්මා, පාලි, සංස්කෘත, ප්‍රාකෘත හා හින්දි භාෂා උගතෙකි. ජායිපූර්හි ඇති ‘ජනතා මන්තර්‘ නමැති පෞරාණික ආකාශ වස්තු පරීක්ෂණාගාරය සංරක්ෂණය කිරීමට ද මුල් වූ ඔහු, පුරාවිද්‍යා විෂයෙහි ද මහත් උනන්දුවක් දැක්වූවෙකි. 1960 දී, බිමල් රෝයි විසින්, මෙම කතාව, එනමින්ම චිත්‍රපට ගත කරනු ලැබීය. (බිමල් එහි නිෂ්පාදකවරයාය.) සෙබළ චරිතය රඟපෑවේ සුනිල් දත් විසිනි.

බ්‍රිතාන්‍යයේ, දකුණු ආසියානු නර්තන සංගමයේ (SADOA) නිෂ්පාදනයක් වශයෙන් වේදිකාවට ආ, ‘දිවුරුම‘ සංගීත නාටකයේ ප්‍රධාන නිළි චරිතය සඳහා තෝරා ගැනුණේ, 2015 බී.බී.සී. යොවුන් නර්තන ශිල්පිනි තරගයේ අවසන් වටය නියෝජනය කළ, විද්‍යා පටෙල් (Vidya Patel) ය. ඇය රිචඩ් ඇල්ස්වන් නර්තන සමාගමේ ද ශිල්පිනියකි.

බාලවියේ සිටම කතක් නර්තනය හැදෑරීමට කැපවී සිටින විද්‍යා, පදිංචිව සිටින බර්මිංහැම්හි සිට සතියකට සිවුවතාවක් පමණ නාට්‍ය පුහුණුවීම් සඳහා ලන්ඩනයට ගියාය. විද්‍යාගේ නර්තන ගුරුවරිය වූ සුජාතා බැනර්ජි ද ඈ සමඟ දුම්රිය ගමනයට එක්වෙයි. සුජාතාගේ ලන්ඩන් නිවසේ ඔවුහු නවාතැන් ගනිති. උදෑසන ම අවදිවන විද්‍යා, භාවනාවෙහි යෙදෙයි. පුහුණුවීම් සඳහා නිරවුල් මනසකින් යා යුතු බව ඇය විශ්වාස කරයි. පුහුණුවීම් නිම කර එන ඇය, සුපුරුදු පරිදි තම ගුරුවරියගේ පංතියට ද සහභාගි වෙයි. බී.බී.සි. නර්තන තරගයෙන් සහ, නාට්‍ය රංගනයෙන් විද්‍යාට විශාල මාධ්‍ය ප්‍රචාරණයක් ලැබුණි. එක් සංවාදයක දී ඇය මෙසේ කීවාය. “පාදය කියන්නේ තනිකරම සංගීත භාණ්ඩයක්.“ පාද චලනය තුළ ඇති රිද්මය, එහි සංගීතය, වින්ධ්‍යා පටෙල් නමැති මෙම යොවුන් ශිල්පිනියට මහත් ආලෝකයක්ව ඇති බව, විචාරකයෝ පවසති.

විද්‍යා පටෙල් ලද තවත් ස්වර්ණමය අවස්ථාවක් වූයේ, “An Italian in Madrid“ ගීත නාටකයේ රංගනය සඳහා, සුප්‍රකට අධ්‍යක්ෂ රිචඩ් ඇල්ස්වන් ඇය තෝරා ගැනීමයි.

එය සුප්‍රකට ඉතාලි සංගීතඥ ඩොමිනිකෝ ස්කාලට්ටිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණකි. ස්පාඤ්ඤයට යන ස්කොලට්වි, එහි මාරියා බාබරා කුමරියගේ සංගීතඥයා වශයෙන් සේවය කරයි. ඒ කාලය තුළ ‘සොනාටා මන්‘ (සංගීත රචනා) 150ක් නිර්මාණය කිරීමට ඔහු සමත් වෙයි. ස්පාඤ්ඤ සංගීතය සහ ගිටාරය, ස්කාලට්ටිගේ නිර්මාණ තුළ බහුලව දක්නට ලැබෙයි. මෙම ඉතාලි-ස්පාඤ්ඤ සම්මිශ්‍රණය, රිචඩ් ඇලස්වන් විසින් ද තම නාටකය සඳහා යොදා ගනී. “ඇන් ඉටාලියන් ඉන් මැඩ්රිඩ්“ නාටකය පිළිබඳව, ‘ද ගාඩියන්‘ පුවත්පතේ විචාරය ලියූ ලුක් ජෙනිංග්ස් මෙසේ පවසයි.

“කතක් නර්තන ශිල්පිනිය, ඇගේ රූප ශෝභාව හා ප්‍රතිභාව, මාරිය බාබරා කුමරියගේ චරිතයට මැනවින් එක් කරයි. ඇගේ ඉන්දීය ශාස්ත්‍රීය නර්තන ශෛලිය, යුරෝපා ශෛලිය සමඟ මිශ්‍ර කිරීමට ඇල්ස්ටන් සමත්ව සිටී. ඔහුට දැන් වයස 67කි. එහෙත් තවමත් ‘මන්දගාමී‘ වී නැති බව මෙම නිර්මාණයෙන් පෙනී යයි. “ඉටැලියන් මැඩ්රීඩ්“ ඔහුගේ පමණක් නොව, මේ වසරේ ද විශිෂ්ට කලා නිර්මාණයක් බව, මා පමණක් නොව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

“The Troth“ නාටකය නිපදවීමේ දී, බ්‍රිතාන්‍ය යුද හමුදාවෙන් ලද උපදේශකත්වය ද ඉතා වටනා බව, දකුණු ආසියානු නර්තන සංගමය පවසයි. පළමු ලෝක මහා සංග්‍රාම අවදියේ පැවැති අවිසරඹ, ඇඳුම් පැලඳුම් පමණක් නොව සංගීතය හා ගීත පිළිබඳව ද ඔවුන්ගෙන් උපදෙස් ලැබුණි. නර්තනය පසුබිමේ , පුළුල් තිරය මත යුද්ධයේ සැබෑව පෙන්වන, පැරණි කළු-සුදු වාර්තා පටද, සුදුසු ලෙස ප්‍රදර්ශනය කෙරෙයි.

විද්‍යා පටෙල් පවසන අන්දමට, නර්තනය නැරැඹීම ම නර්තනය හැදෑරීමකි. කල්කටාවට ගිය අවස්ථාවක ඇයට වයස 94ක් වූ කතක් ශිල්පිනියකගේ රංගනයක් නැරැඹීමට ලැබුණි. “නර්තනයට වයස් සීමාවක් නෑ. වයස කියන්නෙ, අත්දැකීම් සහ ප්‍රවීණත්වයයි.“

විද්‍යා පටෙල්ට තව බොහෝ කල් ඇත. ඇය තවත් බොහෝ දේ කරනු ඇත. මහා සංස්කෘතීන් දෙකක් මිශ්‍ර කරමින්, නව නිර්මාණ බිහි කරනු ඇත.

කපිල කුමාර කාලිංග
[email protected]

නව අදහස දක්වන්න