මල් පෙරහර සහ පන්තේරු නැටුම් | දිනමිණ

මල් පෙරහර සහ පන්තේරු නැටුම්

 මතක පද: එයා මගේ පස්සෙන් ආපු කොල්ලෙක්. මම වුවමනාවෙන් ඉස්සරහින් ගිය කෙල්ලෙක්.

අපේ ගෙදරට ගැමුණු ජයන්ත වන්නිනායක එක්කන් ආවේ මගේ සැමියා. එයා ‘මතක පද’ අසා ඒ ගැන ලංකාවේ අයටත් පිටරට ඉන්නා අයටත් කියා, වැඩසටහනට සවන් දෙන්නට ඉල්ලා සිටීම නවතා නැත. ලංකාවේ රේඩියෝවේ ප්‍රචාරය වන එයා ඇහුම්කන් දෙන එකම වැඩසටහන ‘මතක පද’ ය. විවාධාකාර අදහස් ඇති විවිධාකාර සැබෑ මිනිසුන්ට සවන් දීමට ඇති හැකියාව මිනිහෙක් මිනිහෙක්ට ඇති ගරුත්වයක් ප්‍රේමයක් වගේ දෙයක් හැටියට මම දකිමි. කොහොමහරි අද ‘මතක පද’ අහන්න එයාට ලැබුණේ නෑ. කාලෙකට පස්සෙ සෙනසුරාදා වැඩ. ‘අද එන්නේ සන්නා‘ මම නිදි මතේම කීවෙමි. මට සන්නා හෙවත් උපුල් ශාන්ත සන්නස්ගල කියන හැමදේම නොවුණත් බොහෝ දේ 'සෙට්' වේ. එකඟතාවකින් අහන් ඉන්න කැමැත්තක් ඇති වේ. ඒ බව දන්නා නිසා සැමියා එයාගේ ජංගම දුරකථන්යෙන් ‘මතක පද’ සුසර කරවා උණු තේ කෝප්පෙකුත් සමඟ මගේ ඇඳ ළඟ කබර්ඩ් එක උඩ තියා වැඩ කරන කාමරේට පිටත් විය. ලෝකේ කීප තැනකින් එන මිනිස්සු එක එක උච්චාරණවලින් කතා කරන ඒ කොන්ෆරන්ස් කෝල්ස් අහන් ඉන්න මම කැමැති වෙමි. ඒවා මට කවි වේ. වෙන වෙලාවක නම් ඒ කාමරේ ඇඳට වෙලා අහන් ඉන්න ඉඩ තිබුණත් අද මතක පද සන්නාගේ නිසා මම ඇස් දෙක පියාගෙන තේ එක බී ආයේ ඇඳෙ වැතිරී ‘මතක පද’ අසන්නට විමී. ‘මතක පද’ හඬ ඔහුට බාධා නොවීමටත් ඔහුගේ ටෙලිෆෝන් සාකච්ඡාව මට බාධා නොවෙන්නත් කාමර දෙකේම දොරවල් සැමියා වසා දැමුවේය.

උපුල් ශාන්ත සන්නස්ගල තේරූ ගීත සියල්ලම වාගේ මා ප්‍රිය කරන ඒවා වූ මුත්, ඒ අතරින් සංගීත් විජේසූරිය ගේ 'මල් පෙරහැර එන්නා සේ හිඳිමි' සිංදුව වෙනත් අතීත පිරිමියකු ගැන මගේ මතකය ඇවිස්සුවේ, සන්නා විසින් ගීතය පිළිබඳ කළ විවරණය නිසාය. වෙන වෙලාවක ඇසුවා නම් ඒ ගීත මා සිතේ එවැනි සාංකාවක් ඇති නොකරයි.

දහය වසර පන්තියේ සිට උසස් පෙළ විභාගය ලියා ඉවර වෙන තුරුත් මා පාසල් යන එන, අතිරේක පන්ති යන එන තැන්වල රැක සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ කොල්ලෙක් විය. කඩුවෙල පැත්තෙන් බස් රථයට නැඟ මා එනතුරු ඔහු බස් නැවතුමේ බලා සිටියි. සෙනඟ තෙරපුණ බස් රථයේ ඒ වන විට පසුපසටම ගොස් සිටින මා බසයේ ඉන්නවාද කියා හරියටම සොයා ගැනීම බිම සිටින ඔහුට අපහසුය.

බසයේ දොර ඇති පැත්තේ පමණක් වාඩි වීම හෝ සිටිගෙන සිටීම මා නොවැරදීම කරන්නේ ඔහුව මා ද බලාපොරොත්තු වන නිසා වූවත් කිසි දිනෙක ජනේලයෙන් එළියට මුහුණ පොඩ්ඩක් පෙන්වා “මම ඉන්නවා, නඟින්න“ වැනි ආරධනාවක ඉඟියක් දෙන්නේ නැත. මගේ නිල් ටයි පටිය, සුදු ගවුමේ රැලි පවා අඳුනන හුරු පුරුද්දකින් ඉවකින් මෙන් නමුත් ‘ඒ ඈ නොවේ නම්‘ වැනි නොසන්සුන් දෙගිඩියාවකින් ඔහු බසයට නැඟීමට ගන්නා තීරණාත්මක මොහොත මා ඉතා කුරිරු ලෙස වින්දනය කළ මොහොතක්. ඔහු මා වෙනුවෙන්ම කැප වී ඇත වැනි උද්දාමයක් සමහර විටෙක මගේ යටි සිතේ ඇති වී තිබුණා විය හැකිය.

දිනක් මා නිවාඩු දවසක වූ අතිරේක පන්තියක් ඉවර වී නුගේගොඩින් රාජගිරිය පැත්තට යාමට බසයකට නැඟී අසුන් ගතිමි. මා සිටි අසුනේ ජනේලය ළඟ උන් අය බැස යද්දී මා ජනේලය පැත්තට වාඩි වී සිටිද්දීම ලිස්සා ගියේ අනෙක් පැත්තේ කෙනෙක්ට වාඩි වෙන්නට ඉඩ දෙන්නටයි. මා ඇඟලා සිටි ගවුමේ සාය දිගු පැතිරුණු එකක් විය. මගේ ගවුම් සාය අසුනේ පුරා පැතිරී එය වාසා ගෙන උන් නිසා එය අතින් මා පැත්තට අඳින්නට උත්සහ කරද්දී මගෙ මිතුරා, වාඩි වී උන් මගේ ඇස්වලට එබී සැණින් ගවුම අල්ලා නවතා “එපා ඒකට තියෙන්න දෙන්න” නොකියා කියා ඒ මත වාඩි විය. මම ජනේලයෙන් ඉවත බලා ගතිමි.

මේ සියල්ලම වන්නට තත්පර කිහිපයක් ගත වෙන්නට ඇත. නමුත් ජීවිතයේ වින්දනය ඇරඹී එන ඒ තුරුණු වයසේ වූ දෙදෙනකු හැටියට අතින්වත් නො අල්ලා සිප ගැනීමක් නොකර හුස්ම ගන්නා හඬ නො ඇසී ඇසෙන දුරකින් පමණක් සිටින්නට අවසර ඇති ලෝකයක අප අති ස්වාභාවික ගැහැනු ළමයකු පිරිමි ළමයකු වුණ ඒ මොහොත මට නම් කිසි දිනෙක අමතක වන්නේ නැත. අපි කිසිම කතාවක් නැතුව රාජගිරිය දක්වා පැමිණියෙමු.

එදා හිත ඇතුළේ පන්තේරු නැටුම් නටන්නා වාගේ හැඟීමකින් මා එනතුරු මල් පෙරහරක් දකින්නට වැනි බලාපොරොත්තුවකින් ඔහු තැන තැන රස්තියාදු වෙද්දී, මගේ සැමියාත් වෙන තැන් තැන්වල ඔහුට සොඳුරු වූ මල් පෙරහරවල් එනතුරු බලා සිට ඇත. සමහරවිට මගේ මිතුරාගේ දැන් බිරිඳගේ එදා පාසල, පන්තිය ළඟ තවත් කොල්ලන් පිරිසක් හිතෙන් පන්තේරු නැටුම් නටමින් ඉන්නට ඇත.

දැන් කාලයක් ගත වී ඇත. ගීතයේ “යළි හිත හදා ගමි සදහට පතා එමි/හඹා එමි සදා ඔබම පතමී“ කියයි. ඒ හරියටම ප්‍රේමයෙන් මුසපත් වූ අයගේ සිතිවිල්ලකි. තරුණ සිත එසේ කීවාට “අප හමූවූවත් නැති වූවත් කාලය ගතවේ”. එකිනෙකාගේ අරමුණු ජීවිත වෙනස් මාර්ග ඔස්සේ රැගෙන යයි. නමුත් අපි මිනිසුන් වීම නැවැත්විය යුතුද?

පිරිමි ළමයකුගේ හිතේ ගැහැනු ළමයකු ගැන ඇති වෙන, ගැහැනු ළමයකුගේ සිතේ පිරිමි ළමයකු ගැන ඇතිවෙන හැඟුම් විස්තර කළ නොහැකි මුත් අතින් අල්ලා බල්ලන්න පුළුවන් තරමට දැනීමක් ඇති කරවන මේ ලෝකයේ පහළ වෙන සොඳුරම දේවලින් එකකි. තමන් කැමැතිම ගැහැනු ළමයකු ළඟින් සිටින්නට වීම නිසා තවදුරටත් ගායක කණ්ඩායමට සහභාගි නොවි හැකි යැයි මගේ පුතා වරක් ගෙදර ඇවිත් කීවේය. “එයා ළඟ ඉන්නකොට මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. එහෙම සින්දු කියන්න බෑ. මට කණඩායමෙන් ඉවත් වෙන්න ඕනෑ කියා ගුරුතුමියට ලියුමක් ලියා දෙන්න.“ ඔහු මගෙන් ඉල්ලා තිබේ. ඔහුගේ සිතේ වන්නේ අහිංසක මුත් අලංකාර පන්තේරු නැටුමකි.

කාරණා කීපයක ප්‍රතිඵලයක් ලෙස අද දින මගේ මිතුරා සහ මා දෙදෙනාම බොහෝ දුරකට සතුටින් ජීවත් වෙන මිනිසුන් දෙදෙනෙකු බවට පත් වී ඇත. අප පවුල් දෙක එකට මුණ ගැහැණු විට කිසි කහටක් නැතුව එකිනෙකාගේ ඇස් දෙස් බලා එකිනෙකාගේ සුව දුක් අවංකව විමසීමට අපට හැකියාවක් ඇත.

නමුත් මා මේ සටහන තබන්නේ මල් පෙරහරක මලක් වීමේ උද්දාමයෙන් නොවේ. සන්නාගේ මතක පද අතරේ ඔහු කී වෙනත් දෙයක් නිසා මට මා සමඟම ගැහැනු ළමයි වී සිටි පිරිමි ළමයි වී සිටි දැන් ජීවිතේ සතුට විහින් නැති කර ගන්න කිහිප දෙනකු සිහි විය. ඔවුන් පවා කලෙක ඔවුන්ගේ සිත් ගත් ගැහැනු ළමයි මල් පෙරහරක මල් සේ දකින්නට ඇත. ඔවුන්ද පෙර ඔවුන්ට බැඳි පිරිමි ළමයින්ගේ හිත්වල පන්තේරු නැටුම් වූ බව දකින්නට ඇත. නමුත් පාසල නිම වී වසර විස්සක් ගත වූ තැන, විස්තර අසද්දී ජීවිත වෙනස් වූ තැනක අර මල් වගේ ගැහැනුන් දුටු පිරිමි දැන් ඔවුන්ගේ ගැහැනුන් දකින්නේ අවමංගල්‍ය පෙරහරක් වාගේය. ගැහැනු සොඳුරු පන්තේරු නැටුමක් වෙනුවට තමන්ගේ පිරිමින්ගේ සිත්වල මළ බෙර හඬවති.

මෙලොව ගැටලු නැති පරමාදර්ශී විවාහ ජීවිත නැති බවත් එසේ ඇති ගෙයක් වේ නම් එයින් අබ මිටක් දෙන්නැයි සන්නා කියයි. ඒ සැබෑවකි. අපට වැරදෙන්නේ අපි මල් පෙරහර එනතුරු බලා සිටි බව, මල් පෙරහරේ මල් බව, පන්තේරු නැටුමේ රිද්මය විඳි බව, තවමත් එසේ විඳීමට හැකි පිරිසක් බව අමතක කර අනවශ්‍ය ලොකුකමකින් අවංකකම නැති කරගත් පිරිසක් බවට පත් වීමයි. වැඩිහිටියන් වීම වැරදියට වටහා ගැනීමයි.

“මල් පෙරහැර එන්නා සේ හිඳිමි-ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි“ ලෙස පටන් ගන්නා ගීතය ඉවර වෙන්නේ “මල් පෙරහැර එන්නා සේ දුටුවා/ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා/පෙරහැර මා හැරගිය බව දුටුවා/ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා“ යන සිදු වූ දේ ගැන අවංක පිළිගැනුමකිනි. ඒ අප ගැහැනු ළමයි පිරිමි ළමයි වීමේ උච්චස්ථානයයි. වැඩිහිටියන් වූ පසුත් හැඟීමවලට, සම්බන්ධකම් වලට අවංක වීමට නොහැකියාවක් නැත. සබඳකම්වල ගැටලු මතු වීමේදී ඒවා ශිෂ්ට ලෙස විසඳා ගැනීමට නොහැකියාවක් නැත. අපට සිදු වන්නේ අප කෙරෙහිම ඇති ගරුත්වය නැති කර ගැනීමයි.

හිමාලි එන්. ලියනගේ
[email protected] 


නව අදහස දක්වන්න

Or log in with...