ආදර ආරාධනා | දිනමිණ

ආදර ආරාධනා

 නවම් හිරුගේ සැඩ බව අකා මකා දමන්නේ දුරුතු සීතලයි. සැබැවින්ම දුරුත්ත ඉක්ම ගියද ඊට ආවේණික සීතල තවම පවතී. එහෙත් පෙර මෙන් පීඩාකාරී නැත. කෙමෙන් තුනී වන සීතල සිත ගත නිවාදමන තරමට සෞම්‍යයි.

Òසීතල ටික ටික අඩුවෙනවා නේද අම්මාÓ

හිමිදිරියේ මුහුණ කට සෝදන්නට ළිඳට යන නිවුන් පුත්තු විමසති.

Òසීතල අඩු වෙනවා... අව්ව වැඩි වෙනවා... පරිසරයේ වෙනස්කම් අඳුනගන්න එක වැදගත්. මනුස්ස අපි පරිසරයට, සතා සීපාවාට සංවේදී වෙන්න එපැයි...Ó යි මම කියමි.

ප්‍රභාව වියැකුණද තවම දිස්වන සඳ හා දිලෙන තරු නරඹමින් අපි තිදෙනා මොහොතක් කල් මරමු. එකිනෙකා වැලඳගනිමින් එකම ගුලියක් මෙන් අළුවන් අහස යට අඩ අඳුරේ පසුවන කල සිත ස්නේහයෙන් සහ සාංකාවෙන් බර වෙයි. අනාගතයේ මෙවන් අරුණෝදයක මේ මතකය මේ එක්බඳු දෙදරුවන්‍ සිත සොම්නසක් ජනිත කරවනු ඇත්ද? ඒ හා ම මේ අසිරිමත් විශ්වයෙහි අපේ සුදා බව පසක් වූයෙන්, දැනටමත් අතු අග කඩිසරව ඔබමොබ දිව යන දිමියා ද පොළවේ තෙත් පස් පිඩැලි යට මහා කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන ගැඩවිලා ද මනුස්ස අප තරම්ම වැදගත් බව කල්පනා වෙයි. ඔව්, මිනිසා මේ සුන්දර පෘථිවියේ එකම හා බලවත් හිමිකරුවා නොවේ. සෙසු සියලු සත්ත්වයා හා ගහකොළ සමඟ සහයෝගයෙන් විසිය යුතු තවත් එක් කොටස්කරුවකු මිසක.

අරුණේ අරුමයට ජීවය ද, ප්‍රබෝධය ද එක්කරමින් ඇය පැමිණියේ බොහෝ දවසකට පසුවය.

අනුරාධපුර හෙද විදුහලේ තුන්වන වසරේ හෙද සිසුවියක වන දිල්හාරා සුදර්ශනී පියසේන දියණියගේ සුමුදු ස්වරයද සොඳුරු සිනාවද මගේ විඩාව නිවාලයි.

සති පහක පුහුණුවක් සඳහා මුල්ලේරියාවේ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ගිය වග ඇය හෙළිකළ විට මම මහත් නොඉවසිල්ලෙන් වංහුං විමසා සිටියෙමි.

අංගොඩ මානසික රෝහල ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන මානසික රෝගීන් සඳහා වන රෝහල වර්තමානයෙහි බෙහෙවින් අගය කළ යුතු මට්ටමක තිබෙන බව දිල්හාරා දියණිය පැවසුවේ සොම්නසින් සේම කෘතවේදී බවිනි. එහි පවිත්‍ර බව මෙන්ම වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයේ කාර්යභාරය හා කැපවීම ද ඇය බෙහෙවින් අගය කළාය.

සම්පූර්ණයෙන් සුවය ලැබූ රෝගීන් රෝහල් භූමිය තුළ වගා කටයුතු හා විවිධ අත්කම් වැඩවල නිරතව ආදායමක් ද උපයාගන්නා අතර එකී කටයුතු එක්තරා අන්දමක චිකිත්සක ක්‍රමයක් ද වන බව ඇය පැහැදිලි කළාය.

ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයන් හා පද්ධති රෝගී වන්නේ නම් මොළය රෝගී වීම ද සාමාන්‍ය හා අනිවාර්යයෙන් ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් බව සාමාන්‍ය ජනතාව වටහා‍ගත යුතුව තිබේ.

මානසික රෝග සඳහා දේවාල කරා යාමෙන් හා මිථ්‍යාවේ පිහිට පැතීමෙන් පලක් නොවන බව ද සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව ද අපි අවබෝධ කරගන්නේ නම් මුදල් මෙන්ම රෝගියා ද රැකගැනීමට හැකිවන බව අමුතුවෙන් කිව යුතු ‍නැත. මානසික රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි බව අපේ සමාජය වටහාගන්නේ කවදාද? නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමෙන් අකාලයේ මිය යන මානසික රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බැලිය යුතුය. බඩ වඩා ගැනීම එකම අරමුණ කරගත් බඩගෝස්තරවාදී කට්ටඩියන් හට පුරවැසියන්ගේ වටිනා ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදී නීතිමය පියවර ගන්නාට රජයට ද වගකීමක් හා යුතුකමක් නැද්ද?

Òඇත්තටම නැන්දේ හැමදේම හොඳින් සිද්ධ වෙනවා එතන. ප්‍රශ්නයකට තියෙන්නෙ රෝගීන් බලන්න එන අය ඉතාම අඩුයි. ඒ වගේම සුව වෙන රෝගීන් බාරගන්නත් බාරකරුවන් බොහෝ විට කැමති නෑ. සමහර වෙලාවට බාරගත්තත් වැඩි කල් නොගිහිං ඒ රෝගියා ආපහු අසනීප වෙනවා. මොකද අපේ සමාජය තවමත් ලෑස්ති නෑ මානසික රෝගයක් වැලඳිලා සුව වුණු කෙනෙක්ව පිළිගන්න. අපේ ආකල්ප වෙනසක් නැතුව රජයත්, දොස්තරලා, හෙද හෙදියනුත් මොන තරම් මහන්සි වුණත් ප්‍රතිඵලය සීමා සහිතයි.

දිල්හාරා දියණියගේ ඒ කතාව මොන තරම් සැබෑවක්දැයි ‍මට සිතිණ. මේ නූතන ලෝකයේ අපේ පසුගාමී බවට හේතුව දූපත් මානසිකත්වයද? කුඩා දූපතක කොටුවීම තුළ අපි ආපස්සට යනවා විනා ඉදිරියට යාමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. මානසික රෝග පිළිබඳව අපේ අවබෝධය හා ආකල්පය කොතරම් ප්‍රාථමිකද? නොදියුණුද? දරු ප්‍රසූතියෙන් පසුව මවක් මානසික රෝගයකට ගොදුරුවීමේ අවස්ථා තිබෙන බවක් හෝ අප තවමත් හරියාකාරව වටහාගෙන නැතුවා වාගෙයි.

මුල්ලේරියාව රෝහලේ එබඳු රෝගීන් වෙනුවෙන් ද වාට්ටුවක් ‍තිබෙන බව දිල්හාරා පැවසුවාය. දරු පිළිසිඳ ගැනීමකදී මෙන්ම ප්‍රසූතියේදී ද සිදුවන කායික හා මානසික වෙනස්වීම් මෙන්ම පවුලේ සහයෝගය නිසියාකාරයෙන් නොලැබීම ද හේතුකොටගෙන අලුත උපන් දරුවා මරා දමන්නට තැත්කිරීම මානසික රෝගී තත්ත්වයක් බව වටහාගන්නට හෝ පිළිගන්නට අපේ සමාජය තවමත් අපොහොසත්ය.

මත්ද්‍රව්‍ය භාවිතය ද, ලිංගික අපයෝජනය ද හේතුකොටගෙන මානසික රෝගීන් බවට පත්වන තරුණ හා ළමා පිරිස පිළිබඳවද දිල්හාරා බොහෝ විස්තර ගෙන හැර පෑවාය.

ඒ සති පහක පුහුණු කාලය අතිශයින් වැදගත් බව ඇය පුන පුනා කියා සිටියාය.

මානසික රෝගීන් කොන්කිරීම මනුෂ්‍යත්වයට නොසරිලන බව පසක් කරගනිමින් දයාව, අවධානය මෙන්ම ආදරය ද, ගෞරවය ද දක්වන්නට අපේ සමාජය පුරුදු පුහුණු වන්නේ කවදාද? පොදු සමාජ ප්‍රවාහයට ඔවුන් එක්කර ගැනීම ද එක්තරා අන්දමක චිකිත්සක හා නිවාරණ ක්‍රමවේදයක් නොවේද? හුදු කුහුලින් හෝ අපුලින් නොව සැබෑ දයාවෙන් මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ගොඩවන්නැයි ඉල්ලා සිටිමි.

ශාන්ති දිසානායක
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...