කරුවල ගුහාවේ මාස හයක් | දිනමිණ

කරුවල ගුහාවේ මාස හයක්

“මේ අවාසනාවන්ත චූදිතයා බොහෝ යුරෝපීය රටවල්වලින් පිටුවහල් කිරීමට සොයන පුද්ගලයෙක්. ඒ නිසා තව අවුරුදු ගණනකට ඔහුට මව් රටට යන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. මව් රටට යන්නට ලැබුණත්, ඒ යවනවා ඇත්තෙත් සිර මැදිරියක් තුළට. මම ගරු අධිකරණයට සිහිපත් කරන්න කැමතියි ප්‍රංශයේදි මේ තරුණයාට විඳින්න සිදුවන සිරබන්ධනයේ දරුණුකම. ඒ නිසා තීන්දුව ලබාදීමේදී ඒ ගැනත්, ඔහුගේ බාලවයස්කාරත්වය ගැනත් අවධානය යොමු කරන්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.“ නීතිඥයා සිය සානුකම්පිත විස්තර කථනය අහවර කළේය.

ඇබග්නේල් වරදකරු බව අධිකරණයෙන් තීන්දු වුවත් ඔහුට එවෙලේ එය දැනුණේ කිසියම් ජයග්‍රහණයක් ලෙසය. සිය නීතිඥයා සටනින් පැරදුණත්, යුද්ධයෙන් ජයගෙන ඇති බවක් ඔහුට හැඟුණි. මන්ද ඇබග්නේල්ට නියම කරන ලද්දේ වසරක සිර දණ්ඩනයක් පමණක් නිසාය. නමුත් ඒ සතුට වැඩිකල් පැවතුණේ නැත. විනිසුරුගේ විනිශ්චය පිළිබඳ තමාගේ විනිශ්චය කෙතරම් වැරදිද යන්න ඇබග්නේල්ට තේරුම් යන විට ඔහු සිටියේ ප්‍රංශයේ අති බිහිසුණු ඉපැරණිම සිරමැදිරියක්, නැතහොත්, සිර බිම්ගෙයක් වන පෙපිග්නන්හි අඳුරු මී ගුලක් තුළය. ‘අත්අඩංගු නිවස්නය‘ ලෙසද හැඳින්වෙන, ඉපැරණි ගල් බලකොටුවක් වූ පෙපිග්නන් සිරගෙය දාහත්වන සියවසේදී ඉදි කරන ලද්දකි.

ඇබග්නේල් බන්ධනාගාරයට පිළිගත් ආරක්ෂකයන් දෙදෙනාගේ විධානය පරිදි හේ ඇඳ සිටි ඇඳුම් උනා දැමුවේය. මුලුමනින්ම නිර්වස්ත්‍ර වූ ඇබග්නේල් බන්ධනාගාරයේ දෙවන මහලේ පටු කොරිඩෝවක් ඔස්සේ ගෙන ගිය ආරක්ෂකයන් දෙදෙනා වානේ දොරක් ඉදිරියේ නතර වූහ. එම කොරිඩෝවේ පෙනුමින් සිරමැදිරි බඳු කිසිවක් නොවූ අතර තිබුණේ ශෛලමය බිත්තියට ඔබ්බවා සමාන පරතරයෙන් පිහිටවූ වානේ දොරවල් පෙළක් පමණි. ගත හිරිවැටෙන ශබ්දයක් නංවමින් විවෘත වූ දොරෙන් ඇතුලට ආරක්ෂකයෙකු ඇබග්නේල් තල්ලු කළේ කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබාය. ඇබග්නේල් කුටිය තුළට කෙතරම් වේගයෙන් පෙරළී ගියේද යත් නතරවුයේ පිටුපස බිත්තියේ හිස ගැටීමෙනි. පෙරළී ගිය ආකාරය අනුව කුටිය ගිලා බැස තිබු බව ඇබග්නේල්ට දැණුනා පමණි. කුටිය තුළ කිසිවක් දැක ගැනීමට ඔහුට වරම් ලැබුණේ නැත. එය සදාකල් අඳුරේ ගිලී තිබු බැවිනි. කුටිය තුළ ඝණාන්ධකාරය ඇබග්නේල්ට දරා ගැනීමට නොහැකි වූවකි. හිරිගඩු පිපෙන තරම් ශිතල වූ තෙත් අඳුර නිසා තමාගේ හුස්ම හිරවන බවක් ඔහුට දැණිනි. බිත්ති අතපත ගාමින්, වැනෙමින් හේ නැගීටීමට උත්සාහයක් ගත්තේ විදුලි බල්බයේ ස්වීචය සොයා ගැනීමටයි. නමුත් නැගිට ගැනීමට හැකි වුයේ නැත. අඩක් නැගිටින විටම ඇබග්නේල්ගේ හිස යළිත් වරක් කුටියේ වහලයේ ගැටුණේය. එය එතරම්ම පහත් වහලයකින් යුතු විය. විදුලි ස්වීචයක් හෝ විදුලි බල්බයක් හෝ වෙනත් මොනයම් හෝ ආලෝකයක්ද තිබුණේ නැත. කොටින්ම එහි තිබුණේ පනිට්ටුවක් පමණි. ඇඳක්, වැසිකිළියක්, මුහුණ සෝදන බේසමක්, වතුර ගලායාමට කාණුවක් නැත.සිරකුටියද කුටියක් නොව කුහරයකි. අඩි පහක් පමණ දිග, ඒ හා සමාන පළලකින් හා ගැඹුරකින් යුතු වූ බිංගෙයෙහි වහලය හා දොර ඇල්ලීමට නොහැකි තරම් ශීතල විය. දිය සීරාවෙන් පුස්කෑ තෙත් බිත්ති නිරන්තරව කඳුළු වගුරවමින් තිබිණි. දෑස් අඳුරට හුරුවන තෙක් ඇබග්නේල් මඳ වේලාවක් ඉවසා සිටියේය. අවසානයේදි ඔහුගේ ඉවසීම සීමාව පැන්නේය. කිසිදු ආකාරයකින් ආලෝක පොදක් ඒ තුළට කාන්දු වුයේ නැත. බිත්තියක පැලීමක් තුළින් හෝ එළි බිඳක් ඇතුළට පෙරී ආවේ නැතිවීම ගැන හේ පුදුම විය. ඇබග්නේල්ට දැණුනේ තමා පණ පිටින්ම වැළලී ඇති බවකි. ඔහුගේ දෑස් කිසිදාක එහි අඳුරට හුරුවූයේ නැත. පූර්ණ අඳුරට ඇස් කිසිදා අනුවර්තනය වන්නේ නැති නිසාය. වරින් වර ශිතල සුළං රැල්ලක් ගත පිසදාලමින් හමා යන බව ඔහුට දැණුනු නමුත් එය හමන්නේ කොයිබෙන්ද කියා ඔහු දැන සිටියේ නැත. සුළං රැල්ල ඇබග්නේල්ට ගෙන ආවේ බියකරු සිතිවිලිය. තවත් කෙළින් සිටිමට ගතේද හිතේද සවියක් නොතිබුණු නිසාම හේ බිම වැතිර ගත්තේය. ඔහු වෙව්ලන්නට ගත්තේය.ඒ ශීතලටත් වඩා බිය නිසාය. තමාගේ අවාසනාවන්ත බියකරු තත්වය ගැන තාර්කිකව සිතා බැලීමට ඔහු උත්සාහයක් ගත්තේ වෙනත් කිසිම හේතුවක් නිසා නොව තමා සනසා ගැනීමටය.

“මේ වගේ මී ගුලක මාව අවුරුද්දක්ම තියන එකක් නැහැ. කොහොමද එයාලා එහෙම කරන්නේ ? මාව මෙතැන තියලා තියෙන්නේ නිරීක්ෂණ කාලයකට වෙන්න ඇති. මගේ කල්ක්‍රියාව හොඳ නම් මාව වෙන තැනකට දමාවි. සිතු සැණින් එම සිතිවිල්ල බැහැර කරන්නට ඇබග්නේල්ට සිදුවිය. මෙම බිංගෙය තුළදී කවුරුන් විසින් හෝ තමා නිරීක්ෂණය කරනවා නම් ඔහුට එක්කෝ එක්ස් කිරණ පිට කරන ඇස් තිබිය යුතුය. නැතිනම් බිත්ති හරහා විනිවිද දකින්නට සමත් කිසියම් බලයක් තිබිය යුතුය. නැත, ඇතැම් විට තමා මෙහි තබා ඇත්තේ නරකට හැසිරුණොත් අත්වෙන විපාක කියාදීමට විය යුතුය. තමාගේ හැසිරීම හොඳ අතට හැරවීමට කෙටි කාලයකට මෙම දඬුවම දෙන්නට ඇත. මෙවැනි හුදකලා කුටිවල සිර කර තබන්නේ දාමරිකයන් පමණක් බව ඇබග්නේල් තදින්ම විශ්වාස කළේය. ශිෂ්ට සම්පන්න කිසිදු රටක් සිරකරුවන්ට එවැනි අමානුෂික රුදුරු දඩුවම් පමුණුවන්නේ නැත. නමුත් ප්‍රංශය සම්බන්ධයෙන් නම් මෙය ඇත්තක් වුයේ නැත.

ඇබග්නේල්ට පෙපිග්නන් සිරකුටියේ අගුලූ ලෑ පළමු දිනය ගත කිරිමට සිදුවූයේ නිරාහාරවය. බියත්, ශෝකයත්, ශීතලත්, දැඩි විඩාවත් හේතුවෙන් බිම ඇදවැටුණු තැනම ඔහුට නින්ද ගොස් තිබිණි. පසුදින ඔහු අවදි වුණේ දොර ඇරෙන ශබ්දයටය. රලු පොළවේ අක්‍රමවත් ඉරියව්වකින් නිදාගැනීම නිසා ඔහුගේ මුලු සිරුරම වේදනාවෙන් රිදුම් දෙමින් තිබිණි. කෑලි කැපිය හැකි අඳුරේ වුවද දොර එළිපත්ත මත සිටගෙන සිටින ආරක්ෂකයාගේ රුව යාන්තමින් දුටු ඇබග්නේල්, වැසීම අවහිරකරමින් දොරේ එල්ලුණේය.

“යන්න එපා! ඉන්න! දෙවියන්ගේ නාමයෙන් ටිකක් ඉන්න! ඇබග්නේල් ඉතිරිව තිබු සියලු ශක්තිය යොදා වැරෙන් කෑගැසීය. “මාව මෙහෙම හිර කරලා තියාගෙන ඉන්නේ ඇයි කියලා කියන්න ? කවදාද මාව මේකෙන් එලියට ගන්නේ ?“

“තමුන්ගේ සිර දඩුවම් කාලය ඉවර වුණායින් පස්සේ.“ආරක්ෂකයා රලු හඬින් පිළිතුරු දුන්නේ හැඟීමක් නැති ගාණටය. දොරේ එල්ලී සිටි ඇබග්නේල් පයින් තල්ලු කර දැමු හේ දොර වසාදැමුවේය. ඇබග්නේල් යළිත් අඳුරු බිම්ගෙයෙහි සිර විය. අදහාගත නොහැකි සත්‍යය හමුවේ ඔහු සිටියේ තෝන්තුවාවෙනි. මෙවැන්නක් සිදුවිය හැක්කේ කෙසේද? ඔහු තමාගේ ඉරණම පිළිබඳව කල්පනාවේ ගැලෙන්නට විය.

“අවුරුද්දක් මේ හිරිකිත ගුල ඇතුළේ කොහොම ඉන්නද ? ඒක හරියටම පණ පිටින් මිනීපෙට්ටියක ඉන්නවා වගේ. කිසිම එළියක්, ඇඳක් තියා පැදුරක්වත් නැතිව? විළි වසා ගන්න ඇඳුමක්, වැසිකිළියක්වත් නැතිව ? තව මොනවා නැතිව ඉන්න වෙයිද ? දෙයියොම තමයි දන්නේ. මේක කොහෙත්ම වෙන්න බැහැ.“ ඇබග්නේල් තමාටම කියා ගත්තේය.“ මා නිකන්ම මැරිලා යාවි. ඒක හෙමින් සිදුවන වේදනාකාරි, කටුක මරණයක්. මීට වඩා හොඳයි මාව ගීලටීනයට යවලා එකපාරම මරලා දැම්මා නම්! මම ආදරේ කළේ මේ වගේ රටකටද ? මේ මොන රටක්ද? පොඩි අපරාධයකට මේ වගේ දරුණු මනුස්සකමක් නැති දඩුවම් දෙන්නේ ? ප්‍රංශ ආණ්ඩුවවත් මේ හිරගෙවල් ගැන දන්නේ නැතිද ? ප්‍රංශයේ සිවිල් වැසියන්වත් මේ දෙන අමානුෂික දඬුවම් ගැන දන්නේ නැතිද ? මේ ප්‍රංශ දණ්ඩවේදින් මොන වගේ මිනිස් කොට්ඨාසයක්ද ? එයාලා ඇත්තටම මනුස්සයෝද නැතිනම් වෙනත් යක්ෂ කොට්ඨාසයක්ද ? මාව අතහැරලා දාලා තියෙන්නේ මොන වගේ විකෘතිකයන් පිරිසක් අතරටද ? මෘගයන්, උන්මන්තකයන් එහෙමත් නැතිනම් අවලම් අවජාතකයින්ගේ අතට වෙන්න ඇති ? හොඳ සිහියෙන් ඉන්න මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට මේ වගේ අපරාධයක් කරයිද එයා ‍මොන තරම් නරක කෙනෙක් වුණත් ?“

මේ ආකාරයට තනිවම සිතන්නට ගත් ඇබග්නේල්ගේ ඉහින් කණින් දාඩිය වැගිරෙන්නට පටන්ගෙන තිබුණේය.ඔහු අසිමිත ලෙස බියට පත්ව සිටියේය.අවුරුද්දක් තබා එක් දිනයක් හෝ මෙම අඳුරු අපායේ ගත කරන්නේ කෙසේද කියා ඔහුට වැටහුණේ නැත.පෙපිග්නන් සිරමැදිරියේ ගතකළ ඒ බිහිසුණු අතීතයෙන් පළා යාමට අදටද ඇබග්නේල්ට හැකිව නැත. තවමත් ඔහු එම අමිහිරි මතකයන්ගෙන් පීඩා විඳින බවත්, රාත්‍රියේදි බියට පත්ව නින්දෙන් අවදිවන්නේ එම අඳුරු බිම්ගෙයි සිරව සිටින බව සිතමින් බවත් වරක් ඔහු කියා තිබිණි. පෙපිග්නන් බිම්ගෙය සමඟ සසඳන කල කල්කටාවේ කළු කුහරය ගත සනසන ඖෂධීය රූපලාවන්‍යාගාරයකි. ඩෙවිල්ස් අයිලන්ඩ් සිරකඳවුර සුන්දර පාරාදීසයකි.

බන්ධනාගාර ජීවිතය පහසු නොවනු ඇති බව ඇබග්නේල් හොඳාකාරවම දැන සිටියේය. වරක් සිරමැදිරියක ගත කළ පැය හතරකට අඩු කාලය ඇසුරෙන් ඔහු ඒ බව හොඳහැටි වටහාගෙන තිබිණි. නමුත් ඔහු මීට පෙර දැක තිබු, අසා තිබූ හෝ කියවා තිබු කිසිවකින් හෝ සිරගත ජීවිතය යනු මෙතරම් බිහිසුණු නරාවලක් බව හේ අනුමාන කළේ නැත. අඳුරේම අතපත ගෑ ඇබග්නේල්ට ආරක්ෂකයා විසින් දමා ගොස් තිබූ ආහාර ස්වල්පය අතට හසුවිය. ඒ කුඩා වතුර බඳුනක් හා පාන් ගෙඩියකි. එය තසිමක හෝ තබා ගෙනැවිත් තිබුණේ නැත. දොර පඩිය මත තබාගොස් තිබුණු පාන්ගෙඩිය තලු මරමින් ගිල දැමු ඔහු වතුර බඳුනද එක උගුරටම මුවට හළාගෙන යළිත් කුටියේ මුල්ලකට වී සිතන්නට පටන් ගත්තේ ප්‍රංශ නීති පද්ධතියේ යුක්තිසහගත භාවය ගැනයි. ඇබග්නේල්ගේ චින්තනයට අනුව ඔහුට ලබාදී තිබුණේ සිර දඩුවමක් නොව කයත්, මනසත් ක්‍රම ක්‍රමයෙන් අභාවය කරා ගෙන යන අමානුෂික වධ බන්ධනයකි.

පෙපිග්නන් සිරමැදිරියේ ආහාර වේල්ද ඒකාකාරිය. ඒවා පිළිගන්වනු ලැබු වේලාව හා පිළිවෙල හැරෙන්නට ඇබග්නේල් එහි ගතකළ කාලය මුලුල්ලේම වෙනසක් සිදුවූයේ නැත. උදෑසන ආහාරය වතුර සමඟ පාන් දහවලට තුනීවට සැකසු කුකුල් මස් සුප් සමඟ පාන් රාත්‍රියට කළු කෝපි කෝප්පයක් සමඟ පාන් ලැබිණි. දවස වේලාව, සතියේ කවර දිනයක්ද, වසරේ කවර මාසයද කියා දැන ගැනීමට හැකියාවක්ද ඇබග්නේල්ට තිබුණේ නැත. ආහාර වේල් පිරිනැමුණු වේලාව ඇසුරෙන් එය අනුමාන කිරීමට තිබු අවස්ථාවද ආරක්ෂකයන් අහුරා දැම්මේ පිළිගන්වන වේලාව ඕනෑකමින්ම අක්‍රමවත්ව සිදු කිරිමෙනි. (ඇතැම් විටක උදෑසන ආහාරය සවස හයටත්,දහවල් ආහාරය සවස දෙකටත්, රාත්‍රි කෑම උදෑසන දහයටත් පිරිනැමිනි. ආහාර කිසිවක්ම නොලැබුණු දවස්ද තිබිණි. මේ වේලාවල්ද ඇබග්නේල්ගේ අනුමානයන් පමණි. නිවැරදි වේලාව ගැන ඔහුට කිසිදු අවබෝධයක් නොතිබුණේ අඳුරු කුටියේ වු ඝණාන්ධකාරය හැමවිටම ඒකාකාරි වු බැවිනි.)

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : මල මූ සයුරක සිහින සවාරියක

නව අදහස දක්වන්න