විරෝධතා ඉදිරියේ අකුළා ගැනීම | දිනමිණ

විරෝධතා ඉදිරියේ අකුළා ගැනීම

 විරෝධතා දැක්විම අද ඊයේ කටයුත්තක් නොවේ. අපට අමුත්තකුදු නොවේ. මේ අපේ ඉතිහාසයෙන් බිඳකි.

“කොළඹ නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය බිම් සලකුණු කරනු පිණිස 1846 දී මිනිස්සු කණ්ඩායමක් “මිණුම් උපකරණ“ රැගෙන අලගල්ල අවට ප්‍රදේශය ගවේෂණය කළහ. වැඩපිළිවෙළ ආරම්භ වූ නමුත් ඊට එරෙහිව නොයෙක් විරෝධතා නැඟෙන්නට විය. දුම්රිය මාර්ගයක් ඉදි කෙරුණු විට දහස් ගණනකට, විශේෂයෙන්ම කරත්ත කරුවන්ගේ හා කරින් බඩු අදින්නන්ගේ රැකියා නැති වෙතැයි බොහෝ දෙනා කිහ. තමන් දුක සේ හරිහම්බ කර ගන්නා දේ වඩාත් ප්‍රබල ප්‍රවාහන මාධ්‍යයක් නිසා අහිමි වනු දකින්නට එදා මේ මාර්ගයේ නොයෙක් අයුරින් භාණ්ඩ ප්‍රවාහනයෙහි යෙදුණු පිරිස කැමති නොවූහ. දුම්රිය මාර්ගය අද්දර දේපළවල වටිනාකම අඩු වෙතැයි බියක් ද හට ගත් අතර මහත්තුරුන්ගේ වතුවල හුදෙකලා බව වැනසී යනු ඇතැයි ඇතැමෙක් කීහ. අශ්වයන් බෝකිරීමේ කටයුතු නතර වනු ඇතැයි ඇතැමකුගෙන් බිය පල වූ අතර, තමන්ගේ කුඩා ලෝකය තුළ කුරිරි පාලකයෙකු බවට පත් වන දුම්රිය සමාගම, පොදු ජනතාවගේ සුභ සිද්ධිය, සමාගමේ කොටස් හිමියන් අතට පත් කරනු ඇතැයි සමහරු කීහ. “

ඉහත ඡේදය උපුටා ගනු ලැබුවේ ඩබ්ලිව් ටී කීබල් විසින් රචිත ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කර සූරිය ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු පුරුදු පාර නම් ග්‍රන්ථයෙනි.

මේ අප නිතර අසන, අදටත් ඇසෙන, විරෝධකරුවන් ඉදිරිපත් කරන කාරණා ය. ඒ ඉතිහාසය අදට ද වෙනස් වී නැත.

වෙනස් වී ඇත්තේ ඒ විරෝධතා හමුවේ පාලකයන්ගේ ප්‍රතිචාර පමණ ය. ඊට එකතුව ඇත්තේ පාලකයන්ගේ අකුලා ගැනීමේ කතාව පමණ ය.

එහෙත් එදා ඒ සියලු විරුද්ධතා මැද දුම්රිය පාර ඉදි වුණේ ය.එසේ නොවන්නට අපට සුද්දාගෙන් උරුම වන්නට නියමිත වූ වඩාත් වටිනා බූදලය අහිමිව යනු ඇත්තේ ය.

පුස්සක් වූ විරෝධතා

මෙවැනි විරෝධතා කීපයක් ගැන විරෝධතාවල නිරත වූ ක්‍රියාකාරිකයෙක් ම කියන කතාව ද විමසීම වටී. එම කතාව අප විසින් උපුටා ගනු ලබන්නේ 2018 ජනවාරි 18 දින රාවය පුවත්පතේ සුනන්ද දේශප්‍රියගේ ලිපියකිනි. ඒ ලිපිය ටයිටස් ප්‍රනාන්දු නම් සිවිල් ක්‍රියාධරයා ගැන ය. එහි සඳහන් ටයිටස් ප්‍රනාන්දුගේ ම වචනවලින් ම ඒ කතාව ඇසිම වඩාත් සුදුසු ය.

“ජනප්‍රිය අරගල හැම එකක්ම නිවැරදි නෑ. කණ්ඩලම හෝටලයට විරුද්ධව කොයිතරම් අරගලයක් තිබුණා ද? ඉරණවිල අ‍මෙරිකානු හඬ ව්‍යාපෘතියට විරුද්ධවත් ඒ වගෙයි. හැම තැනදිම කියපු බය හිතන කතා ඇත්ත වුණේ නෑ. හරියට අර ඇන්ජින් බෝට්ටු ගේනාවම විරුද්ධ වුණා වගෙයි.“

ඇන්ජින් බෝට්ටු ගෙනාවම මිනිසුන් විරුද්ධ වුණු හැටිත් ඒ ලිපියේ තව තැනක ඔහුගේම වචනවලින් සඳහන් වෙනවා.

“තවත් මතක හිටපු දේශපාලන සිද්ධියක් තමයි, මගේ අයිය ඇන්ජින් බෝට්ටු ගෙනා වෙලාවෙ අනෙක් ධීවරයො විරුද්ධ වුණ හැටි. 1956 ආණ්ඩුවෙ මුදල් ඇමති විලියම් සිල්වා ධීවරයන්ට යාන්ත්‍රික බෝට්ටු දෙන්න පටන් ගත්ත. ඒවා හැදුවෙ ටාඕස් එකෙන්. අඩි 18 ලි බෝට්ටු. බෝට්ටුවක් රු 13,500 යි. ඒකත් ණයක් විදිහට මහජන බැංකුවෙන් දුන්න. මීගමුවෙ මුල්ම යාන්ත්‍රික බෝට්ටුව ගෙනාවෙ ජෝන් ප්‍රනාන්දු (ජොම්මප්පු). ඒ වෙලාවෙත් ධීවරයො තෙප්පම් දාලා බෝට්ටුව නැවැත්තුව. ඒ ඇන්ජිමේ සද්දෙට මාළු දියඹට යනවාය කියල බයේ. මගේ අයියා ජුසේ මැනුවෙල් තමයි දෙවැනි බෝට්ටුව ගෙනාවෙ. ඒ වෙලාවෙත් ලොකු විරෝධයක් තිබුණ. ඒත් මිනිහ චණ්ඩිය. කොහොම හරි බෝට්ටුව දියඹට දාගත්ත. අද තියෙනව බෝට්ටු සිය ගණනක්. ඒත් මාළුත් ඉන්නව.“

මේ කතන්දර අපට මතකයට ගෙනෙන්නේ ඉන්දියන් ඇම්බියුලන්ස් සේවය මේ රටේ ආරම්භ කළ කාලයේ අපේ රටේ ඇති වූ විරෝධතාවය ය. ඉන්දියාව ද සමච්චලයට ලක් කරමින් ඇති කළ විරෝධතාවය ය. ඉන්දියාව පිළිබඳ භීතිකාවක් ඇති කරමින් ඇති වූ විරෝධතාවය ය.

මේ ගැන 2016 අගෝස්තු 27 දින ඩේලිඑෆ්ටි හි මෙසේ වාර්ථා කර තිබුනේ ය. http://www.ft.lk/article/564106/The-GMOA-s-wrath-against-the-defibrillat...

“විදුලි සැර වැදිය හැකි නිසා ඉන්දියන් ගිලන් රථ පරිහරණය කිරිම අවදානම් සහගත බව පසු ගිය අඟහරුවාදා පැවැත්වුණු මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය නලින් හේරත් මහතා ජනතාවට අනතුරු අඟවමින් කියා සිටියේ ය.“

එම මාධ්‍ය හමුවේ එසේ මිය යා හැක්කේ කෙසේ දැයි යන්නට වෛද්‍ය විද්‍යාව උපයෝගී කරගෙන කිසියම් පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙන වෛද්‍ය හේරත් මහතා අවසානයේ මෙසේ ද කියන්නේ ය.

“ඉන්දියන් ගිලන් රථ සේවය භාවිතා කොට මිය යන්නට සූදානම් වන්නට එපා“.

මේ අනතුරු ඇඟවීම ගැන විවරණයක යෙදෙන එම ලිපිය නම් කියන්නේ ගිලන් රථයේ තිබෙන විදුලි සැර වැදිමට ඉඩ ඇතැයි කියන මේ උපකරණය වෙන රටවල ගුවන් තොටුපළවල ද බස්නැවතුම් පොළවල ද සුපිරි වෙළඳසල්වල ද තිබෙන පහසුවෙන් කෙනෙකුට භාවිතා කළ හැකි උපදෙස් සහිත උපකරණයක් බව ය. ඊට අමතරව එය කුඩා බැටරි බලයකින් වැඩ කරන නිසා ඒ හරහා කෙසේවත් විදුලි සැර වැදිය නොහැකි බව ය.

මෙයින් පෙනෙන්නේ අපට විරෝධතා දැක්විමට එහෙමට පදනමක් ද අවශ්‍ය නැති බව ය. ඒ සඳහා ඇතැම් විට හිතාමතාම වෘත්තීය දැනුම පවා අනිසි ලෙස භාවිතා කිරීමට ඉඩ තිබෙන බව ය. උසි ගැන්වීම සඳහා බොරු කියන්නට වුව ද විරෝධතා පිටුපස සිටින අය නොපැකිලෙන බව ය.

මූණු පොත ද මේ විරෝධතාවලට තල්ලුවක් ලබා දීම සඳහා අප්‍රකට මෙහෙයක් කරමින් සිටින්නේ ය. ඉන්දියන් ගිලන් රථයක් තල්ලු කරන ඡයාරූපයකින් මූණු පොත් සටහනක් කියා සිටියේ මේ ගිලන් රථ තත්වයෙන් ද බාල බවකි. රෝගීන්ට එහි නැගීමට පෙර තල්ලු කර පණ ගැන්වීමට සිදු විය හැකි බවකි.

මේ විරෝධතාවය පිටුපස මතු කෙරුණු තර්කයන් බොරු කරමින් ඉන්දියන් ගිලන් රථ සේවය අද මහජනතාවට සේවය කරමින් සිටින්නේ ය. ඒත් අපට එදා අප ඉදිරියේ රඟ දැක්වූ විරෝධතාවයන් හා ඒ සම්බන්ධ උසුළු විසුළු අමතක වී ගොසිනි. මේ විරෝධතා සංවිධානය කළ අයට මෙවැනි ම බොරු සමග තවත් විරෝධතාවයන් වුව නැවත සංවිධානය කිරීමට පුළුවන. ඒ අපේ රටේ හැටි ය.

ගිලන්රථයක් එපා කී අපි

මේ විරෝධතාවයන්වලට මෑත අතිතයේ එක් වූ තව එක් විරෝධතාවයක් පැන නැංගේ මත්පැන් මිලදී ගැනීමට හා විකිණීමට නොහැකි වන සේ වයස 18 පහළ ළමුන්ගේ ගොඩට කාන්තාවන් දමා පනවා තිබූ තහංචිය ඉවත් කිරිම සම්බන්ධව ය. මේ ගැන සම්පූර්ණ සටහනක් ම ලිවීමට අපට සිදු විය. විරෝධය ආවේ මේ නිසා කාන්තාවන් මත්පැන්වලට ඇබ්බැහි වී රටට වින්නැහියක් වෙතැයි යන මතය සමග ය. ඒ තර්කයේ බොළඳ බව දැනෙන්නේ එය අප දන්නා තවත් නීතියක් වූ දික්කසාද නීතිය හා සමග සම්බන්ධ කොට සිතා බැලීමේ ය. දික්කසාදයට ඇති අයිතිය දික්කසාද වීමට කෙනකු පොළවනවා යැයි කියා එය ද අවලංගු කළ යුතු ද?

වෛද්‍ය සංගමයේ විරෝධය හේතුවෙන් ඉන්දියන් ගිලන් රථ අකුළා නොගත් නමුත් ස්වාමීන්වහන්සේලා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල විරෝධය නිසා මත්පැන් නීතිය අකුළා ගැනීමට සිදු වුණේ ය.

අකුලා නොගත්තේ නම් සංඛ්‍යා ලේඛන ඇතැම් විට පෙන්නුම් කරනු ඇත්තේ මේ නීතිය නිසා කාන්තාවන් පෝලිමේ ගොස් මත්පැන් මිලට ගනු ඇතැයි ද ඔවුන් බීමත් වී කුස්සිය හොයා ගැනීමට බැරිව රස්තියාදු වෙනු ඇතැයි ද යනුවෙන් පල කළ බිය ද පදනම් විරහිත බව ය. එහෙත් ඒ ගැන දැනගන්නට දැන් විදිහක් නැත. ඒ නිසා ඉන්දියන් ගිලන් රථ කතා බොරු වූ ලෙස මෙය ද බොරු දැයි දැන ගන්නට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් බලා සිටිය යුතු ය.

විමර්ශන නැති ඔළුව නැමීම

මේ සියල්ල අප ලීවේ විරෝධතාවන් ඇති වීම ස්වභාවික බවත් ඒ පිටුපස විවිධ න්‍යාය පත්‍රයන් තිබෙන බවත් කියන්නට ය. විරෝධතාවයක් ඇති වූ පමණින් එහි ඝෝෂාව විශාල වූ පමණින් යමක් අකුලා ගැනීම නොකට යුතු බව කියන්නට ය. එසේ වූයේ නම් මේ රටේ ඇති වූ සාධනීය බොහෝ දේ පවා ඇති නොවීමට ඉඩ තිබූ බව කියන්නට ය.

මේ කියන්නේ විරෝධතාවයන් නොකළ යුතු බව නොවේ. ඒවා නොසලකා හැරිය යුතු බව ද නොවේ. ඒ දෙස විචක්ෂණශීලීව බැලිය යුතු බව ය. විරෝධතාවක් ඇති වූ පමණින්, එහි ඝෝෂාව ප්‍රබල වූ පමණින්, අකුලා නොගත යුතු බව ය. සමාජ සංවාදයකට එවැනි විවාදාත්මක ප්‍රස්තුතයන් යොමු කළ යුතු බව ය. එවැනි සංවාදයක් තුළ මිනිසුන් දැනුවත් කළ යුතු බව ය. හැගිම්වලට නොව කරුණු සංඛ්‍යාලේඛන මත පදනම් ව තින්දු තිරණ ගත යුතු බව ය. වැඩවර්ජන කිරීමට හෝ පාරවල් වසා සිටීමට යම් බලවේගයකට ඇති හැකියාව මත නොව, රටට යමක් වැඩ දායක වේද නැද්ද යන්න ගැන කරන විමර්ශනයක් මත පදනම්ව තීරණ ගත යුතු බව ය. ඒ සමගම අප අපේක්ෂා කළේ හැම නව දෙයකට ම බියෙන් සලිතව ඒවා නිශ්ප්‍රභා නොකොට ඒවාට ඉඩක් දිය යුතු බව, අත්හදා බැලීමට කාලයක් දිය යුතු බව, කියන්නට ය.

තාක්ෂණය ගමට ගෙන යෑම හොඳ දෙයකි. ගම හා නගරය අතර ඇති විශාල පරතරය තව තවත් පළල් විමට ද තාක්ෂණය ගමට යෑම පමා විම හේතුවක් වී තිබේ. රටක ඉදිරිගාමී බව මැනීමට අතීතයේ දී භාවිතා කළ එක් මිම්මක් වූයේ සාක්ෂරතාවය ය. දැන් එය ප්‍රමාණවත් වන්නේ නැත. ඒ වෙනුවට පසු කලෙක පරිගණක සාක්ෂරතාවය මණින ලද්දේ ය. දැන් දැන් අන්තර්ජාල සාක්ෂරතාවය ද මැණිමට ලෝකය කටයුතු කර ගෙන යන්නේ ය. ඒ ලෝකය, තාක්ෂණයේ පිමි පනිමින්, අතිශය වේගයකින් ඉදිරියට යන නිසා ය.

අනාගතය මෙසේ වනු ඇත

හෙට අනිද්දා අප ගමන් යනුයෙත් මහ පාර භාවිතා කරමින් නොවේ. අහසිනි. ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කරමින් සිදු කෙරෙන පරීක්ෂණ හරහා කෙටි දුර ගමනාගමනයේ විශාල වෙනසක් නුදුරේදී සිදු වනු ඇත. හෙට අනිද්දා වන විට අප එක් රටක සිට තව රටක යෑමට ගුවන් යානා වෙනුවට යොදා ගනු ඇත්තේ අභ්‍යවකාෂ චන්ද්‍රිකා ය. එය වඩාත් ලාභයටත් ඉක්මණටත් අපට එක් තැනක සිට තව තැනකට ගෙන යනු ඇත. තව දශකයකින් දෙකකින් එහා පැත්තේ අප භාවිතා කරනු ඇත්තේ ෆොසිල් ඉන්ධන නොවේ. සූර්ය බල ශක්තිය ය. යනු ඇත්තේ රියැදුරන් නැති වාහනවල ය.

මේ පරිවර්තනය තුළ බොහෝ රැකියා අතුරුදහන් වනු ඇත. අපේ ජීවන ශෛලීන් වෙනස් වනු ඇත. මිනිස් සබඳතා වෙනස් වනු ඇත. ගමත් නගරයත් අතර වෙනස පවා තුනී වනු ඇත. කොටින්ම හැම එකක් ම අලුතින් අර්ථ ගැන්වෙනු ඇත.

ඒ සඳහා සූදානම් වීමට තාක්ෂණය අවශ්‍ය ය. ඒ නිසා ම ගමට තාක්ෂණය ගෙන යෑම ඉදිරි පියවරකි. නිදහස් දිනයට යොදා ගෙන තිබුණු ලැප් නැටුම හා දුරේක්ෂ නැටුම දෙස අප බැලිය යුතු ව තිබුණේ ඒ දැක්ම ඇති ව ය. එයින් කියවෙන්නේ ඒ මගින් ගමට තාක්ෂණය ගෙන යෑ හැකි බව නොවේ. ඒ සඳහා අපේ මනස සූදානම් කර ගැනීමට ගත් තැතක් හැටියට එය සැලකිය යුතුව තිබූ බව ය. එය ඒ සඳහා සිදු කළ සංකේතාත්මක මැදිහත් වීමක් හැටියට ගණන් ගත යුතුව තිබූ බව ය. දෑකැත්තත් මිටියත් නැතිනම් කුල්ලත් ලැප්ටොප්වලින් හා දුරේක්ෂවලින් විස්ථාපනය කළ යුතු දෙයක් ලෙස දැක්වීමක් හැටියට තේරුම් ගත යුතු ව තිබූ බව ය.

එහෙත් සිදු වූයේ අනෙකකි. මූණු පොත පුරා ඇවිල ගියේ විරෝධයකි. කියවුණේ ලැප්ටොප් තිබෙන්නේ නටන්නට නොවේ කියා ය. ඒ අර්ථයෙන් බැලුවහම දෑකැති තියෙන්නේ ද නටන්නට නොවේ. එහෙත් ආණ්ඩුව ඒ මෝඩ විරෝධය හමුවේ නැවතත් අකුලා ගත්තේ ය.

ආණ්ඩුවේ මං මුළාව

ආණ්ඩුව සිටින්නේ එක විදිහකට අතරමං වෙලා ය. යහපාලනයට අනුව ජනතා විරෝධයට සංවේදී විය යුතු ය. එය නොසලකා හිතුමතේට වැඩ කරන්නට ආණ්ඩුවට, යහපාලනය ගැන සඳහන් කොට බලයට පත් වූ ආණ්ඩුවකට, බැරි ය. මේ විරෝධතා මෙහෙයවන බොහෝ අය ආණ්ඩුව වැටී ඇති ඒ අමාරුවෙන් ප්‍රයෝජන ගැනීමට බලන අවස්ථාවාදීන් පිරිසකි. ආණ්ඩුව පමා නොවී තේරුම් ගත යුත්තේ විරෝධතා කළමනාකරණ ආකාරය ය. යහපාලන සීමාවන් තුළ විරෝධතා කළමනාකරණ ආකාරය ය. ඒ සඳහා ජනතාවගේ ප්‍රගතිශීලී කොටස්වල සහාය ආණ්ඩුව විසින් ලබා ගත යුතු ය. ආණ්ඩුව දිගින් දිගට අකුලා ගන්නේ නම් සිදුවන්නේ මේ කොටස් ආණ්ඩුවෙන් ඉවත් වීම ය.

හැම දෙයක් ම හරියට කිරීම අවශ්‍ය නැත. එසේ කිරීමට ද බැරි ය. ඇතැම් තීරණ වැරදි යැයි පසු කලෙක පෙනී යන්නේ නම් ඒවා නිවැරදි කළ හැකි ය. එහෙත් කිසිදු අවදානමක් නොගෙන අකර්ණම්‍ය වීම කිසිසේත් අනුමත කළ නොහැකි ය.

එසේ කිරීමට තැත් කළ විට ආණ්ඩුවට සිදු වන්නේ ජනතාව ඉදිරියට මෙහෙයවීම නොවේ. ජනතාවගේ පස්සෙන් යෑමට ය. වැඩිම අවාසනාව වන්නේ ඒ තුළ ජනතාවගේ ඉතාම ප්‍රතිගාමී කණ්ඩායම පස්සෙන් යෑමට ආණ්ඩුවට සිදු වීම ය.

විරෝධතා හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ධෛර්යය ආණ්ඩුවට ලබා දීමට ජනවාරි 8 දා වෙනසට දායක වූ ජනතාවට සිදු ව තිබේ. ඒ ගැන උනන්දු නොවේ නම් අපට ම හොරා මේ වෙනස නැවත මතු කර ගත නොහැකි ලෙස යටපත් ව ගොස් අවසානයේ මිය යනු ඇත. ඒ නිසා ම වෙනසක් අපේක්ෂා කළ උදවිය තවදුරටත් ආණ්ඩුවට දෙපයින් සිට ගැනීමට සරණ විය යුතු ය.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...