මම තරුවක් | දිනමිණ

මම තරුවක්

l ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

පුංචිතිරයෙන් රංගන ක්ෂේත්‍රය ආක්‍රමණය කළ ඔහු පසුකාලීනව පුළුල් තිරයටද එබිකම් කළේය. ක්ෂේත්‍ර දෙකේම එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ තම කුසලතා එළිදක්වමින් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැ‍ඳෙන්නට හේ සමත් වූයේය. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පිනි, සහ කොන්කළ දෝණි තුළින් ද සිරස නාලිකාවේ විකාශය වන පැහැසරා සමඟින් ද ඔබේ ආලින්දයට පිවිසෙන ඒ යෞවනයා නමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිය. මාතර, නිදන්ගල ප්‍රදේශයේ උපත ලද ඉසුරු මාතර රාහුලයෙන් සිප්සතර හදාරා උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවෙකි. උසස් පෙළ සඳහා ගණිත අංශයෙන් එම විදුහලෙන්ම විභාගය සමත් කළ ඔහු පසු කලෙක කොළඹ පැමිණ කලා ලොවට මංපෙත් විවර කර ගත්තේය. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සුළු චරිත නිරූපණයෙන් තම රංගන කුසලතා පිළිබිඹු කළ ඉසුරු තමාට ලැබෙන සුළු චරිතයට ද මනා ජීවයක් දෙමින් ඒ චරිතයට උපරිම සාධාරණයක් කළ අයෙකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට එතෙක් ලැබුණ පුංචි චරිත ටිකෙන් ටික දැවැන්ත චරිත බවට පත්විය. ඒ ඔහුගේ කැපවීම හා උත්සාහය නිසාය. ඔහුගේ රංගන කලාවට අඩිතාලම වැටුන ආකාරය කෙසේදැයි මා ඉසුරුගෙන් විමසුවෙමි.

“පාසල් යන කාලෙ ඉඳලම ඉදිරිපත් කිරීම්වලට මම හරි කැමතියි. එහෙම පොඩි පොඩි ඉදිරිපත් කිරීම්කරල ඒ ආපු ගමන තමයි අද මෙතන ඉන්නෙ. නළුවෙක් වෙන්නම නෙවෙයි, ඉදිරිපත් කිරීම් කලාවටයි මම ආස ක‍ළේ.”

ඒ ඉසුරුගේ මතකයන්ය. මේ වනවිට ජනප්‍රිය අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට ආ ඉසුරු මේ දිනවල ජනප්‍රිය චරිත තුනකින් ඔබේ සිත් ඇදබැඳ තබාගෙන ඇත. ඒ පැහැසරාහි දිල්මිණ ලෙසත්, පිනි හි සම්පතා ලෙසත් කොන්කළ දෝණි හි ආමන්ත ලෙසත්ය. මේ චරිත තුන එකිනෙකට වෙනස් චරිත වන අතර පැහැසරාහි දිල්මිණ එයින් කැපීපෙනෙන චරිතයකි. දිල්මිණගේ චරිතය පිළිබඳවත් එය ලැබුණ ආකාරයත් මම ඉසුරුගෙන් දැන ගැනීමට රිසියෙන් ඇසුවෙමි.

“ඒ වෙනකොට මම ටෙලි නාට්‍ය ගණනාවක සුළු, උප ප්‍රධාන හා ප්‍රධාන චරිත කීපයකට දායකවී සිටිය නිසා නවීන් වසන්ත හා සඳුන් රාජකරුණා මහත්වරුන් මට කතා කර පැවසුවා පැහැසරා නාට්‍යයේ දිල්මිණ කියල ඉතා ‍ලෝභ තරුණයෙක්ගෙ චරිතයක් තිබෙනවා, ඒකට කැමතිද කියල. පිටපත කියවල බැලුවම මට තේරුණා දිල්මිණ චරිතය තුළ යම් දෙයක් කරන්න පුළුවන් බව. මේක වෙනස්ම චරිතයක් නිසා මම ඒකට එකඟ වුණා. මම හිතනවා මම ඒ අභියෝගය ජයගත්තා කියල.”

ඒ චරිතයේ ව්‍යූහය පිළිබඳ ඉසුරු විග්‍රහයක නියැලුන ද මේ වනවිටත් ඔබ දිල්මිණගේ චරිතය හොඳට වටහාගෙන සිටින නිසා ඒ ගැන සඳහන් නොකරමි. එහෙත් දිල්මිණගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනනම් මම ඔහුගෙන් විමසුවෙමි.

“අම්මෝ... ඒ ගැනනම් කියල වැඩක් නැහැ. මගතොටේදී හමුවන අය අහන්නෙ ඇයි ඔයා ඔච්චර කුම්මැහි කියල. සමහරු හිතන්නෙ දිල්මිණ කියන්නෙ මගේ සැබෑ චරිතය කියලයි. හැබැයි ඒකෙන් පේන්නෙ මම වැඩේ හරියට කරල තියනව කියන එක.”

ඔහු සිනාසෙමින් පැවසීය. ඒ වගේම ඔහු රඟපාන ‘පිනි’ ටෙලි නාට්‍යයේ ‘සම්පතා’ගෙ චරිතය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ ඒ පිළිබඳ ඉසුරුගේ අදහසයි.

“සම්පතා කියන්නෙ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ තරුණයෙක්. අම්ම දරුවන් මෙහි තනිකරල විදෙස් ගතවෙනවා. ඇය යළි පැමිණෙන්නෙ නැහැ. ඒ හේතුවෙන් පියා බීමට ඇබ්බැහි වෙනවා. පුතා කුඩු කාරයෙක් වෙලා තරුණ ජීවිතය අකාලයේ විනාශකරගන්නවා. දුව වෙනත් දේවලට පටලැවිලා ජීවිතේ අඳුරුකරගන්නවා. මේ ටෙලිනාට්‍යයෙන් සමාජයට ඉතාම වැදගත් පණිවිඩයක් දෙනවා. ‘සම්පතා’ගෙ චරිතයෙන් තරුණ පරපුරට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්.”

ඉසුරු පවසන්නට විය. කුඩුවලට ඇබ්බැහි වූ තරුණයකුගේ චරිතය සාර්ථකව ඉදිරිපත් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නො‍වන බැවින් ඒ චරිතයට පිවිසීමට ඔහු ගත් වෙහෙස ගැන ද මම ඇසුවෙමි.

සම්පතාගෙ චරිතය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ කුඩු ගහන චරිතයක්. ඒක රඟපාන්න ටිකක් අමාරුවුණා. පැහැසරා ඒකේ දිල්මිණගෙ චරිතයෙ බොඩිලැන්ග්වේජ් එකක් නැහැනේ. ඒත් කුඩ්ඩෙකුගෙ චරිතයෙ බොඩිලැන්වේජ් එකක් තියෙනවා. ටෙම්ප් එක වෙනස්, වොයිස් එක වෙනස් එයාගෙ චරිතය අසාමාන්‍යයයි. ඒ නිසා ඒක මට ලොකු අභියෝගයක් වුණා. සම්පතාට ලැබෙන ප්‍රතිචාර අනුව මට හිතෙනවා මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණදී තිබෙනවා කියලා.”

ඉසුරු පිනිහි කුඩ්ඩෙක් වුණ ආකාරය එසේ විස්තර කරත්ම ඒ චරි‍‍තයෙන් සමාජයට ආදර්ශයක් ලැබෙන්නේදැයි මම ඇසුවෙමි.

“මත්ද්‍රව්‍ය පාව්චිචිය තුළින් හා ඒවාට ඇබ්බැහිවීම තුළින් තරුණ ජීවිතයක් විනාශ වෙන ආකාරය තමයි පෙන්වන්න උත්සාහ ගන්නෙ. ඇත්තටම පිනි හි සම්පතාගෙ චරිතය හොඳට අධ්‍යයනය කළොත් කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කලින් දෙපාරක් හිතාවි.”

ඉසුරු මේ දිනවල රූපවාහිනිය හරහා දිල්මිණ, සම්පතා හා ආමන්ත ලෙසින් අප ඔබ හමුවට පැමිණෙයි. දිල්මිණ හා සම්පතා ගැන කතා කළ ඉසුරු ආමන්ත දකින්නේ කෙසේදැයි මම විචාළෙමි.

“ආමන්තගෙ චරිතය හමුවෙන්නෙ කොන්කළ දෝණි ටෙලි නාට්‍ය ඔස්සේයි. ලංකාවෙ ඉගෙනගෙන වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගතවී යළිත් ලංකාවට ඇවිත් වලව් පැලැන්තියෙ ජීවත් වුණත් පොළොවෙ පයගහල සාමාන්‍ය ජනතාව සමඟ එකට ගැටෙන හොඳ චරිතයක්. ආදර්ශවත් මව්පිය යුවලක් ඉන්න ඉගෙන ගත්ත එකේ ප්‍රතිඵල පෙන්වන එයින් ජීවිතය ජයගන්න හොඳ තේමාවක් කොන්කළ දෝණිහි තිබෙනවා. ආමන්තගෙ ගෙදර නතරවෙන තරුණියට ආමන්ත හැකි තරම් නපුරුකම් කරනවා. අවසානයේදී ඒ දෙන්නා ප්‍රේමයෙන් වෙළෙනවා, ඔවුන් වටා ගෙතුන කතාවක් තමයි එහි තිබෙන්නෙ.” ඉසුරු මේ දිනවල රංගනයේ යෙදෙන චරිත පිළිබඳ එලෙස විග්‍රහයක යෙදුණේය. රංගන ශිල්පියකු වශයෙන් ඔහු මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳව ද ‍මම ඔහ‍ුගෙන් විමසුවෙමි.

“මට ගොඩක් සතුටුයි. මොකද මෑත කාලයේ මට ලැබුණ සියලුම චරිත එකිනෙකට එකක් විවිධයි. ඒ අවස්ථා ලබාදුන් අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට මම හිසනමා ආචාර කරනවා. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි නම් යොවුන් රංගන ශිල්පියාට එවැනි විවිධ චරිත ලැබීමට හේතුව කුමක්දැයි මම දැනගත යුතුව තිබිණ.

“මම සෑහෙන කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා. ලැබෙන කුඩා චරිත වුවත් වගකීමකින් හා කැපවීමකින් කරන නිසා අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු මා කෙරෙහි විශ්වාසයක් තබන්නට ඇති. ඉතිං ඒ නිසා මට එවැනි අවස්ථා ලැබෙනවා.”

ඔහුට හොඳ චරිත සමගින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට හැකි ආකාරය එලෙස විස්තර කළේය. හඬ කවන ලද විදෙස් ටෙලි නිර්මාණ නිසා ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්වී ඇති ආකාරය ගැනද කතා කිරීමට අමතක නොකළ අතර ඒ සඳහා ඉසුරුගේ අදහස වූයේ.

“විදෙස් ටෙලි නිර්මාණ ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කිරීම අපේ ටෙලිනාට්‍ය කලාවට විශාල බලපෑමක් වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි විදෙස් ටෙලිනාට්‍ය ඉතා අධික මුදලක් දරා නිර්මාණය කරන නිසා. ඔවුන්ගේ නිර්මාණවල එක් දවසක කොටසකට යන මුදල අපේ මුළු ටෙලිනාට්‍යයටම යොදන්නත් අමාරුයි. ඒකටත් හේතුවක් තිබෙනවා. ඔවුන් අධික මිලකට නිපදවන නිර්මාණ අධික මිලකටම විකුණා ඒ රටවල ප්‍රදර්ශනය කරනවා. ඉන්පසුව ඉතා අඩු මුදලකට අපේ රටට ගේනවා. ඒ නිසාම අපේ රටේ නාලිකා පුරුදුවෙලා ඉන්නවා ඒ වගේ අඩු මුදලකට අපේ ටෙලිනාට්‍යක් ලබාගන්න. ඒක හරි අසාධාරණයි. මේ වනවිට විනාඩි විස්සක විතර කොටසක් නාලිකාවලින් මිලදී ගන්නෙ ලක්ෂ එකහමාරකට විතර. ඒ ගාණින් බැහැ නිර්මාණය ඉවර කරන්න. ඒක නිසා නිෂ්පාදකවරු පාඩු ලබන්නත් කැමැති නැහැ. ඒ අයත් කරන්නෙ ව්‍යාපාරයක්නෙ. ඉතිං ඉතාම අඩු බජට් එකකට නිර්මාණ ඉවර කරන්න උත්සාහ ගන්නවා. මේ නිසා නිර්මාණයත් බාල වෙනවා.”

ඉසුරු අපේ ටෙලි නිර්මාණවලට කණකොකා හඬන අයුරු පැහැදිලි කළේය මේකට විසඳුමක් නැද්දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

“ටෙලි කර්මාන්තය දියුණු කරන්නනම්, ගුණාත්මක බවින්යුත් හොඳ නිර්මාණ බිහි කරන්නනම් විදේශීය ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කිරීම සීමා කරන්න ඕන. අපේ ටෙලි නාට්‍ය හොඳ සාධාරණ මිලකට නාලිකා අරගන්න ඕන. මීට වසර හත අටකට පෙර එක් ‍කොටසක් ලක්ෂ දෙක දෙකහමාරට ගත්තා. ඒත් දැන් ලක්ෂ එකහමාරක්වගේ ගණනකට අඩුවෙලා. ටෙලිනාට්‍ය‍කොටසක් නිර්මාණය කරන්න යන වියදම එන්න එන්නම වැඩිවුණාට මිලට ගන්න ප්‍රමාණය අඩු‍ වෙනවා. මේක හරි අවාසනාවන්ත දෙයක්. එහෙම තත්ත්වයක් උඩ මේ තරමින් හරි ටෙලිනාට්‍ය කලාව ආරක්ෂාකර ගැනීමට දායක වන නිෂ්පාදකවරුන්ට ස්තුති කරන්න ඕන.”

ඉසුරු ඉතා හැඟීම්බරව ප්‍රකාශ කළේය. ඔහු පවසන දෙයද සත්‍යයකි. කෝටි ගණන් වියදම්කර සිදුකරන නිෂ්පාදන හා අපේ රුපියල් ගණන් වියදම් කර සිදු කරන නිර්මාණ සැසඳීම අඥානකමකි. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ඉදිරියේදී දකින්න පුළුවන් ටෙලිනාට්‍ය හා චිත්‍රපට මොනවාදැයි මම ඇසුවෙමි.

“සුදත්ත තිලකසිරිගේ “මගේ කවිය ඔබ” කියන ටෙලි වෘත්තාන්තයේදී මම යළි දකින්න පුළුවන්. ඒ සමඟම තවත් ටෙලිනාට්‍ය කීපයකම වැඩ කිරීමට නියමිතයි. චිත්‍රපට ගත්තම සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘නිදහසේ පියා ඩී. එස්. සේනානායක” චිත්‍රපටයේත්, සුරංගද අල්විස්ගෙ, ‘කිඩ්නැප්’ වෛද්‍ය කපිල සූරියආරච්චිගෙ ‘සිනෙමා’ අනුරුද්ධ ජයසිංහගේ ‘මා’, සුදේශ් වසන්ත පීරිස්ගෙ ‘නැති බැරි ටාසන්’, ඉන්දිකගෙ ‘ඉත්තා’ චිත්‍රපට වැඩ අවසන්කර ප්‍රදර්ශනයට සූදානම් කර තිබෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකක ගිවිසුම් අස්සන් කර තිබෙනවා.

රංගනයට අමතරව විදෙස් ටෙලි නාට්‍යවලට හඬ කැවීම් ශිල්පියකු වශයෙන් දායක වන නිසා ඒ ගැනත් මම ඔහුගෙන් ඇසුවෙමි. “ලංකාවේ අතිශයින් ජනප්‍රියවූ “බෝයිස් ඕව ෆ්ලවර්ස්” හි ගුජුම්බියෝගේ චරිතයටත්, අනන්තයෙන් ආ තරු කුමරාහි කවුක්‍යයෝන්ගේ චරිතයටත්, අධිරජ ධර්මාශෝක හි ‘ජස්ටින්’ ගේ චරිතයටත්, මේ ආදරයයි හි ‘ඩොක්ට මනෝජ් පෝල්’ ගේ චරිතය ඇතුලු තවත් විදෙස් නිර්මාණ ගණනාවක හඬ කැවීම් ශිල්පියකු වශයෙන් දායක වී තිබෙනවා.” යැයි ඉසුරු ප්‍රකාශ කළේය. කලාකරුවකු වශයෙන් මෙතෙක් ආ ගමන්මගේ ඔබට ශක්තියක් වුවන් කවුදැයි ඇසූ පැනයට ඔහු විසින් දුන් පිළිතුර වූයේ “මගේ මව්පියන් හා සහෝදරයා ඇතුලුව අධ්‍යක්ෂ, නිෂ්පාදකගේ සිට ටී. බෝයි දක්වාම මට විශාල සහයෝගයක් දුන්නා.” ඉදිරි බලාපොරොත්තු මොනවාදැයි ඇසූවිට ඉසුරුගේ අදහස වුණේ, “මට ගැලපෙන හොඳ චරිත තෝරාගෙන නිර්මාණවලට දායක වෙනවා” යන්නය. යෞවනයේ හිණිපෙත්තටම පැමිණ ඇති නිසාත් දක්ෂ රංගන ශිල්පියකු නිසාත් ආදරය ගැන මම ඔහුගෙන් විමසුවෙමි.

“ආදරය හොඳ දෙයක්, ජීවිතයට අවශ්‍යම දෙයක්, හොඳ ‍කෙනෙක් හමු වුණෙත් ආදරය කරනවා. ඊට පස්සෙ විවාහය ගැන හිතනවා.”

ඒ ඔහුගේ අදහසය. සුන්දර ආදරයේ මිහිර ලැබ සියලු කටයුතු සාර්ථක වන්නැයි පතමින් මා ඉසුරුට සමුදුනිමි.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න