"මම අතින් අතට ගිය සමනළියක්" | දිනමිණ

"මම අතින් අතට ගිය සමනළියක්"

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය

"මම අතින් අතට ගිය සමනළියක්"

 

හිරගෙදර ජීවිතය මිනිසුන්ට නුහුරුය නුපුරුදුය. ඊට හේතු කාරනා බොහෝය. කෙසේ නමුත් වැරද්දක් කර හෝ නොකර සිරගත වන්නට සිදුවන්නේ නම් එය සැබැවින්ම අවාසනාවකි. නිල්මිණි ද එවැනි අවාසනාවන්තියකි. ඇය මා සමඟ කතාබස් කළේ හඬා වැළපෙමිනි.

* “ඇයි අඬන්නේ”

මම ඇගෙන් ඇසුවෙමි.

“මං ගෙදර ඉන්දැද්දිත් සතුටින් හිටියේ නැහැ. ”

නිල්මිණි හඬමින් පවසන්නීය.

* දරුවෝ නැද්ද?

“මට දරුවෝ නැහැ. මට දරුවො ගැන ආසාවක් ඇත්තෙන් නැහැ. ඇත්තම කිව්වොත් දරුවෝ නොලැබෙන තරමට මං කැමැතියි.”

මවක් නොවන්නට අකමැති කුමන ගැහැනියද? නමුදු මා ඉදිරිපිට සිටින ගැහැනිය දරුවන් නැති වීම ගැන මුළු හදින්ම සතුටු වන්නීය. ගැහැනිය එපමණකටම ජීවිතයේ දුක් විඳිනවාද?

නිල්මිණි ඇගේ කතාව කීමට මුලින් අදිමදි කළ ද පසුව ඇය සියල්ල කියන්නට වූවාය.

* ඔයා දරුවන්ට අකමැති ඇයි?

“ඒකට උත්තරේ මෙන්න මේකයි. මම මගේ පවුලේ එකම ළමයා. අම්මා රස්සාවක් කළේ නැහැ. තාත්තා පොඩි රස්සාවක් කළේ . තාත්තා ගෙනැල්ලා දෙන දේ උයන එකයි මාව ඉස්කෝලේ යවන එකයි විතරයි අම්මට තිබුණ එකම වැඩේ. ඒත් කවදාවත් අපේ ගෙදර සැනසිල්ල කියන එක තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි තාත්තා හැමදාම ගෙදර ආවේ හොඳටම බීගෙන. හැමදාම අපේ ගෙදර රණ්ඩුවෙනවා. සමහර දවස්වලට තාත්තා අම්මට ගහනවා. පුංචි මම හරි බයයි. මම හිටියේ සමහර දවසට ඇඳ යට. එත් මම ටික ටික ලොකු වෙනකොට මේ දේවල් වෙනස් වෙයි කියලා මම හිතවා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ. තාත්තා ටිකෙන් ටික බේබද්දෙක් වුණා.”

* ඇයි තාත්තා ඔය තරමට බේබදු වුණේ?

“පුංචි කාලේ මට ඒක දැනුණේ නැහැ. පස්සේ තමයි මට තේරුණේ අම්මා ගැන තාත්තට සැකයි කියලා. අම්මා කා ඒක්ක හරි යාළුයි කියලා තත්තා හිතනවා කියලා මට එහෙම හිතුණොත් කාලයක් ගියාට පස්සේයි. ඒත් ඒ කවුද කියන්න මම දැනගෙන හිටියේ නැහැ. තාත්තයි මමයි අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. තාත්තා මා එක්ක හරියට කතා කළෙත් නැහැ. අපි බොහෝම දුරස් අය. මට කුඩා කාලයේ ඉදලම තාත්තාගේ ආදරය ලැබුණේ නැහැ. මට අවුරුදු පහළොවක් විතර කාලේ තමයි මේ සිද්ධිය වුණේ. දවසක් හැන්දෑවේ ගෙදර ආව තාත්තා අම්මා එක්ක හොඳට රණ්ඩු වුණා.

“අන්න උඹේ මිනිහා රට ඉඳලා ඇවිල්ලා.”

තාත්තා කියපු එකට අම්මා උත්තර දෙන්න ගියේ නැහැ.

“දැන් ඉතින් මේකිවත් අරගෙන ඌ ගාවට පලයන්. තවත් උඔලට කරන්න මට බැහැ” තාත්තා අම්මට එහෙම කිව්වේ මාව අම්මා ගාවට තල්ලු කරන ගමන්. අම්මා නිහඬව හිටියා ඇරෙන්න වචනයක්වත් කිව්වේ නැහැ. එදා තාත්තා හොඳටම රණ්ඬු කළා. අම්මා ඉවසන්න බැරිම තැන මාවත් අරගෙන ගෙදරින් එළියට බැස්සා. අම්මා එයාගේ මහගෙදර ගියා . අපි ඒ ගෙදරට ගිය පළවෙනි දවස . මාමා අපිව සතුටින් පිළිගත්තා . ඒත් නැන්දගේ මුහු‍ණේ සතුටක් තිබුණේ නැහැ. අපි ආයේ තාත්තගෙ ගෙදර ගියේ නැහැ. තාත්තා අපි හොයාගෙන ආවෙත් නැහැ. නමුත් මාමගෙ ගෙදර හුඟක් කල් ඉන්න අපිට පුළුවන් කමක් තිබුණෙත් නැහැ.”

* එතකොට ඔයාලා ජීවත් වුණේ කොහොමද?

“මාමා අපට එයාගේ වත්ත කෙළවරේ තිබුණ ‍පුංචි ගේ පදිංචි වෙන්න දුන්නා. මාමට වෙළෙඳසලක් තිබුණා. අම්මා ඒ කඩේ වැඩ කළා. මමත් කඩේ වැඩ කළා.”

* තාත්තා ඔයාලා ගැන හොයලා බැලුවේ නැද්ද?

“නැහැ තාත්තා අපි ගැන බැලුවේ නැහැ. එත් අපිට අරංචි වුණා තාත්තා හොඳටම ලෙඩ වෙලා කියලා. අන්තිම මොහොතේ අපි එයාව බලන්න ගියා. එත් එයා අපි එක්ක කතා කළේ නැහැ. එයා ඒ වෙනකොට හරිම අපහසුවෙන් හිටියේ. අම්මා තාත්තා දිහා බලාගෙන හොඳටම ඇඩුවා. මට හිතෙනවා තාත්තා කවදාවත් මම එයාගෙ දුව කියලා පිළිගත්තේ නැහැ කියලා. තාත්තගෙ මරණේ වැඩ කළේ එයාගේ නංගිලා මල්ලිලා. අපි ව ඒ අය ගණන් ගත්තේ නැහැ. අපි ඒ ගෙදර පිට අය වගේ හිටියේ. තාත්තා මැරුණට පස්සේ අපි ඒ ගෙදර තිබුණ බඩු ‍අපේ ගෙදරට ගෙනාවා. කාලය හෙමින් ගෙවිලා ගියා. අම්මා හැමදාම ලොකු කල්පනාවක හිටියේ. එයා දවසින් දවස වැහැරුණා. එයාට වෙන්නේ මොකක්ද කියලා ‍තේරුම් ගන්න පුළුවන්කමක් මට තිබුණේ නැහැ. අම්මට පිළිකාවක් කියලා අපි දැනගත්තේ ලෙඩේ හුඟක් දුර දිග ගියාට පස්සේ. වැඩිකල් ගියේ නැහැ අම්මා මැරුණා. මට හිතාගන්න බැරිවුණා ඊට පස්සේ මං ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මාමා තමයි මට තිබුණ එකම පිහිට. ඒ වුණාට අම්මගෙ මරණයෙන් තනිවුණ මට මාමා පිහිටක් වුණේ නැහැ. එයා මට හතුරෙක් වුණා. මාමා මට කරදරයක් වුණා. මාමා මාව අනාථ කළා. මට එයාගෙන් ගැලවීමක් නැතිව ගියා. යන්න එන්න තැනක් නෑයෙක් ගැන හරි හමන් තොරතුක් දන්නේ නැති මම මාමාගෙ ගෙදරින් එළියට බැස්සා. මම හිතා ගත්තා ඕන දෙයක් වෙච්චාවේ කියලා. ගෙදරින් එළියට බැස්සට පස්සේ රස්සාවල් කිහිපයක්ම කෙරුවා. ඒ රස්සාවල් වලදි හඳුනගත්ත යාළුවන්ගේ බෝඩිම් වල නතර වුණා. එහෙම හඳුනගත්ත යාළුවෙක් තමයි මට මසාජ් ක්ලිනික්

එකක රස්සාවක් හොයලා දුන්නේ. මම හිතුවා ඒක හොඳ රස්සාවක් කියලා. ඒත් ඒකේ මොන හොඳක් ද? මම දන්නෙම නැතිව මගේ ජීවිතේ වැරදි මාර්ගයට ගොඩවුණා. අන්තිමට මම අතින් අතට ගිය සමනලියක් වුණා.”

* විවාහ වුණේ නැද්ද ?

“නැහැ විවාහ වුණේ නැහැ. ඒත් මම කාලයක් එක් කෙනෙක් එක්ක ගෙදරක ජීවත් වුණා. ඒකාලේ හරි සුන්දරයි. මම හිතුවා මට පවුල් ජීවිතයක් ලැබුණා කියලා. ඒ වුණත් එයා ලොකු දෑවැද්දක් එක්ක වෙන කෙනෙක්ව බැන්දා. මම වගේ අතින් අතට ගිය ගැනියෙක්ව කවුද කසාද බඳීන්නේ. මම ඒකයි කිව්වේ මට දරුවෙක් නැති වුණ එක හොදයි කියලා. මේ නරකාදි ජීවිතයට හුරුවුණාට පස්සේ මට එකෙන් ගොඩ එන්න බැරි වුණා. විටෙන් විටේ පොලීසියට අහුවුණා. සමහර දවසට ඔය කවුරුහරි ඇවිල්ලා ඇප ගෙවලා බේර ගත්තා. සමහර දවස්වලට ඇප ගෙවන්න කෙනෙක් හිටියේ නහැ. මේපාරත් මට ඒකමයි වුණේ. මාස හතරක් එක දිගට හිරේ හිටියා. මම හොඳට දන්න මහත්තයෙක් ඉන්නවා එයා රට ගිහිල්ලා හිටියේ. ඊයේ පෙරේදා දවසක එයා මාව හොයාගෙන හිර ගෙදරට ආවා. මම ඒ මහත්තයාට කතා කළා. ඊට පස්සේ තමයි මාව බලන්න ආවේ. මට කිව්වා එළියට ආවාම එයාව හම්බ වෙන්න.”

* ජීවිතේ ගැන මොකද හිතෙන්නේ ?

“ජීවිතේ ගැන මහලොකුවට කියන්න මට තේරෙන්නේ නැහැ. එත් මට නම් තියෙන්නේ මහ කුණු වෙච්ච ජරා ජීර්ණ වුණ ජීවිතයක්. මට දැන් මේ ජීවිතයෙන් ගොඩයෑමක් නැහැ.”

ඇය අවසන් වදන් කිහිපය පවසන්නට වුයේ දුගු සුසුමක් හෙළමිනි. නිල්මිණි ඇගේ සත්‍ය නම නොවේ. ඇගේ ඇත්ත නම නොපවසන ලෙස ඇය මගෙන් ඉල්ලීමක් කළාය.

 


නව අදහස දක්වන්න

Or log in with...