බුලත්සිංහල පොලිස් හන්දිය! | දිනමිණ

බුලත්සිංහල පොලිස් හන්දිය!

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ආරම්භ කළ විරෝධය මෙය ලියන මොහොත වන විටත් පැවැතිණි. අමාත්‍යවරයා යුක්තිය ඉල්ලමින් බුලත්සිංහල පොලිස් හන්දියේ සිට විරෝධතාවක නිමග්න වන්නේ පසුගිය නමවනදා සිට ය. ඔහුගේ ඉල්ලීම වන්නේ තම ආධාරකරුවකුට පහර දුන් මැරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු යන්න ය. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ කෙනකුට සන්ධානයේ ආධාරකරුවකු පහර දී ඇත. මෙය එක අතෙකින් මැතිවරණයට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාවකි. තව අතෙකින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත් තව ම යුක්තිය ඉටු වී නැත.

තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලිස් හන්දියේ සිට විරෝධතාව දක්වන්නේ නිකම් ම නොවේ. ඔහු අසල වහා ගිනි ඇවිලෙනසුළු දෙයක් ද තිබේ. කිසිවකු තම විරෝධතාවට බාධා කරන්නේ නම්; වහා ගිනි ඇවිලෙනසුළු දේවල් භාවිතකොට ගිනි තබාගන්නා බව ඔහු කියා ඇත. සිද්ධිය සුළුපටු දෙයක් නො වන වග එයින් පැහැදිලි වේ. මේ අනතුරු හැඟවීම සිදු කර ඇත්තේ පොලිසියට යැයි සිතන්නට පුළුවන. මෙබඳු විරෝධතා වැළැක්වීම සඳහා ක්‍රියා කරන්නේ පොලිසියයි. පොලිස් භටයන් වතුර ප්‍රහාරයක් එල්ල කළ ද අමාත්‍යවරයා ගිනි තබාගන්නට පුළුවන. මේ අනුව බුලත්සිංහල විරෝධතාව තුළ භයානක අනතුරක් ද පවතින බව කිව යුතුය.

මැතිවරණ කොමිසමට අනුව නීතිය අකුරටම ක්‍රියාවට නංවා ඇත. පොලිසියේ ප්‍රකාශවලට අනුව ද පෙනී යන්නේ එම දෙපාර්තමේන්තුව ස්වකීය රාජකාරිය ඉහළින් ම ඉටුකර ඇති බව ය. පැෆරල්, කැ‍ෆේ වැනි නිරීක්ෂණ ආයතනවල විග්‍රහවලට අනුව ද මෙවර මැතිවරණය සාමකාමී ය. විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් සිය දෙනකු පමණ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කළ අතර ඔවුන්ගේ වාර්තාවලින් ද පෙනී යන්නේ මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර බව ය. මේ නිරීක්ෂණ වාර්තා හා ප්‍රකාශ සමඟ තෙවරප්පෙරුම මහතාගේ සිද්ධිය සසඳන විට පෙනී යන්නේ ඉහත ආකාරයේ තවත් පහරදීම් සිදුවන්නට ඇති බවය. ඒවා වාර්තා වී නැතැ’යි සිතන්නට පුළුවන. යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරෝධතාවක නිරතවන්නට සිදුවීම තව අතෙකින් පුදුම සහගත දෙයකි.

පාලිත තෙවරුප්පෙරුම නම්; දේශපාලකයා ගැන ද වචනයක් කිව යුතු ය. පළමුව කිව යුත්තේ ඔහු හැමදාම අයුක්තියට එරෙහි ව සටන් වදින බව ය. එහිදී ඔහුට පක්ෂයක් - පාටක් - ජාතියක් - කුලයක් - පන්තියක් නැති බව ද කිව යුතු ය. තෙවරප්පෙරුම නම් චරිතයේ උස - මහත ශරීරය තුළ කාරුණික හා අතිශය සංවේදී හදවතක් පවතී. වරක් ඔහු ගෙල වැල ලාගන්නට ගියේ ය. ඒ අනුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට ය. තව වරක් ඔහු බේරුවල ජාතිවාදී ගැටුමකට මැදිහත් වී තම ජීවිතය ගැන පවා නොතකා මුස්ලිම් කාන්තාවන් පිරිසක් බේරාගත්තේ ය. මෙවර ද ඔහු ඉදිරිපත් වී ඇත්තේ තවෙ‍කකු වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට ය.

තෙවරප්පෙරුම මහතා අනුගමනය කරන්නේ මහත්මා ගාන්ධිතුමාගේ ක්‍රමය යැයි කියන්නට පුළුවන. ගාන්ධිතුමා සිය අරගලය මෙහෙය වූයේ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක පිහිටා ය. සාමය හා නිදහස උදෙසා උපවාස කිරීම, පාද යාත්‍රාවේ යෙදීම, යාඥා කිරීම එතුමාගේ පිළිවෙත විය. ගාන්ධිතුමා වටා දහස් ගණනින් ඉන්දියානුවෝ එක්වූහ. නිදහස හා සාමය දිනාගැනීම සඳහා ගාන්ධිතුමා ගෙන ගිය අරගලය ලෝක ආදර්ශයක් ලෙස පවතී. අදටත් ලෝකය පුරාම ගාන්ධිවාදීහු සිටිති. අවිහිංසාවෙන් බොහෝ දේවල් ජයගත හැකි බව ගාන්ධිතුමා සනාථ කර ඇත. තෙවරප්පෙරුම මහතාට පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට අවස්ථාව තිබිණි. විරුද්ධ පාර්ශ්වය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට ද අවස්ථාව තිබිණි. එහෙත් ඒ කිසිවක් සිදු වී නැත.

ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් මේ අයුරින් ක්‍රියා කරන්නේ නැත. එදා නම්; මන්ත්‍රීවරයා පොලිසියට ගොස් පොලිස් පරීක්ෂකට පහර දී යකා නටනු ඇත. ඇතැම් විට ස්ථානාධිපතිගේ අසුනේ වාඩි වී පොලිසියත් හසුරවනු ඇත. විරුද්ධ පාක්ෂිකයාගේ ගෙවල් ද ගිනි තබනු ඇත. එදා සහ අද අතර බරපතළ වෙනසක් තිබේ. අද පොලිසිය වැනි ආයතන ස්වාධීන යැයි කියන්නට පුළුවන. ඔවුන් දේශපාලන බලපෑම්වලින් නිදහස් බව මේ සිද්ධියෙන් හොඳ හැටි පැහැදිලි වෙයි. ඒ පමණක් නො ව; මහජන නියෝජිතයන් ද ශීලාචාර ලෙස හැසිරෙන බවක් පෙනෙන්නට තිබේ. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට හොඳ ම නිදසුන යැයි කිව හැකි ය.

තෙවරප්පෙරුම මහතා දේශපාලන ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන සුවිශේෂ චරිතයකි. එසේ වී ඇත්තේ තම තත්ත්වයට, වයසට හා තනතුරට නො ගැළපෙන දේවල් ද ඔහු සිදුකරන බැවින් ය. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ඉතා හොඳ දෙයකි. අසාධාරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම ද ඉතා ‍හොඳ දෙයකි. ගමේ භාෂාවෙන් කිවහොත් මේවා වෙනුවෙන් පෙනී සිටීමට හොඳ කොන්දක් තිබිය යුතු ය. පාලිත තෙවරප්පෙරුම මහතාට හොඳ ශක්තිමත් කොන්දක් ඇතැ’යි අපිදු පිළිගනිමු. එහෙත් නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙසේ හැසිරීම අපට අනුමත කළ නො හැකිය. විශේෂයෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහ පාරේ විරෝධතාවක යෙදීම ‍නියෝජ්‍ය අමාත්‍යවරයකුට නුසුදුසු බව අපගේ පිළිගැනීම ය.

මේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය තරමක් ප්‍රශ්නකාරී ය. පහරදීමක් ගැන පැමිණිල්ලක් ලැබී ඇත්නම් ඒ ගැන පරීක්ෂණයක් කිරීමත් සිද්ධියේ බරපතළකම අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමත් පොලිසියේ කාර්යභාරය වේ. එහෙත් මෙහිදී එය සිදු වී නැති බව පෙනෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාට විරෝධතාවක නිරතවන්නට සිදුවන්නේ ඒ නිසා ය. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ ද යන්න ගැන කිසිවක් අප දන්නේ නැත. පැමිණිල්ලක් නැතත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පොලිසියේ වගවීමක් ලෙස දැක්විය හැකි ය. විශේෂයෙන් මෙබඳු සිදුවීමක් මැතිවරණයට ද සම්බන්ධ බැවින් පොලිසිය මීට වඩා ක්‍රියාශීලී විය යුතුව තිබිණි.

තෙවරප්පෙරුම මහතාගේ සියලු කටයුතු අනුමත කිරීමේ හැකියාවක් අපට නැත. එහෙත් මේ මොහොතේ ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව ද, අවිහිංසක සටනක නියුතු වන බව ද අපට පෙනෙයි. කොහොමටත් පොලිසියට පැන නිලධාරීන්ට පහර දෙනවාට වඩා මේ ක්‍රමය හොඳ බව කාටත් පැහැදිලි වනු ඇත.

 

නව අදහස දක්වන්න