එජාප ආණ්ඩුවක් හදන්න පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලති | දිනමිණ

එජාප ආණ්ඩුවක් හදන්න පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලති

ශිරෝමි අබයසිංහ
කමනී අල්විස්

එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස පක්ෂයේ මන්ත්‍රිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කැර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව අගමැතිවරයා දැනුම් දුන් බවත් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරු සඳහන් කරති. තනි මතයක්, තනි කුඩයක්, තනි ගසක් ‍, තනි සෙවනක් යටට ආණ්ඩුව පත් විය යුතු බවද මෙම මන්ත්‍රිවරු පෙන්වා දෙති.

ජාතික ආණ්ඩු හවුල නිසා රටට වැදගත් තීන්දු තිරණ ගැනීමට නොහැකි වූ බවද මෙම පිරිස මෙවර මැතිවරණ ප්‍රතිඵල වලින් ජනතාව පෙන්වා දෙන්නේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන්න යන පණිවිඩය බවද මෙම මන්ත්‍රිවරු පැවසුහ. එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය , නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලිය ගහ මන්දිරයේදී පෙරේදා (12) පැවති සාකච්ජාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරු මේ බව සඳහන් කළහ.

නලීන් බණ්ඩාර, මයන්ත දිසානායක, තුෂාර ඉඳුනිල්, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, විජයපාල හෙට්ටිආරච්චි, ජේ.සී.අලවතුවල, බන්ධුල ලාල් බණ්ඩාරිගොඩ සහ නාලක කොලෙන්නේ යන මන්ත්‍රිවරු මේ අදහස් දැක්වුහ.

මුලින්ම කළ යුත්තේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමයි. පක්ෂය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව පසුව සළකා බලන බවද ඔවුහු පැවසුහ.

එහිදි මන්ත්‍රිවරු දැක්වු අදහස් මෙසේයි.

අපි නියම ජයග්‍රහණය ලැබුවේ දැනුයි.එජාප තනි ආණ්ඩුවක් පිහිටුවිමට තීරණය කළා. අපි සමඟ එකතු වීමට කැමති අයට එක් විමට පුළුවන්. වෙනත් පක්ෂික පිරිසක් අප සමඟ එක් වීමට කැමතියි.ජනතාව අපට හොඳ අවස්ථාවක් දී තිබෙනවා.එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස අප අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ජා‍ කැර හොඳ තීරණයක් දේවි. මෙම මැතිවරණ ප්‍රතිළුලවලින් එජාප පාක්ෂිකයින්ගේ කලකිරීම ප්‍රකාශයට පත් වී තිබෙනවා. මුලින්ම ආණ්ඩුව හදනවා. පක්ෂයේ විය යුතු වෙනස්කම් පිළිබඳව ඉන්පසුව සළකා බැලිය හැකියි. රට අස්ථාවර කිරිමට බැහැ. පසුගිය වසර දෙකේ රට වේගයෙන් ඉදිරියට ගෙන යාමට බැරි වුණේ ජාතික ආණ්ඩුව නිසයි. රටට වැඩ කරන ගමන් අපේ පාක්ෂිකයින් ශක්තිමත් කිරිම අපේ අරමුණයි. පසුගිය වසර දෙක හමාර තුළ පාක්ෂිකයින් ශක්තිමත් නොකළ නිසා ඔවුන් විරුද්ධ බලවේග වලට ජන්දය දුන්නා. පසුගිය කාලයේ සිදු වුණු තින්දු තිරණ ගැනිමේ පමාව ඉදිරියට‍ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉදිරි වසර දෙකේ නියත වශයෙන්ම රටට හා පාක්ෂිකයින්ට වැඩ කරනවා.

ජනතාව දුන් පණිවිඩයට අප පිළිතුරු දෙනවා.තනි මතයක්, තනි කුඩයක්, තනි ගසක් ‍, තනි සෙවනක් යටතට ආණ්ඩුව පත් විය යුතුයි. ජාතික ආණ්ඩුවේ සියළු වැරදි බැර වුණේ එජාපයටයි. අපේ වැඩ ඉදිරි වසර දෙකේ පෙන්විය යුතුයි. පිට අය අප සමඟ එක් වෙනවා නම් අලියා ලකුණ යටතේ වැඩ කරන්නට කැමති විය යුතුයි. අපේ මිනිස්සු සියයට විස්සක් කලකිරිම නිසා ජන්දය දුන්නේ නැහැ. ඒ කල කිරිම දුරු කර පාක්ෂිකයින් ශක්තිමත් කිරීම අපේ අරමුණයි. 

නව අදහස දක්වන්න