මැදවච්චිය-හොරොව්පොතාන මාර්ගයේ බස් නැවතුම්වලට මඟී ආවරණ නෑ | දිනමිණ

මැදවච්චිය-හොරොව්පොතාන මාර්ගයේ බස් නැවතුම්වලට මඟී ආවරණ නෑ

මැදවච්චිය සීපී නගරයේ සිට රත්මල්ගහවැව, හොරොව්පොතාන ප්‍රධාන මාර්ගයේ බස්රථ වල ගමන් ගන්නා මඟින් සඳහා බස් නැවතුම් තිබුණත් මඟී ආවරණය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.

විනාඩි 45කට පමණ එක් බස රථයක් ගමන් ගන්නා මේ මාර්ගයේ එම බස් රථ වල ගමන් ගැනීම සඳහා සිටින මඟීන් හට දහවල් කාලයේ දැඩි අව් රශ්මියකට මුහුණ දීමට සිදුව ඇති අතර වැසි දින වල වර්ෂාවෙන් ආරක්ෂා වීමටද නොහැකි වී ඇත. කුඩා දරුවන් සිටින මවුවරුන්ට වාඩි වීමට ස්ථානයක් නොමැති වීමෙන් දරුවන්ද වඩාගෙනම බස් රථයක් පැමිණෙන තුරු සිටගෙන බලාගෙන සිටීමට සිදුව තිබේ.

මේ වන විට රත්මල්ගහවැව, හොරොව්පොතාන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථ රියැදුරන් විසින් ජනතාව මුහුණ පා ඇති අපහසුතාවයෙන් තේරුම් ගෙන එම ස්ථානයේ ලී වලින් බංකු දෙකක් සකසා දී ඇත. ඔවුන්ද පවසන්නේ බලධාරින් මේ පිළිබඳ අවධානය යොමු නොකරීම කනගාටුවට කරුණක් බවයි. හැලබගස්වැව විහාරයේ දිය බිදුණුවැවේ සුමනසාර ස්වාමින් වහන්සේ මෙසේ පැවැසූහ.

අපේ සීපී ටවුමේ විශාල අඩුපාඩුකම් තියෙනවා. මේ ටවුමේ කිසිම බස් නැවතුම් පොළක මගී ආවරණයක් නැහැ. මහජනතාවට යන්න වැසිකිළියක් නෑ. මේ හේතු නිසා ජනතාව විශාල අපහසුතාවට පත් වෙනවා. මේ අය ඉන්නේ ගස් යට. හරියට ගල් යුගය වගේ. මිනිහෙකුට වාඩි වෙන්න තැනක් නෑ. කුඩා දරුවො ඉන්න අම්මලා පැය ගණන් අවු කාස්ටකේ හිටගෙන ඉන්නවා. බලධාරින් මේවට විසඳුම් ලබා දී නෑ. අද වන විට මැදවච්චිය නගරයත් රටේ, දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නගරයක්. එහෙත් ජනතාවට තාමත් ගල් යුගයේ පහසු කම් තමයි තියෙන්නෙ.

හිදෝගම සමූහ
චිත්‍රරත්න කළුආරච්චි 

නව අදහස දක්වන්න