මැටි වළං කර්මාන්තය කබලෙන් ළිපට | දිනමිණ

මැටි වළං කර්මාන්තය කබලෙන් ළිපට

නිකවැරටිය දලුක්ගොල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි කොටසක් නිරතව සිටින පාරම්පරික මැටි වළං කර්මාන්තය අද විනාශ මුඛයට ගොස් තිබේ. මේ පිළිබඳ වගකිවයුත්තන් කර්මාන්තය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළයුතු බව කර්මාන්තකරුවෝ පවසති.

කර්මාන්තය සඳහා මැටි ලබාගන්නේ කොබෙයිගනේ පුබ්බිලිය, කටුපොත, කෝන්ගොල්ල යන දුර බැහැර ප්‍රදේශවලිනි. විශාල මුදලක් වැයකර එම ප්‍රදේශවලින් මැටි ලබාගැනීම දුෂ්කර බව පවසන ඔවුහු එසේ ලබාගන්නා මැටිවලින් වළං නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලබාගැනීමට නොහැකි බව ද පවසති.

ප්ලාස්ටික් හා ඇළුමිනියම් වැනි ආදේශක භාණ්ඩ වෙළෙඳ පොළට පැමිණීම මෙම කර්මාන්තයට මරුපහරක් බවද ජනවාරි හා දෙසැම්බර් යන මාසවල ඉතාම සුළු වශයෙන් වළං විකිණෙන බවද මැටි කර්මාන්තකරුවෝ කියති. තවද කර්මාන්තය කරගන්නට අවශ්‍ය ජලය ද නැති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙති.

බැංකුවලට ණය වූ ජනතාව කබලෙන් ළිපට වැටී ඇතත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට හා නිෂ්පාදන භාණ්ඩ අලෙවියට වගකිවයුත්තන්ගේ කිසිදු උපකාරයක් නොලැබෙන බවද අවධාරණය කරති. වසර 10කට පමණ පෙර රුපියල් 50ට අලෙවි කළ භාණ්ඩ ද අද එම මිලටම අලෙවි කිරීමට සිදුවී ඇත. අමුද්‍රව්‍යවල මිල දෙගුණ තෙගුණ වීම නිසා කර්මාන්තය කරගෙන යාම ඉතාමත් අසීරු එකක් බව ජනතාව පවසති.

මේ පිළිබදව අදහස් දැක්වූ දලුක්ගොල්ල පදිංචි ජේ. ඒ. පියසේන මහතා (58) – “අද අපි මේ රැකියාව කරගෙන යන්නේ පරම්පරාවෙන් ආ එකක් නිසා, මැටි ගේන්න සිදුවෙලා තිබෙන්නේ කටුපොත සහ කෝන්ගොල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලින් ඒ වගේ දුර බැහැර ප්‍රදේශවලින් මැටි ගෙනත් වළං කර්මාන්තය කරන්න බැහැ. විශාල මුදලක් වැය කරන්න වෙනවා. ප්‍රවාහන වියදම් බලනවිට ලාභයක් නැහැ‍.

මැටිවල ගණන් බලනවිට නිෂ්පාදනය කරනවාට වඩා පිට ගම්මානවලට ගිහින් අලෙවි කරන එක පහසුයි. මගේ වාහනයක් තියෙන නිසා එය අලෙවි කරගන්න පුළුවන්. කුලී පදනම මත වාහනයක් රැගෙන ගෙන ගියොත් පාඩුවක් මිස ලාභයක් නැහැ. කර්මාන්තය කරගන්න වතුරත් අවශ්‍ය තරමට නැහැ. කර්මාන්තය කරගන්න තියා බොන්නත් වතුර නැහැ.

දලුක්ගොල්ල පදිංචි ජේ. ඒ. පොඩිරත්න මහතා (64),

“මේක අපට මවුපියන්ගෙන් ලැබුණු රැකියාවක්. අපි බො‍ෙහාම අමාරුවෙන් ඇදගෙන යනවා. ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. අපි දැන් මේ රැකියාව කරන්නේ පුරුද්දට. ලාභයක් නැහැ. වළං කර්මාන්තයට හොඳ මැටි තියෙන්න ඕනෑ. දුරබැහැර ප්‍රදේශවලින් මැටි ගේන්න සිදුවෙලා තියෙන්නේ. පස් කපලා ඒවා බෝල කරන්න ඕනේ නැතිනම් පොලිසියෙන් අල්ලනවා. ඒ බෝල කරන්නත් කුලියක් ගෙවන්න ඕන. දැන් අපට වතුරත් නැහැ. අපේ දලුක්ගොල්ල ගමේ වැවත් සංවර්ධනය කළාට වැවේ වතුර නැහැ.

වැස්ස වහිනවා ළිංවලත්, වැව්වලත් වතුර නැහැ. වතුර ගේන්නත් සිදුවී තිබෙන්නේ දුර ගෙවාගෙනය. මේ දුෂ්කරතාවය නිසාම අපේ තරුණ පරම්පරාව මේ රැකියාවට යොමුවෙන්නේ නැහැ. අද ඒ අය ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියා හා වෙනත් රැකියා හොයාගෙන යනවා. අපි දැන් වයසයි. අපි මැරුණාම මේ කර්මාන්තය නැත්තටම නැති වෙයි.ඒ නිසා මේ පාරම්පරික රැකියාව ආරක්ෂා කරගැනීම වගකිවයුතු අයගේත් වගකීමක්. ගොවිතැන් කරන්නත් වතුර නැහැ. අලින්ගෙනුත් කරදර විශාල වශයෙන් තියෙනවා. මේවා රජයේ බලධාරීන්ට පේන්නේ නැහැ.

දලුක්ගොල්ල පදිංචි එස්. පොඩිහාමි (68) – “මේ රැකියාව පාරම්පරික රැකියාවක් වුවත් මෙය රැකගන්න අපෙන් පසුව කවුරුත් නැතිවෙයි. අපි මේ රැකියාව කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්. අපේ පවුල්වල අය මේ රැකියාව කරන්න යොමුවන්නේ නැහැ. තරුණ පරම්පරාව මෙම රැකියාවේ යොමුකරන්න නම් රජයේ වගකිවයුතු අයගේ සහයෝගය ඕනෙ වෙනවා.

අවුරුදු හතකට අටකට එහා කාලය තුළ උණු කැවුම් වාගේ වළං අලෙවි වුණා. අද ඒ කර්මාන්තය විනාශ වීගෙන යන බවක් තමයි අපට වැටහෙන්නේ. විදුලි මැෂින් තිබුණත් අපි වළං ඉදිකරන්නේ සකපෝරුවෙන්. මැටි අඹරන මැෂින් තියෙනවා ඒවාත් කරගන්න වෙලා තිබෙන්නේ කුලියට. අපිටත් දැන් මේ රැකියාව එපාවෙලා තිබෙන්නේ. නිකවැරටිය තිබෙන සතිපොළට ගිහින් සමහර දිනවලට වළං ටික ආපහු අරගෙන හිස් අතින් එන අවස්ථා තිබෙනවා. ඡන්ද කාලවලට විතරක් අපේක්ෂකයෝ ගමට ඇවිල්ලා හරියන්නේ නැහැ.

මේ කර්මාන්තය කරගෙන යන්න උදව් උපකාර හා අලෙවිකරගන්න වෙළෙඳ පොළක් අපට හදාදෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

එච්. එම්. නන්දාවතී පතිරාජ
වාරියපොළ මධ්‍යම සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...