ගලේබණ්ඩාර දෙවි වූ ඇතුගල්පුර මුස්ලිම් රජු | දිනමිණ

ගලේබණ්ඩාර දෙවි වූ ඇතුගල්පුර මුස්ලිම් රජු

කුරුණැගල ඇත්කඳ රාජමහා විහාරය අසල ගලේබණ්ඩාර දේවාලය වත්හිම් රජු ඇතුගලින් පහළට ඇද වැටුණු තැන බවට පුරාවෘත්තයක් ඇත.ගලේ බණ්ඩාර දෙවියන් වෙනුවෙන් කළ යුතු පුද පූජා සහ ආවතේව ද ගලේ බණ්ඩාර දේවාලයේ පරිපාලන හා රාජකාරි කටයුතු ඉටු කිරීමට කුරුණෑගල මහාධිකරණය විසින් ඇත්කඳ විහාරයට නියෝගයක් ලබා දී ඇත.

ගලේ බණ්ඩාර දේවාලයට අධිගෘහිත දෙවියන් ලෙස සලකනු ලබන්නේ කුරුණෑගල රාජධානියේ පළමු රජු ලෙස සැලකෙන දෙවන බුවනෙකබාහු (ක්‍රි.ව.1293–1302) රජුට දාව මුස්ලිම් කාන්තාවකට උපන් වත්හිමි බණ්ඩාරයන්ය.“වත්හිමි මොහොමඩ් ස්මයිල්“ නම් ඔහු මැද්දේකැටියෙන් යකඩ දෝලියකට ගෙනා මුස්ලිම් බිසවුන්ගේ කුමාරයාට වස්තුව දුන් නිසා වස්තු හිමි කුමාරයා යැයි කියවේ.

වත්හිමි බණ්ඩාර රජුගේ දේහය භුමිදානය කළ තැන ඉදිකරන ලද්දක් බවට පුරාවෘත්තයක් ද ඇත. රජුගේ සිරුර ඉස්ලාම් ආගමානුකූලව මෙම ස්ථානයේ භුමිදානය කළ බැවින් අතීතයේ පටන් මෙම දේවාලය පරිපාලනය කරනුයේ මුස්ලිම් පූජකවරුන් විසිනි.ඉස්ලාම් ආගමට අනුව එකම දෙවියන් වහන්සේ වශයෙන් සලකන “අල්ලා“ දෙවියන්ගේ දුතයකු (අවුල්යා) වශයෙන් ගලේ බණ්ඩාර දෙවියන් සලකනු ලබයි.

ක්‍රි.ව.1293 දී යාපහුව රාජධානියේ රජකම් කළ දෙවන බුවනෙකබාහු රජ යුව රජකම දරන කාලයේ නගරයේ වීථී සංචාරය කළේය. මේ අවස්ථාවේ අස්වැද්දුම නම් ප්‍රදේශයේ දී රූමත් මුස්ලිම් තරුණියක් නෙත ගැටුණි. ඇයගේ නම “පාතිමා බීබී“ය (ෂෙහෙරාන් බීබී) නව යොවුන් කන්‍යාවක් වූ ඇය රජුගේ කැමැත්ත මත අන්තඃපුරයට ඇතුළත් කරන ලදී. මැද්දෙකැටියේ කුමාරි නමින් රජවාසලේ ජීවත් වූ මුස්ලිම් දේවිය රජුට පුතකු ලබා දුන්නාය. ඔහු “වත්හිම් බණ්ඩාර“ නමින් ප්‍රසිද්ධ විය.

මෙම කුමරු ධන සම්පත්වල‍ට අතිශයින්ම ගිජු වූ අයෙකි.ඔහු රාජ්‍ය විචාළ ආකාරය ගැන ඇතුගල්පුර මැති ඇමතිවරුන් දැක්වූයේ බලවත් අප්‍රසාදයකි. එයට හේතුව වත්හිම් බණ්ඩාර රජු එවකට රාජසභාවේ සිංහල අමාත්‍යවරුන් ඉවත්කර ඔහුගේ මවු පාර්ශ්වයට අයත් මුස්ලිම් හා ඒ අයට හිතවත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. මේ ඇමැතිවරු බෞද්ධාගමික විරෝධී වැඩ පිළිවෙළක් ආරම්භ කළ බව කියැවේ. භික්ෂූන්ට දානමානාදිය දීම ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ. විහාරස්ථානවලට රජවරුන් දැක්වූ අනුග්‍රහය ද අත්හිටුවිය. මේ ගැන එවකට භික්ෂූහු රජු හා අමනාපයෙන් පසුවූහ.

කුරුණෑගල නගර මධ්‍යයේ ඇති වැවේ ගිල්වා සිංහල වැසියන් මරණයට පත්කළහ. දඹදෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයකට රැස් වූ භික්ෂුන් සාකච්ඡාවක් පවත්වා ඇතුගල මුදුනේ අලංකාර පිරිත් මණ්ඩපයක් තනවා එහි භික්ෂුන් 64 නමකගෙන් සමන්විත බලගතු පිරිත් සඡ්ජායනයක් කළ යුතු බව රජුට පැවැසීය. ඒ සඳහා අනුමැතිය ලැබිණි.

කෙසෙල් කඳන්වලින් පිරිත් මණ්ඩපය ඇතුගල මුදුනේ සකස් කෙරිණි. පිරිත් ඇසීමට රජුට ද ආරාධනා කළේය. ආටානාටිය සූත්‍රය ඇරැඹීමෙන් පසු පිරිත් අසමින් සිටි රජු අසුන් ගෙන සිටි අට්ටාලය ඇතුගල පහළට ඇද වැටිණි.

ඇතුගලින් පහළට ඇද වැටුණු වත්හිමි බණ්ඩාර රජුගේ සිරුරෙන් බෙල්ල කැඩී විසිවුණු බවද පුරාවෘත්තයක සඳහන් වේ. පසුව නගරය පුරා සැරිසරමින් ජනතාව මහත් භීතියට පත් කළ මෙම යක්ෂයා කතරගම දෙවියන් විසින් අල්ලාගෙන මඩමේගම (බෞද්ධාලෝක) විහාරස්ථානයට ගෙන ගොස් නවගුණ මාලයක් පලඳවා සීලයේ පිහිටුවා ඇත. එතැන් පටන් ගලේ බණ්ඩාර යක්ෂයා ගලේ බණ්ඩාර දෙවියන් වූ බව සැලකේ.

අද ගලේ බණ්ඩාර දේවාල දෙකක් ඇත. එකක් මුස්ලිම් සොහොන ඉදිකර ඇති ස්ථානයයි. එය වත්හිමි පාරේ පිහිටා ඇත. අනික නුවර පාරේ ඇත්කඳ විහාරය අසල පිහිටා ඇත.

ගුණරත්න ලියනආරච්චි
කුරුණැගල දිස්ත්‍රික් සංචාරක 


නව අදහස දක්වන්න

Or log in with...