වනපෙත මැද පුද බිම කෝවිල් ලන්ද | දිනමිණ

වනපෙත මැද පුද බිම කෝවිල් ලන්ද

කාලයේ වැලි තලාවෙන් නොව කාලයේ වන ගහනයෙන් ද යම් යම් දේ වැසී යා හැකි බව ඒ වන වදුල තුළදී මට පසක් විය. එකිනෙකට යා වූ තුරු වියන විහිදුණු වැල් ගාලකින් තව තවත් තදින් බැඳ තිබුණි. රෑහි නදට කුරුලු නද මුසු වූ මිනිස් කටහඬක් නෑසෙන ඉසව්වක ගුප්ත හැඟීමක් ජනිත කළ ඒ වනරොද 'කෝවිල් ලන්ද'යි.

සබරගමුවේ ඈත කෙළවරක පිහිටි දැරණියගල නගරය පසු කොට නූරි පාරේ කිලෝමීටර් හතරක් පැමිණි පසු මුණ ගැසෙන පනාකූර මංසන්දියෙන් හැරී තවත් කිලෝමීටර් හයක් පමණ දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කරන විට පන්දාහ ගම්මානය හමුවේ. පන්දාහ ගම්මානයට නම ලැබී ඇති කතාවද අපූරුය. එක් රජ සමයක එම ප්‍රදේශයෙන් රාජ මාලිගාවට බුලත් පන්දහසක් සැපයීමට නියම කර තිබූ නිසා තම ගම්මානයට පන්දාහ යන නම ලැබුණු බව ගම්වාසී පැරැන්නෝ පවසති.

පන්දාහ ගම්මානය හරහා මහා මාර්ගයේ සිට ඉතා දුෂ්කර දළ බෑවුමක් ඔස්සේ කැලය මැදින් මීටර් පන්සියක් පමණ පල්ලමකට බැසීමේදී 'කෝවිල් ලන්දේ කොහොඹ දෙවියන්ට කැප කළ කෝවිල' හමුවේ.

ගස් මුල්වල එල්ලෙමින් ඉතා අසීරුවෙන් තරණය කළ යුතු විශාල පර්වතයක පිහිටි ඇතුළට විහිදුණු ගල් කුහරයක දෙපැත්තක් ආවරණය කොට මැටියෙන් තැනූ කුටියක කාල වකවානුවක් නිර්ණය කළ නොහැකි තරම් පැරැණි මල බැඳුණු යකඩ දුනු හී, කුඩා කඩු කිණිසි ආදී ආයුධ සිය ගණනක් දක්නට ලැබේ.

ගම්වාසීන් කිහිප දෙනකු විසින් එම සැඟවුණු කෝවිල පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

ගුණපාල මහතා

" ඔය කෝවිල බොහොම පැරැණි එකක්. අපේ අම්මල තාත්තලගෙ කාලෙ ඔය කෝවිලේ කපු මහත්තයෙක් ඉඳල තියනව. බොහොම හාස්කම් ඇති තැනක් විදිහට තමයි අපි අහල තියෙන්නේ. කෝවිල දෙපැත්තේ තියෙන ඇල මාර්ග වලින් මෙහාට ගෑනු උදවියට එන්න අවසරයක් තිබුණෙ නෑ කියලා අපේ අම්මලා කියනවා මං අහල තියනවා. එහෙම එන්න ඉඩක් නොදුන්නේ ඔය කෝවිල් ලන්දෙ හිටපු සිය ගණනක් නාගයෝ කියලා තමයි මං අහල තියෙන්නේ. හැබැයි අපේ කාලෙ නම් එහෙම විජ්ජාවක් දැකලා නෑ."

එච්. පොඩිනා මහත්මිය

" ඉස්සර කාලෙ මෙහෙ ඇල්හේන් තිබිලා තියනවා. ඒ හේන්වල කුඹුරු කරන්න කලින්, භව භෝග හිටවන්න කලින් ඔය කෝවිල් ලන්දේ කෝවිලට බාර හාර වෙලා තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කිතුල් ගහක අලුත් කිතුල් මලක් මදින්න කලින් කෝවිලට බාරයක් වෙන්න ඒ කාලෙ මිනිස්සු පුරුදු වෙලා හිටිය කියලා තමයි අපේ අම්මලා කියන්නේ. එහෙම බාර උනාම ඒ හේනේ මුල් අස්වැන්නෙන් හදා ගන්න කෑම බීම, ඒ කිතුලේ මුල් තෙලිජ්ජ වලින් හදන පැණි හකුරු එක්ක ඔය තියන ආයුධ භාරයක් විදිහට ඔප්පු කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉඳල තියනවා. එහෙම තමයි ඔතන ආයුධ ගොඩ ගැහිලා තියෙන්නේ. අදටත් ඔය කෝවිලේ තියෙන ආයුධයක් කවුරු හරි පිටට අරගෙන ගියොත් ඒක ආයෙත් ගිහිල්ලා දානකල් ඒ ගෙනියපු අයට උණ ගැනිලා හීනෙන් භය වෙලා තියනවා. (ඒ මහත්මිය සඳහන් කළ එම කතාව සත්‍යයක් බව එම අත්දැකීමට මුහුණ දුන් දෙදෙනකුම සනාථ කළහ.)"

ඒ.ඩී. පොඩියා මහතා " ඔය කෝවිල අයිති අපේ පරම්පරාවට. අපේ අම්මගෙ තාත්තා තමයි ඔතන අන්තිමට හිටපු කපු මහත්තයා. යද්දෙස්සා කියලා තමයි ඒ සීයට කියලා තියෙන්නේ . ඔය කෝවිල අයිති යද්දෙස්සා පරපුරේ අයට. සීයගෙන් පස්සෙ කෝවිලේ රාජකාරි කරන්න කවුරුවත් ඉඳල නෑ. හිටපු අය වෙන වෙන රාජකාරි වලට හිර වෙච්ච නිසා කෝවිල වල් වැදිලා. ඕක කොහොඹ දෙයියන්ගෙ කෝවිලක්"

වසන්ත සමන්සිරි මහතා

" මම මීට අවුරුදු කීපයකට කලින් මෙහෙ හිටපු ග්‍රාම සේවක මහත්තයත් වන සංරක්ෂණ නිලධාරීන් කිහිප දෙනෙක්වත් ඔතනට එක්කරගෙන ගියා. ඔය කෝවිලේ තියනවා පුංචි ඔරු කඳක් වගේ ලී වලින් හදපු උපකරණයක්. ඒක ඉස්සර කාලේ කෝවිලේ ඝාන්ටාරය විදිහට පාවිච්චි කරලා තියනවා. ඒක එල්ලලා ලීයකින් ගැහුවම ඝාන්ටාරයක් වගේ හඬ නගනවා. මැටියෙන් බැඳපු බිත්ති ඉස්සර හිටපු කපු මහත්වරු අවුරුදු සීයකට විතර කලින් හදපු ඒව කියලා තමයි කියන්නේ. ඒත් ඒවා අදටත් සම්පූර්ණයෙන් විනාශ වෙලා නෑ. මිනිස්සු ඒ කෝවිල ගැන නොයෙක් කතා කියනවා. ඒවා ඇත්තද කියලා නම් මම හරියට දන්නෙ නෑ. යන්න හරියට පාරක් වත් නැති නිසා තවමත් එතන ආරක්ෂා වෙලා තියනවා. එතන විනාශ වෙන්න නොදී සංරක්ෂණය කළ යුතු තැනක් විදිහටයි මං දකින්නේ."

(විශේෂ ස්තූතිය ගමනට සහභාගී වූ ඉසුරු දසන් පුෂ්ප කුමාර සහ දිනිඳු සඳුන් පුෂ්ප කුමාර සොයුරන්ට)

දිල්රූ ජයසේකර

 


නව අදහස දක්වන්න

Or log in with...