දේශපාලන ප්‍රචණ්ඩ හැසිරීම් පාලනයට පක‍්ෂ වහා ක්‍රියා කළ යුතුයි | දිනමිණ

දේශපාලන ප්‍රචණ්ඩ හැසිරීම් පාලනයට පක‍්ෂ වහා ක්‍රියා කළ යුතුයි

අනුර ප්‍රේමලාල්
රක්ෂණ ශ්‍රියන්ත

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

පශ්චාත් මැතිවරණ කාල සමයේ දේශපාලන ආධාරකරුවන්ගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට දේශපාලන පක‍්ෂ වහා ක්‍රියා කළ යුතුයැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. පූර්ව මැතිවරණ සමය හා මැතිවරණ දිනය සාමකාමී වාතාවරණයක් යටතේ නිමා වුවද මැතිවරණයෙන් අනතුරුව ගෙවී ගිය දින තුනක් පමණ වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති පැමිණිලිවල ස්වරූපය විමසීමේ දී පැහැදිලි වන්නේ පූර්ව මැතිවරණ සමයේ විද්‍යමාන වූ නිශ්චල දේශපාලන පරිසරය යම් කැළඹීමකට පත් වී ඇතැයි යන්න නිරික්ෂණය වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක‍්ෂණ මධ්‍යස්ථානය වෙත මෙතෙක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 39 ක් පමණ වේ. ඉන් 12 ක් පමණ බරපතළ සිදුවීම් වන අතර එකී සිද්ධීන් 39 න් සිද්ධීන් 13 ක් සඳහා ම කාන්තා අපේක‍ෂිකාවකගේ හෝ ආධාරකාරියකගේ කවරාකාර වූ හෝ යම් සම්බන්ධයක් පවතින බව පවසයි.

මෙහිලා වඩාත් සැලකිලිමත් විය යුතු තත්ත්වය වන්නේ කාන්තාවන්ට එරෙහිව සිදු වී ඇති බොහෝ සිද්ධීන් කිසිදු ආයතනයකට පැමිණිල්ලක් ලෙස නොලැබීමයි. එවැන්නක් එම ආයතන වල කිසිදු ලේඛනයක ද සටහන් ව නැති අතර ඊට බලපෑ හැකි හේතූ කිහිපයක් ඇත. එවන් සිද්ධීන් පොලීසිය වැනි ආයතන වෙත වාර්තා කිරීම නිසා විඳින්නට සිදු විය හැකි ප්‍රතිවිපාක වඩාත් දරුණු වේ යැයි යන්න ඉන් එක් හේතුවක් යැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.

අනෙක් ප්‍රධාන කරුණක් වන්නේ යම් ආයතනයක් වෙත දන්වා සිටිය ද ඊට ක‍ෂණික ප්‍රතිචාරයක් නොලැබේ යැයි යන පූර්ව නිගමනයයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා ලැබී ඇති වාර්තා මඟින් සනාථ වන්නේ ජයග්‍රහී දේශපාලන පක‍්ෂ අපේක‍ෂකයන් තම ජයග්‍රහණ සැමරීම සඳහා ආධාරකරුවන් විශාල වශයෙන් පිරිවරා ගනිමින් වීදී සංචාරය කරන අතර මග තමන් හට හමුවන ප්‍රතිවිරුද්ධ දේශපාලන පක‍ෂ ආධාරකාරුවන්ගේ හා විශේෂයෙන් අපේක‍ෂිකාවන්ගේ නිවෙස් වෙත රතිඤ්ඤා ආදිය දල්වා වීසිකරමින් එකී නිවැසියන් මානසිකව පීඩනයට ලක් කොට ඇති බවය. තවද කොට්ඨාශ මට්ටමින් තරග වැද ජය ගැනීමට අසමත් වූ අපේක‍ෂිකාවන් අපහසුතාවට පත් කිරීමේ උත්සාහයන් රාශියක් ද වාර්තා වී ඇතැයිද මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මධ්‍යාස්ථානය සඳහන් කරයි. එහිලා වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ එවන් සිද්ධීන් පිටුපස බොහෝ විට සිටිනුයේ එකී කොට්ඨාශයන් හී ජයග්‍රාහී අපේක‍ෂකයන් වීමයි.

අනෙක් සුවිශේෂි අවධානයකට ලක් විය යුතු කරුණ වන්නේ දේශපාලන පක‍ෂ නායකයන් සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන් මහා මාර්ග සහ ජනාකීර්ණ නගර මධ්‍යයේ ජයග්‍රාහී පෙළපාලි සංවිධානය කරමින් සාමාන්‍ය ජන දිවිය අඩාල කිරීමට කටයුතු කිරීමයි. 

නව අදහස දක්වන්න