ලැයිස්තුවලින් පත් වූ සභිකයන් සංඛ්‍යාව ඉදිරියේදී දැනුම් දෙනවා | දිනමිණ

ලැයිස්තුවලින් පත් වූ සභිකයන් සංඛ්‍යාව ඉදිරියේදී දැනුම් දෙනවා

අනුර ප්‍රේමලාල්
සමන්මලී ප්‍රියශාන්ති

පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂවල ලැයිස්තුවලින් පත් වු සභිකයන් සංඛ්‍යාව ගණනය කැර දේශපාලන පක්ෂ වෙත ඉදිරි දින කිහිපයේදී ලබා දීමට කටයුතු කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා “දිනමිණ“ට පැවසීය.

මීට අමතරව කාන්තා සභිකයින්ගේ සංඛ්‍යාවද ඒ සමඟ ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී නියම කරන දිනවලදී ලයිස්තුවෙන් පත් කරන සභිකයින්ගේ නාමලේඛනය පක්ෂ මහලේකම්වරු මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.

කොට්ඨාස මට්ටමින් මැතිවරණය ජය ගත් නියෝජිතයින්ගේ නාම ලේඛනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේදී අතිරේක ලේඛනයෙන් පත් කරන සාමාජිකයින්ගේ නම් ද ඊට ඇතුළත් කළ යුතු බැවින් කොමිසම කඩිනමින් ඒ ඒ පක්ෂවලට ලයිස්තුවෙන් හිමි වන සභික සංඛ්‍යාව සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීම සිදු කරන බවද ප්‍රකාශ කෙළේය.

අතිරේක ලේඛනයට සභිකයින් නම් කරන විට එම ලේඛනය සඳහා ඇතුළත් කළ නියෝජිතයින්ගේ නම් පමණක් ඇතුළත් කළ යුතු බවද ඒ මහතා පැවසීය. 

නව අදහස දක්වන්න