2020 මැතිවරණයට මහින්ද ආවොත් පරාද වෙනවා | දිනමිණ

2020 මැතිවරණයට මහින්ද ආවොත් පරාද වෙනවා

බුද්ධිකා ඉඹුලාන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2020 මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එම මැතිවරණයේ දී ද පරාජයට පත්වන බව පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (13) පැවසිය.

පළාත් පාලන මැතිවරණය පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදි ඇමතිවරයා මෙසේද කිය.

“පළාත් පාලන මැතිවරණය මේ වනවිට අවසන්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 3369 ක් ලබාගෙන ඇත. ප්‍රකාශිත ඡන්ද වලින් එම පක්ෂය ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 44.65 කි. 2015 ජනාධිපතිවරණ ජනතා බලවේගයට එක් වූ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේ දී ලබාගත් මන්ත්‍රීධූර සංඛ්‍යාව 3417 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 46.01 කි. 2015 මැතිරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ඡන්දවල ප්‍රතිශතය සියයට 47.58 කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වී ඇත. 2005 වසරේදී හිටපු ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 50.29 කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වෙමින් අඛණ්ඩව ඡන්ද ප්‍රතිශතය අඩුවීමේ ලක්ෂණයක් දක්නට ඇත.”

“මෙවර පැවැත් වුනේ පළාත් පාලන මැතිවරණයකි. රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවෙයි. 2015 ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රජය කටයුතු කළ යුතුයි. එහිදී දුෂිතයින්ට දඩුවම් ලබාදිම ඉතා වැදගත් වෙයි. තීන්දු තීරණවලට එළඹ ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබාදිය යුතුයි. පසුගිය වසර 03 තුල ඩොලර් බිලියන 1.5 ක අයෝජන රජයට ලැබී ඇත. පසුගිය රජය විසින් ලබාගත් ණය මේ වනවිට රජය ගෙවමින් පවතී. සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත්විට රජය පරාජයට පත් වී නැත. 2015 මැතිවරණයේ දී ලංකා කමිකරු කොංග්‍රසය හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ ද එම මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්විය. ඉදිරි මැතිවරණයක දී නව දේශපාලන පක්ෂ ඔහු වටා ගොනු වන්නේ නැත.

2020 මැතිවරණයට හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් එම මැතිවරණයේ දී ද පරාජයට පත්වන බව මෙම මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි. මෙම මැතිවරණ ප්‍රතිඵල ජනතාවට පැහැදිලි කර දිය යුතුය. ජනතාවගේ මානසිකත්වය ආරක්ෂා කර ගත යුතුය.

නිවැරදි තත්ත්වය පහදා දිය යුතුය. ඊට අමතරව සිදු කරන සෑම ක්‍රියාවලියක්ම හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් දැන හෝ නොදැන සිදු කරන වැඩපිළිවෙලක් ලෙස මා ප්‍රකාශ කරමි. මෙවර මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ සියලු දෙනාටම රජය වෙනුවෙන් ප්‍රණාමය පුද කරමි.” 

නව අදහස දක්වන්න