සදාකල් මතකයේ රැ‍ඳෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් | දිනමිණ

සදාකල් මතකයේ රැ‍ඳෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්

ජයසිරි මුණසිංහ

සදාකල්හිම අපගේ මතකයේ රැ‍ඳෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු ලෙස ශ්‍රීමත් ඩී. බී. ජයතිලක නම් වූ මහා යුග පුරුෂයාගේ ග්‍රී නාමය සඳහන් කළ හැකි යැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියෝ ප්‍රකාශ කළහ.

ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිඳුන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය හා පුෂ්පෝපහාර උළෙල කොළඹ ජනාධිපති මහලේකම් කාර්යාල භූමියේ ඊයේ (13) උදේ පැවැති අභිමානවත් අවස්ථාවේදී ආගමික ආශීර්වාදය හා අනුශාසනාව පවත්වමින් මහානායක හිමියෝ එසේ කීය.

අතිගෞරවනීය මහාසංඝරත්නය විසින් මේ ගාම්භීර උළෙලට එක්ව සිටි සියලු දෙනා පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව උත්සවය ආරම්භ කැරිණි. ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ ස්ථාපිත ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිඳුන්ගේ ප්‍රතිමාවට සම්භාවනීය ආරාධිතයන් පුෂ්පෝපහාර දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අනුශානාව පැවැත්වු ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියෝ මෙසේද සඳහන් කළහ. ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ශ්‍රීමතාණන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් මහෝත්සවයට එක්වීමට ලැබීම අප්‍රමාණ සන්තෝෂයක් ගෙන දෙන හේතුවක්. කරුණක්. එතුමාණෝ අපගේ ගුරු දේවයානෝ වූ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් අධ්‍යාපන හැදෑරූ දීප්තිමත්ම ගිහි ශිෂ්‍යායයි.

විද්‍යාලංකාර මහා පිරිවෙනින් ලැබූ ආගමික, ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය, ශික්ෂණය එතුමාගේ ජීවිතය ආලෝකමත් වීමට ඉවහල් වුණා. එතුමාණන්ගේ ජීවිතය ආගමික, ධර්ම ශාස්ත්‍රීය, දේශපාලන හා නන්වැදෑරුම් අංශ ඔස්සේ පරිපූර්ණ වුවක්.

ශ්‍රී ලංකාවේ පහළ වූ සදාකල්හිම සිහිපත් කළ යුතු ශ්‍රීමත් පුද්ගලයෙක් තමයි එතුමා. එතුමාගෙන් ලංකාද්වීපයට සිදු වූ අතිමහත් වූ සේවා අතර, තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම ඉතා වැදගත්. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉහළ නැංවීමට එතුමා ඉටු කළ මෙහෙවර අතිවිශිෂ්ටයි.

එතුමා ඉංශ්‍රීසි භාෂාව වාගේම පාලි සංස්කෘත, සිංහල භාෂාවන් පිළිබඳව ප්‍රවීණත්වයක් ලැබූවෙක්. ඒ නිසාම එතුමා සිඛ වළඳ විනිස වැනි ග්‍රන්ථ පවා සංශෝධනය කරන්නට කටයුතු කළා. එතුමාට ඒ තරම් ඉහළ භාෂා දැනුමක් තිබුණා.

එතුමාගේ ඡන්ම පත්‍රය බැලූ විද්‍යාලංකාර මහා පිරිවෙනේ එවකට වැඩ විසූ මහානායක හිමියන් ප්‍රකාශ කළේ එතුමා මේ රටේ රජකමට පත්වන බවයි. එතුමා අප රටේ රාජ්‍යත්වයට පත් නොවුණාට එතරම්ම භාරධුර කාර්යභාරයක් රට වෙනුවෙන් ඉටු කළ යුග පුරුෂයෙක්. එතුමා අප රටෙහි, දඹදිව පිළිබඳව මහා දැනුමක්, අවබෝධයක් තිබූ විද්වතෙක්. එතුමා තමන්ගේ ජීවිතයේ අවසන් සුසුම්පොද හෙළුවේ උඩුගුවනේදියි. එතුමාණෝ මහා භාග්‍යවන්ත පුද්ගලයෙක්. අපි එතුමාගේ ගුණ සදාකල්හිම සිහිකළ යුතුයි. අපි එතුමාණන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.

කථානායක කරූ ජයසූරිය මහතා - ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන් දේශපාලනඥයකු ලෙස හඳුන්වනවාට වඩා වටින්නේ එතුමා මහා රාජ්‍යතාන්ත්‍රිකයෙකු‍ ලෙස හැඳින්වීමයි. එතුමා බලය පසු පස හඹා ගිය දේශපාලනඥයක් නොවේ.

ඉතාම දුර්ලභ ගණයේ මහා වියත් පඬිරුවනක් ලෙස එතුමා හැඳින්වීම වටිනවා. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහානායක හිමියෝ වැනි වියත් පඬිරුවනේ අනුශාසනා, උපදෙස් මත ජීවිතය ගොඩනඟාගත් එතුමාගෙන් අප රටට දැයට සිදුවූ සේවාව අති විශාලයි.

එතුමා අපේ රටේ ජාතික නිදහස් සටනේ පුරෝගාමී නායකයින් සමඟ අත්වැල් බැඳ ගත්තා. එෆ්. ආර්. සේනානායක, ආතර් දියෙස් මැතිඳුන් සමඟ එක්ව මත්විරෝධී සටන පටන්ගත්තා. සුදු අධිරාජ්‍යවාදීන් විසින් පතල කළ මත්පැන් භාවිතයෙන් රටේ ජනතාව බේරාගැනීමට විශාල සටනක් දියත් කළා. ශ්‍රීමත් අරුණාචලම් පෝනනම්බලම් මැතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කළා. එහිදී එතුමා අශ්ව කරත්තයකින් රැගෙන ඒමට කටයුතු සංවිධානය කොට තිබුණා.

ඒ අවස්ථාවේ අරුණාචලම් පොන්නම්බලම් මැතිතුමා වැනි නායකයෙක් අශ්ව කරත්තයකින් අසුන් යොදා රැගෙන ඒම නුසුදුසු බව කී ඩී. බී. ජයතිලක මැතිතුමා එය වෙනස් කළා. අප රටේ ජාතියේ පියාණන් වන ඩී. එස්. සේනානායක මැතිතුමා හා ඩී. බී. ජයතිලක මැතිතුමා අශ්වයන් වෙනුවට කරත්තය රැගෙන ආවා. ඒ ආකාරයටයි එදා නායකයෝ කටයුතු කළේ.

උත්සව සභාව අමතා ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිඳුන්ගේ පවුලේ ඥාතීන් හා එම පදනමේ සියලු සාමාජිකයින් වෙනුවෙන් තුති පිදීමේ කථාව ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළේය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන්, රාජ්‍ය ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. අමරතුංග, පොලිස්පති පූජිත ජයසුන්දර, පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ කොළඹ නගර සභාවේ උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න