පැපුවානිව්ගිනියා රජයෙන් පී. එම්. එන්. බණ්ඩාරට විශිෂ්ටතා සම්මාන | දිනමිණ

පැපුවානිව්ගිනියා රජයෙන් පී. එම්. එන්. බණ්ඩාරට විශිෂ්ටතා සම්මාන

පැපුවා නිව්ගිනියා විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ගිණුම්කරණ අධ්‍යයන අංශයේ ප්‍රධානී පී. එම්. එන්. බණ්ඩාර වෙත ‘ලොගොහු’ (Logohu) නමැති ජාතික විශිෂ්ඨතා සම්මානය ප්‍රදානය කරනු ලැබීය. පසුගියදා අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් බොබ් ඩඩායා අතින් මේ සම්මානය අග්‍රාණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ පැවැති උත්සවයේදී ප්‍රදානය කළේය.

‘ලොගොහු’ යනු රටේ ජාතික පක්ෂියා වන පාරාදීසයේ පක්ෂියා (Bird of Paradise) පැපුවා නිව්ගිනියාවේ එක් ප්‍රාදේශීය භාෂාවකින් හැඳින්වීමට යොදන වචනයකි. මේ ජාතික විශිෂ්ටතා සම්මානය එළිසබෙත් මහ රැජින විසින් 2005 දී ආරම්භ කරන ලදී. සැලකිය යුතු කාලයක් ජාතියට විශිෂ්ට සේවාවක් ඉටුකරන පුද්ගලයන් වෙත මේ සම්මානය වාර්ෂිකව ප්‍රදානය කෙරේ.

බණ්ඩාර වෙත මේ සම්මානය ප්‍රදානය කරන ලද්දේ ඔහු විසින් පසුගිය වසර 16 ක් තිස්සේ උසස් අධ්‍යාපනයට විශේෂයෙන්ම ගිණුම්කරණ අධ්‍යාපනයට සහ වෘත්තීය ගිණුම් ක්ෂේත්‍රයට ඉටුකරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙනි.

ඔහු විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ උපාධි පාඨමාලා නවීකරණය කිරීම, නව උපාධි පාඨමාලා හඳුන්වාදීම හා දුරස්ථ අධ්‍යාපන මාධ්‍යයෙන් ගිණුම්කරණ පාඨමාලා ඉගැන්වීම සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇත. ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන විභාගයක් වන 12 ශ්‍රේණිය සඳහා ගිණුම්කරණ විෂයය හඳුන්වාදීම, විෂය නිර්දේශයන් සකස් කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සම්බන්ධයෙන්ද පුරෝගාමීව කටයුතු කර ඇත. එපමණක් නොව මේ විභාගයේ ප්‍රධාන පාලක පරීක්ෂකයා වන්නේද මොහුය.

ද්විතියික පාසල් සඳහා ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය සහ ව්‍යාපාරික අධ්‍යයනය යන විෂයයන් සඳහා පාඨ ග්‍රන්ථ හතක් ඔහු විසින් සම්පාදනය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත ග්‍රන්ථ වන අතර ප්‍රකාශයට පත්කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ප්‍රකාශන ආයතනය විසිනි. මෙයට අමතරව ඔහු විසින් ලියා ඇති තවත් ග්‍රන්ථ තුනක් විශ්වවිද්‍යාලවල සහ වෘත්තීය ගිණුම්කරණ ආයතනවල පාඨ ග්‍රන්ථ ලෙස භාවිත වේ. මින් එක් පොතක් පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාලවලට අමතරව සොලමන් දූපත්වල ජාතික විශ්වවිදයාලයේද නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස භාවිතා වේ.

ශ්‍රී ලංකාවේ සිටින කාලයේ බණ්ඩාර විසින් ආර්ථික විද්‍යාව හා ගිණුම්කරණය විෂයයන්ට අදාළ පොත් 30 ක් පමණ ලියා පළ කොට ඇත. දිනපතා සතිපතා ජාතික පුවත්පත්වලට නිරන්තරයෙන් ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවණතා පිළිබඳ ලිපි ලියා ඇත. මොහු “ආර්ථික විද්‍යා” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.

බණ්ඩාර පැපුවා නිව්ගිනියාවේ වෘත්තීය ගිණුම්කරණ ආයතනයේත්, තවත් තෘතියික අධ්‍යාපන ගණනාවක පාලක මණ්ඩල සාමාජිකයකුද වේ.

මොහු ශ්‍රී ලංකා - පැපුවානිව්ගිනියා මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා වන අතර පැපුවානිව්ගිනියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස ශ්‍රී ලංකා රජය මගින් පත්කොට ඇත. 

නව අදහස දක්වන්න