මුරුත්තැන්න-හතරේකණුව දක්වා බස් මාර්ගය ඉතා අබලන් | දිනමිණ

මුරුත්තැන්න-හතරේකණුව දක්වා බස් මාර්ගය ඉතා අබලන්

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුරුත්තැන්න සිට හතරේකණුව දක්වා බස් මාර්ගය දැනට වසර ගණනාවක් තිස්සේ ඉතාම අබලන් තත්ත්වයක පවතී. මෙනිසා ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වී තිබේ.

වසර ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් කර නොමැති එම මාර්ගයේ බොහෝ තැන්වල තාර හා ගල් ගැලවී ගොසු ඇත. එහි රථවාහන ධාවනය කරවීමට පමණක් නොව පයින් ගමන් කිරීමට පවා සිදු වී තිබෙන්නේ ඉතාම අපහසුතාවයෙනි. හැටන් ලංගම ඩිපෝවෙන් එම මාර්ගයේ බස් රථ කිහිපයක්ම ධාවනය කරවනු ලබන නමුත් මාර්ගයේ අබලන් තත්ත්වය එයට ද බාධකයක් වී ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු දෙණියහේන ශ්‍රී විසුද්ධාරාම විහාරාධිපති ගලමුදුනේ ගුණානන්ද හිමි-"කළුගල සිට පොල්පිටිය, හිටිගේගම, හගරාපිටිය, ජම්බුතැන්න හා කොත්තැල්ලෙන හරහා හතරේකණුව දක්වා මාර්ගය දිගින් කිලෝ මීටර් දහ අටක් පමණ වෙනවා. මධ්‍යම පළාත් සභාවට අයත් එම මාර්ගයේ මේ වන විට මුරුත්තැන්න දක්වා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. නමුත් එහි සිට හතරේකණුව දක්වා තව කිලෝ මීටර් හයක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා සමයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වන්දනාකරුවන් බොහෝ පිරිසක් ද එම මාර්ගයෙන් ගමන් කරනවා. එබැවින් මුරුත්තැන්න සිට හතරේකණුව දක්වා කඳු බෑවුමක් ඉහළට තනා තිබෙන මාර්ග ඉතාම අබලන් වීම නිසා ගම්වාසීන්ට අසීරුතා රැසකට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. එනිසා එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා මෙන් අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා."

එන්.ජී.ඉන්දික රුවන් කුමාර මහතා-"ඇත්තෙන්ම කියනවා නම් මුරුත්තැන්න සිට හතරේකණුව මාර්ගය දැඩි ලෙස අබලන්වීම නිසා අපට එහි ගමන් කිරීම ඉතාම අපහසු වී තිබෙනවා. එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් අප අදාළ වගකිවයුත්තන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් මෙතෙක් එය ඉටු වී නෑ."

එම්.ආර්.චමින්ද සුරසේන මහතා-"හැටන් ලංගම ඩිපෝවේ බස් රියැදුරකු වශයෙන් සේවය කරන මා පදවන බස් රථයත් මුරුත්තැන්න-හතරේකණුව මාර්ගයේ ධාවනය කරවීමට සිදු වී තිබෙන්නේ ඉතාම අසීරුවෙන්. එනිසා අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අබලන් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසයි."

ඩබ්.ජී.සුමේධ සමන් කුමාර මහතා-"දැනට වසර තණනාවක් තිස්සේ ඉතාම අබලන් තත්ත්වයේ පවතින මුරුත්තැන්න හතරේකණුව මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ නම් අප ගම්වාසීන්ට එමඟින් නැවත ගමන් පහසුව සැලසෙනවා."

ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන

නව අදහස දක්වන්න