හොරොව්පතාන සේරුනෑවේ අරනෝලිස් රජ්ජුරුවෝ සොයා ගිය ගමනක් | දිනමිණ

හොරොව්පතාන සේරුනෑවේ අරනෝලිස් රජ්ජුරුවෝ සොයා ගිය ගමනක්

මෙය සත්‍ය කතාවකි.තුටු සිතා මෙන්ම සෝ දුක් ද එහි එමටය.ඒ සියල්ල සැමට හෙට දිනය ගැන සිතන්නට අපූර්ව මඟක් පහදා දෙයි.හොරොව්පතාන, සේරුනෑව ගම්මානය ගැන,එහි ශේෂ වූ මිනිසා කළ කතාව මහත් අභිමානයෙන් මෙන්ම දුක් ලීලයෙන් මුදාහල අදහස් දාමයකි. එය මුල සිට අගට දිගහැරිය ද අග සිට මුලට දිගහැරිය ද අගයට හෝ රසයට හානියක් සිදු නොවේ.

ජනතා සේවයට කැපවන රාජ්‍ය නිලධාරියකුගේ ම පෙන්වීම ඔස්සේ අනුරාධපුර මහදිසාපති ආර්.එම්.වන්නිනායක,සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද ඇතුළු කණ්ඩායම ,මහසේරුනෑව ගම්මානය වෙත පැමිණියේ දුෂ්කර ගමනකින් පසුවයි. අනුරාධපුරයේ සිට කිලෝමීටර් 100ක් පමණ දුරකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව මහසේරුනෑව ගම්මානය පිහිටා තිබේ. ත්‍රස්ත තර්ජන පැවති කාලයේ සේරුනෑව ගම ද එහි පීඩාවට තදින්ම මුහුණ දී ඇත. එම නිසා තමන් ගොඩනගා ගත් සියලු දේ අතහැර යන්නට ඔවුන්ට සිදුවිය. අද එහි වාසය කරන්නේ එක් තැනැත්තකු පමණි. මේ කතාවේ කතා නායකයා ඔහුයි.

අනුරාධපුරයෙන් හොරොව්පතානට ගොස්,එහි සිට දියතිත්ත වැවට පිවිසීම දුෂ්කර කාර්යයක් නොවේ.නමුත් එතැන් පටන් සේරුනෑවට සේන්දු වීම සිතූ තරම් පහසු නොවීය. දිසාපතිවරයා ඇතුළු පිරිස එතැන් සිට ගමන් කළේ ට්‍රැක්ටරයකිනි.මහ වන මැදින් යන ගමන අසීරු සහ කුහුල දනවන ගමනක් විය. මිනිස් පුළුටක් නැත. මුණ ගැසෙන වන සතුන්ගේ හා උන්ගේ ශබ්දවල නම් කිසිදු අඩුවක් නොවිණි.පැය එකහමාරක පමණ ගමනකින් පසුව වල් බිහිවූ,එහෙත් එක් මිනිසකු පමණක් දිවි ගෙවන සේරුනෑව ගම්මානයට ළඟාවිය.

මේ ගම සංවර්ධනය කර එහි සිටි ජනතාව නැවත පදිංචි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිළිබඳ සොයා බැලීම ගමනේ අරමුණ විය. එම කටයුත්තට බොහෝ බාධක පැන නගිනු ඇත. දැන් මේ ගම මහා වනාන්තරයකි.තිබුණු නිවසක සේයාවක් හෝ නොපෙනේ.තිබූ එකම පාසල මහා ලදු කැලෑවකින් වැසී තිබේ.එහෙත් සරුව පීදෙන කුඹුරු යායකි. පිරී තිබුණු මහා වැවකි. ගමක් නැගීමේදී මේවා මහා වාරුවකි.

මේ දර්ශනයෙන් පසුව අපගේ කුහුල වූයේ සේරුනෑව ගමේ හුදකලා මිනිසා සමඟ කතා කිරීමයි. අසූවැනි වියද ඉක්ම වූ එහෙත් මහා ජවසම්පන්න බවකින් හෙබි අපගේ කතානායකයා දැන් අප ඉදිරියේය. හේ සැවොම ඉදිරියේ ප්‍රකට කළේ,වෙනම රාජධානියක රජකම් කරන රජකුගේ අභිමානයකි.එතරම්ම ඔහු පෞරුෂාත්මකය. ගාම්භීර බවින් අනූනය. මෙතැන් සිට කියැවෙන ඔහුගේ කතාව දුක,සතුට,සංහිඳියාව,ඛේදනීය බව යනාදී බොහෝ සාධවල මුසුවකි.දාහක් දේ දනවන ජීවන රිද්මයක් එම කතාවෙන් ප්‍රකට වේ.

මීට වසර හැටකට පමණ පෙර ගාල්ලේ සිට රැකියා කටයුත්තක් සඳහා හොරොව්පතානට පැමිණි හේ නමින් එම්.එච්.අරනෝලිස්ය.එහෙත් එවක සිට කා අතරත් ඔහු ප්‍රසිද්ධ වූයේ “වාඩියේ ධනපාල මුදලාලි” යන නාමයෙනි.ධනපාල කීවේද, මුදලාලි කීවේ ද මුදල් ඇතුවාටම නොවේ.හෙතෙම කාටත් සලකන ගුණ පිරි මිනිසකු බැවිනි. පරංගියාවාඩිය,නඹඩවැව,කුඹුක්වැව ඇතුළු අවට සියලු ගම්මානවල ජනයා මෙන්ම වෙනත් පෙදෙස්වලින් වෙළෙඳාමේ පැමිණෙන බොහෝ අය ද ධනපාල මුදලාලි හොඳින් දනී.එවක ඔහු බිරිය සමඟ දිවි ගෙවා ඇත්තේ නඹඩවැව ප්‍රදේශයේය. හැත්තෑව දශකයේ දී අලුතින් ඉඩම් ලබාදී සේරුනෑව ගම අරඹා පවුල් 67ක් පදිංචි කරවා ඇත.බොහෝ තුටින් දිවි ගෙවූ මුත් ඔවුන්ට කණ කොකා හඬන්නට වූයේ ත්‍රස්ත තර්ජනත් සමඟයි.1987 මාර්තු 22 වනදා යනු සේරුනෑව ගම්වාසීන්ගේ ඛේදනීයම දිනය බවට සැක නැත.ත්‍රස්තවාදීන් විසින් ගමේ 26 දෙනෙකු ඝාතනය කළේ මෙදිනයි. ඉන් පසුව අවස්ථා කිහිපයකදීම ත්‍රස්ත ප්‍රහාරවලට මේ ගම ලක්ව තිබේ.

ඔහු කියන ආකාරයට ත්‍රස්තයන් ගමට පැමිණ මුලින්ම කිසිදු හානියක් සිදුකර නැත.ඒ වෙනුවට මිනිසුන් සමඟ සුහදශීලීව කටයුතු කර තිබේ.කුඩා දරුවන්ට සෙනේ පා ටොෆී,සීනි බෝල පවා ලබා දී ඔවුන් හුරතල් කරමින් සිටි බව කියයි.මේ නම් ඔවුන්ගේ උපක්‍රමශීලී බවය.එහේ සිට එතරම් කලක් නොගියේ ය. ගමම හඬවා 26 දෙනෙකුගේ දිවි නිවී ගියහ. අරනෝලිස් දුක සඟවාගෙන කියන්නේ එම මියගිය පිරිස අතර වයස දොළහක් වන තම දියණිය ද සිටි බවයි. කන්තලේ වැවට එතැන් සිට ඇත්තේ සැතපුම් කිහිපයක දුරකි.එවක කන්තලේ වැව කැඩී යාම නිසා මහා වාහන,බැකෝ යන්ත්‍ර පැමිණ වැව සකසන බව ආරංචි වූයෙන් මහා වාහන දකින්නට ඇති රුචිය නිසා සේරුනෑව දරුවෝද දහ දොළස් දෙනෙක් පයින්ම කන්තලේට ගොස් ඇත.ඒ එන අතරවාරයේ දී ත්‍රස්තවාදීන්ට හසුවීමෙන් පිරිසේ ජීවිත අහිමි විය.සිය දියණිය සිටියේද ඒ අතරයි.ඒ අතරින් මිය නොගොස් දිවි බේරාගත් මුණසිංහ නම් තැනැත්තා තවමත් ජීවතුන් අතර සිටී.

කොතරම් තර්ජන පැවතියත් ගමෙහි සියලු දෙනා බියෙන් පලා යද්දී ගමෙහි තනි වූ අරනෝලිස් නොහොත් ධනපාල මුදලාලි යුද්ධය පැවති කාලයේ වසර 10ක් තනිවම මේ ගමේ වාසය කර තිබේ.ඒ ගොවි කටයුතු ද සිදුකරමිනි.ඒ කාලයේ දී ත්‍රස්තවාදීන් බොහෝ අවස්ථාවලදී තමන්ට හමුවූවත්,ඒ කිසිදු අවස්ථාවක තමන්ට හානියක් නොකිරීම ගැන අදටත් කතා කරන්නේ පුදුමයෙනි.මහා වන මැද ගමක තනිවම සිටියද කිසිදු අවස්ථාවක යම්කිසිවෙකුගේ අතින් තමන් මරණයට පත්වීමට නොකැමති වූ ඔහු,එබඳු තත්ත්වයක් පැමිණියා නම් සියදිවි හානිකර ගන්නට සිතා සිටි බව අප සමඟ පැවසී ය.අලි,කොටි,වලස් මුළු සහිත මේ වනයේ වෙනත් තර්ජනද සමඟ මේ මිනිසා තනිවම විසුවේ කෙසේද? ඒ ඔහුගේ ධෛර්යයි.

විටෙක ඔහු හා තවත් කිහිපදෙනෙකු ත්‍රස්තයන්ගේ ග්‍රහණයට හසුවීමෙන් පසු මුදාහැරීමට නම් ලක්ෂ 2 ½ ක මුදලක් ඉල්ලූ බව කියයි. ඒ අනූව දශකයේ එක්තරා වර්ෂයකි.එක් අයකු මුදල් සොයන්නට යැවීය.ඒ නම් මානව සිත් තුළ ගුණ සුවඳ කියාදෙන අවස්ථාවකි.මුළු හොරොව්පතාන ප්‍රදේශයේම සිටින වෙළෙඳුන්,පිටින් පැමිණි වෙළෙඳුන් සියලු දෙනා තම සියලු සේසත දිනයක් තුළ එකතු කළේ,ධනපාල මුදලාලි ඇතුළු පිරිස මුදා ගැනීමටයි.මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් වාසය කරයි.ඔවුන් තමන්ව මුදා ගැනීමට ස්වකීය සියලු ඉපයීම් එකතුකර ලබාදුන් බව කියන්නේ ඉමහත් ගෞරවයකිනි.විවිධ ගැටලු මතුයෙහි කුලල් කා ගන්නා වර්තමාන සමාජයට මෙයින් කියා දෙන්නේ සැබෑ මානව හිතවාදීත්වය ඇතුළත් සංහිඳියා පාඩමකි.

එවක අරනෝලිස් මහතා තුන්සියයක පමණ ගව පට්ටියක් පාලනය කළේය.තමා බේරා ගන්නට මුදල් වැයකළ සියලුදෙනා කළ උපකාරය සිහි තබාගත් හෙතෙම දින දෙකක් යන්නට මත්තෙන් සිය හරකුන්ගෙන් කොටසක් විකුණා එම මුදල පියවා ඇත.

අක්කර 10-15ක කුඹුරක් පෝෂණය කරමින් එදා සිට සුප්‍රසිද්ධ “වාඩියේ ධනපාල මුදලාලි,ගම ආරම්භයේදී තම නිවස තැනූ තැනම අදටත් දිවි ගෙවයි.ඔහු කියන ආකාරයෙන් හෙතෙම ගෙවන්නේ ඉතා දියුණු ජීවිතයකි.“මම දියුණුයි මහත්තයෝ .මට මොනවායින් අඩුවක්ද? මී පැණි ටික,වී ටික,සාගරේට වැවේ වතුර,මට වුවමනා ඔක්කොම මෙහෙ තියනවා.මීට වඩා දියුණුවක් මොකද්ද ආයේ”මේ ඔහුගේ විශ්වාසනීය වදන් වැලයි.ඒ නම් නගරයේ සිට විවිධ දේට කැස කවන මිනිසුන්ට, ගමේ සිට නගරයට ඇදෙන්නට පොරකන ඊනියා වුවමනාවන් පොදි බඳින මිනිසුන්ට මහා පාඩමකි.

අරනෝලිස් මහතාට වනාන්තරය හොඳට හුරුය. දිවියන්,වලසුන් වැනි භයානක සතුන් ඔහුට පෙනෙන්නේ බල්ලන් මෙන්යැයි හේ සැහැල්ලුවෙන් කියාගෙන යයි. දිවියකු සමඟ පොරබදා බේරුණු සැටි විස්තර කළ හෙතෙම,ඉන් ඇති වූ තුවාල කැළැල් පෙන්වුයේය.

අරනෝලිස් හෙවත් වාඩියේ ධනපාල මුදලාලි වටා ගෙතුණු, සේරුනෑව ගම්මානය වටා ගෙතුණු මේ කතාව ධනාත්මක මෙන්ම ඍනාත්මක පසුබිම් ස්පර්ෂ කරනු පෙනේ. අරනෝලිස් තාමත් ඒ ගමේ තනිවමය. මිනිසුන් නොමැති රාජධානියක රජෙකි. එදා මිනිසුන් මෙන්ම අවට ගම්මානවල අද දිවි ගෙවන ජනතාවද ධනපාල මුදලාලිට ගරු කරන්නේ දෙවියෙකුට මෙනි.සේරුනෑව ගම තුළින් පැවති සේ සංවර්ධනය කිරීමෙන් ගමෙහි සිටි සියලු දෙනා නැවත පදිංචි කරවීමට හැකිනම් රනෝලිස් ඊට එක පයින් කැමතිය.එහෙත් ඒ සඳහා දුෂ්කරතා රැසක් පවතී.ගමන් කරන මාර්ගයේ පටන්ම අතිදුෂ්කරය . වැව් ප්‍රතිසංස්කරණය,කුඹුරු සකස් කිරීම මුල සිටම කළ යුතු වේ.බීමට ජල මූලාශ්‍ර අවශ්‍යය. නිවෙස් ඉදිකළ යුතුය.පාසල්,රෝහල් ඇතුළු පොදු පහසුකම්,විදුලිය වැනි යටිතල පහසුකම් සම්පාදනය කළ යුතුය.මේ සියල්ල ඉටු කිරීමට මහා කාලයක් ගතවීම නිත්‍යය.මේ සියල්ල කිනම් කාලයක හෝ කරන්නට හරස් වන බාධක කිහිපයක් ද තිබේ.සේරුනෑව ගම්මානය ,එහි ජනයා විසින් අතහැර දමා යාම නිසා මහා වනාන්තරයක් බවට පත්වූයෙන්,දැන් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයක් බවට පත්කර ඇත.රක්ෂිත ප්‍රදේශයක ගම්මානයක් කෙසේ අරඹන්නද?එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් අනුවණ ක්‍රියාමාර්ගයක් නොවේ.එසේ නොවන්නට මේ වනය එලෙසම දකින්නට ඉඩ නොතිබෙන්නට තිබුණි.ගමට සෘජුව ජලය සපයන්නට ඇළ මාර්ගයක් පිළිසකර කිරීමට මුදල් ද වෙන්වී වැඩ අරඹන්නට ගිය මොහොතේ ඊට ඉඩ නොලැබුණේ මෙය රක්ෂිත ප්‍රදේශයක් වන බැවිනි.

කෙසේ වෙතත් මෙහි සිටි පවුල් සඳහා එක් පවුලකට කුඹුරු අක්කර 3ක හා ගොඩ ඉඩම් අක්කරයක අයිතිය තිබේ.නමුත් ඒ කිසිවක් දැන් වගා කර නැත. සිටින එකම ගොවියා ධනපාල මුදලාලි පමණි.අඩුම තරමින් පුරන් වූ කුඹුරු හෝ අස්වද්දන්නට මේ ජනතාවට අවස්ථාව ලබාදෙන්නේ නම් එය මිනිසුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට ඉමහත් රුකුලකි. ඊට අවශ්‍ය පසුබිම හෝ සකසා දීම අනුරාධපුර මහදිසාපති ආර්.එම්.වන්නිනායක මහතාගේ අරමුණ වී තිබේ.එසේ නම් ඊට අවශ්‍ය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ද සැකසිය යුතුය.මේ සියල්ල සිදුවමට අවශ්‍යමය. නමුත් මෙතෙක් කලක් තරමකින් හෝ සුරැකී තිබූ දැනටත් මනා අලංකාරයක්,සිහිලක් දනවන වන ගොමුව මේ නිසා විනාශ වී යෑමට ඉඩ නොදිය යුතු වේ.ඊට අත නොතබන ආකාරයේ නිසි සුරක්ෂාවක් සහිතව අරඹන ඕනෑම සංවර්ධන වැඩපිළිවෙළක් සැලසුම් කළ යුතු වේ.එය අනාගතයට සම්පත් ඉතිරි කරමින් වර්තමාන සමාජය පෝෂණය කරන ආකාරයේ සංවර්ධන ක්‍රියාමාර්ගයක් බවට ක්‍රියාත්මක කළයුතු වේ.

නැවත සේරුනෑව ගමක් ඇරැඹීමට නොහැකි වූවත් අඩුම තරමින් සේරුනෑව නමින් සශ්‍රීක ගොවි බිමක් හෝ අරඹා එහි පදිංචිව සිටි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ඉඩ හසර සැලසීමට අවශ්‍ය සියලු මං සාධාරණ ආකාරයෙන් හා පරිසර හිතවාදී ආකාරයෙන් විවර වනු දැකීම කාගේත් අපේක්ෂාවයි.

(සේරුනෑව ප්‍රදේශයේ සංචාරයෙන් පසුව ) 


නව අදහස දක්වන්න

Or log in with...