කිතුල් කර්මාන්තය ඉහළ නැංවීමට පියවර | දිනමිණ

කිතුල් කර්මාන්තය ඉහළ නැංවීමට පියවර

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% ක් වු ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් කෘෂි කර්මාන්තය ,පශු සම්පත් හා හස්ත කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටී. ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය විසින් මෙම කර්මාන්ත සංවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාවට නංවා ඇත.

මේ යටතේ දිවයිනේ කිතුල් කර්මාන්තය නංවාලීම සදහා පියවර ගෙන ඇති අතර ඒ සදහා මෙම වර්ෂයට රුපියල් මිලියන 15 ක් වෙන් කර ඇත . කිතුල් කර්මාන්තය ව්‍යාප්තව පවතින ගාල්ල ,මාතර, රත්නපුරය ,කළුතර , කෑගල්ල, හා බදුල්ල වැනි දිස්ත්‍රික්කයන්හි කිතුල් කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීම හා වෙළඳපොල ශක්තිමත් කිරීම මේ යටතේ සිදු කෙරේ.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් කිතුල් ආශ්‍රිත කර්මාන්තකරුවන් හදුනා ගැනීම සදහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.

පසුගිය වසරේ මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 56ක කිතුල් කර්මාන්තකරුවන් 2350 ක් සංවර්ධනය කෙරිණි. කිතුල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික හා තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට අනුව කිතුල් නිෂ්පාදනයන් කිරීම සදහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම සඳහා පුහුණු වැඩ සටහන් 135 ක් ක්‍රියාත්මක කර ඇත . මෙම ව්‍යාපෘතිය සදහා පසුගිය වසරේ වැය කළ මුදල රුපියල් මිලියන 25 කි.

මෙහිදී ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයන් සඳහා කර්මාන්තකරුවන් යොමු කිරීම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු‍ කෙරේ. එමෙන්ම මෙම කර්මාන්තය සදහා අවශ්‍ය බදපටි , පිහි ,උදුන් ඇතුළු උපකරණ රැසක් නොමිලේ ලබා දීමද අමාත්‍යංශය මගින් සිදු කර ඇත.

කිතුල් කර්මාන්තය සදහා දේශීය හා විදේශීය වෙළද පොළ විශාල ඉල්ලුමක් පවතින බැවින් මෙම කර්මාන්තය සංවර්ධනය කිරීම තුලින් ග්‍රාමීය ජනතාවගේ ස්වයංරැකියා අවස්ථා වැඩි දියුණු කිරීමත් කිතුල් කාර්මිකයන්ගේ හා ඒ ආශ්‍රිත ව්‍යවසායකයන්ගේ ආදායම ඉහළ නැංවීමත් අමාත්‍යංශයේ අපේක්ෂාවයි .

නව අදහස දක්වන්න