ආණ්ඩුව රතු එළියක | දිනමිණ

ආණ්ඩුව රතු එළියක

වසන්ත ප්‍රිය රාමනායක

පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණය වත්මන් සන්ධාන ආණ්ඩුව මුහුණ දුන් ප්‍රථම මැතිවරණය ලෙසින් සැලකේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මෙවන් මැතිවරණයක් පවත්වනු ලබන්නේ බලයට පත්වූ මුල් අවදියේදීමය. වසරකට අඩු කාලයකින් හෝ වසරකින් එකහමාරකින් පසුවය. එහෙත් මෙවර එය වසර 3ක කාලපරාසයක් දක්වා දීර්ඝ වී තිබුණි.

වසර 40කට පසු මේ රටේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් විය. එම වෙනසට අනුව ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක් ගමට හා නගරයට ලැබුණි. (ග්‍රාමසේවක වසම් එකකට හෝ දෙකකට එක් මන්ත්‍රීවරයෙක් බැගින්) එමෙන්ම යම් ඡන්ද කොට්ඨාසයකින් තමන්ගේ නියෝජිතයා පරාජය වන පදනමක් යටතේ වුවද සමානුපාතිකව නියෝජිතයකුට හෝ කීපදෙනකුට සභාව නියෝජනය කරන ක්‍රමයක් ද නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ දක්නට ලැබුණි. ඒ නිසා මෙය පැවැති තත්ත්වයට වඩා යහපත් මැතිවරණ ක්‍රමයක් විය.

නව ක්‍රමයේ ප්‍රථම පළාත් පාලන මැතිවරණය පසුගිය 10 වැනිදා පැවැත්විණ. ප්‍රතිඵලය මේ වනවිටත් පැහැදිලිය. අලුතින්ම බිහිවූ දේශපාලන බලවේගයක් නැතිනම් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුළු මැතිවරණයේම බහුතර ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය. එය රටට දැනෙන ජයග්‍රහණයකි. එනම් මුළු පළාත් පාලන බල ප්‍රදේශ 340න් 239කම බලය හිමි කර ගැනීමට හා ඉදිරියෙන් සිටීමට එම පෙරමුණට හැකි වී තිබේ. ඒ අනුව ආණ්ඩු කරන ප්‍රධාන දේශපාලන බලවේග දෙක වන එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ පසුබෑමකට ලක්ව ඇත.

ඡන්ද හැසිරීම

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 42ක බලයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 11ක බලයත් ලබාගෙන ඇත. මේ අතර විපක්ෂය නියෝජනය කරන තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 38ක බලය හිමිකරගෙන තිබේ.

සාමාන්‍යයෙන් රජයක් බලයේ සිටිය දී පළාත් පාලන ආයතනවල මැතිවරණයකදී එහි ජයග්‍රහණයේ සම්පූර්ණ නැඹුරුතාවය පවතින්නේ බලයේ සිටින ආණ්ඩුවේ කණ්ඩායමටය. එහෙත් මෙහිදී විශේෂත්ව දෙකක් දක්නට ලැබුණි. එකම සන්ධාන ආණ්ඩුවක් ලෙසින් කටයුතු කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක (කණ්ඩායම් දෙක) මෙම පළාත් පාලන මැතිවරණයේ දී එකිනෙකාට පසමිතුරු ලෙසින් වෙන්ව තරග කිරීමය. දෙවැන්න විපක්ෂය මෙම මැතිවරණය ජාතික මැතිවරණයක ස්වරූපයෙන් ආණ්ඩු විරෝධී ඡන්දයක් කර ගැනීමය. මේනිසා ගමේ මැතිවරණය ජාතික මැතිවරණයක් බවට පත්වී ආණ්ඩු විරෝධී පදනමින් මෙම මැතිවරණයට අවතීර්ණ වීමය. මේ නිසා පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්ප්‍රදායිකව ගමේ නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරණයක් පමණක් නොවීය. ජාතික මට්ටමින් ආණ්ඩුවට එරෙහි ජනමත විචාරණයක් ලෙසින් උපයෝගී කර ගැනීමට ද ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ බව පෙනේ. ප්‍රාදේශීය මැතිවරණයක් ජාතික තලයට ගෙන ඒමේ ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රයට ආණ්ඩුව කරන ප්‍රධාන දේශපාලන බලවේග දෙකම අවනත වූවා වගේය. මේ නිසා ගමට පත්වන නියෝජිතයා කවුරුන්ද යන ප්‍රශ්නයට වඩා ජාතික වශයෙන් ගනු ලබන තීන්දුතීරණවලට බලපෑමක් මෙන්ම බලයේ සිටින ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි මට්ටමේ දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට ද මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට හැකි වී තිබෙන බව පෙනේ. එය ඔවුන්ගේ උපක්‍රමීය ජයග්‍රහණයක් ද වනු ඇත.

කෙසේ නමුත් බලයේ සිටින ආණ්ඩුවකට මෙතරම් බලපෑමක් එල්ල කළ හැකි පළාත් පාලන මැතිවරණයක් මෙතෙක් අප දැක නොමැත. එසේම එම බලපෑම එල්ල කළ විපක්ෂ බලවේගය අලුත්ම දේශපාලන පක්ෂයක් වීම ද වැදගත්ය.

අලුත් පක්ෂයක්, ආණ්ඩුවට දැඩි බලපෑමක් සිදු කළ ප්‍රථම අවස්ථාවක් යන කාරණා දෙකම මෙහිදී සිදුවී තිබේ. ඡන්ද අනුව ගත් කල ආණ්ඩුවට ඡන්ද 50,93,912කි. (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) ආණ්ඩු විරෝධී ඡන්ද ගොඩ 59,75,502කි. (ජනතා විමුක්ති පෙරමුණ හා තමිල් අරසුකච්චි පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය ද පොදුජන පෙරමුණ බලවේගයට එකතු කර තිබේ.) එසේ ම පොදුජන පෙරමුණ තනිව ලබාගත් ඡන්ද ප්‍රමාණය 49,41,952කි. එම පෙරමුණ හා ආණ්ඩු ලෙසින් කරනු ලබන බල බෙදීමක දී වුවද (එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය) රජය නියෝජනය කරන පාර්ශ්වයන්ට ලැබී ඇති පළාත් පාලන ආයතන මන්ත්‍රී සංඛ්‍යාව 3417කි. විපක්ෂය නියෝජනය කරන පක්ෂ ලැබූ ආසන ගණන 4207කි.

මේ අතර මුස්ලිම් කොංග්‍රසය රජය නියෝජනය කරමින්ම මෙම මැතිවරණයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතන සඳහා වෙනම තරග කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එකඟතාවයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවලට තරග කර ජය ලබාගෙන තිබුණත් මේ වන විට එම පක්ෂය පොදුජන පෙරමුණට සහය පළකිරීමට තීරණය කර ඇතැයි දැනගැනීමට තිබේ. මුස්ලිම් කොංග්‍රසය කම්කරු කොංග්‍රසය ඇතුළු සමහර ස්වාධීන කණ්ඩායම් ලැබූ ඡන්ද මෙම ගණන් බැලීමට අදාළ කරගෙන නොමැත.

සභාග ක්‍රමයට

මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගොඩනැගුණු බලවේගයට ලක්ෂ 15ක ජනවරමක් ලැබී තිබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ උතුරු නැ‍ඟෙනහිර පළාත් නියෝජනය කරමින් මන්ත්‍රීවරු 287ක් එම බලවේගය නියෝජනය කිරීමයි. යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් ශ්‍රීලනිප මන්ත්‍රීවරු 32ක් පත්ව සිටිති.

මෙම සමස්ත ප්‍රතිඵලය තුළ ශ්‍රීලනිප හා එජානිස තුළ පොදු ජන පෙරමුණ සමඟ එකතු වුවහොත් බලය පිහිටුවිය හැකි ආයතන ගණන 106කි. වර්තමාන ආණ්ඩුවේ සංයුතියට අනුව ශ්‍රිලනිප, එජානිස ද එක්සත් ජාතික පක්ෂයද සමඟ එකතු වුවහොත් බලය පිහිටු විය හැකි ආයතන ගණන 64කි. කිසිදු හවුල් ක්‍රියාකාරිත්වයකින් තොරව පොදු ජන පෙරමුණට බලය පිහිටුවිය හැකි ආයතන ගණන 130කි. එයින් ම මෙම මැතිවරණ ක්‍රමයේ ඇති සංකීර්ණත්වය පැහැදිලි වේ.

පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණය වත්මන් සන්ධාන ආණ්ඩුව මුහුණ දුන් ප්‍රථම මැතිවරණය ලෙසින් සැලකේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මෙවන් මැතිවරණයක් පවත්වනු ලබන්නේ බලයට පත්වූ මුල් අවදියේදීමය. වසරකට අඩු කාලයකින් හෝ වසරකින් එකහමාරකින් පසුවය. එහෙත් මෙවර එය වසර 3ක කාලපරාසයක් දක්වා දීර්ඝ වී තිබුණි. වර්තමානය, රජයට එරෙහිව යම් විවේචනයන් එල්ල වන අවධිය ලෙසින් සැලකේ. මේ නිසා ආණ්ඩු විරෝධයක් කුළුගැන්වීමට විපක්ෂයට අවැසි වාතාවරණයක් නිර්මාණය වීම ස්වාභාවිකය. එහෙත් ගමට වැඩක් කරගැනීමට නම් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමටම පළාත් බලය ලබාදිය යුතුය යන මතයක් දේශපාලන ලෝකයේ සමාජගතව තිබුණි. මෙම මැතිවරණයේ දී ජනතාව එම මතවාදය ද ප්‍රතික්ෂේප කර තිබේ.

වර්තමාන රජය නිදහසේ සිට 2015 දක්වා මේ රට නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග දෙකක එකතුවකි. (එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) මෙම බලවේග දෙකම වරින් වර මේ රටේ ආණ්ඩු බලය ලබාගෙන ඇත. මෙවර සිදුවී තිබෙන්නේ එම බලවේග දෙක එකට එකතු වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සන්ධාන රජයක් පිහිටුවා ගැනීමයි. ඊට බලපෑ ප්‍රධාන කාරණා දෙකක් තිබේ. ඉන් එක් කරුණක් වන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට තනි රජයක් පිහිටුවීමට හැකිවන අයුරින් වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොලැබීමයි.

දෙවැන්න ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තනි පක්ෂයක රජයකට පමණක් විසඳාගැනීමට නොහැකි වන ආකාරයේ පොදු කාරණා කීපයක් නිර්මාණය වී තිබීමයි. ඉන් එක් කරුණක් වන්නේ ජිනීවා අවුල හා ජාත්‍යන්තර වශයෙන් අපේ රට හිරවීමකට ලක්වන ආර්ථික සම්බාධක වැටෙන මට්ටමේ වාතාවරණයක් නිර්මාණය වී තිබීමයි. දෙවැන්න උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ අභියෝගයයි. මීට අමතරව ප්‍රතිපත්තිමය වශයෙන් පොදු එකඟතාවක් ඇතිකර ගත යුතු ආර්ථික කාරණා ද මේ අතර විය.

අසමත් වූ තැන්

මෙහිදී ජාත්‍යන්තර කාරණා ජය ගැනීමට ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන් වත්මන් රජයට හැකිවිය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය හා ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය වශයෙන් පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට වත්මන් රජය අපොහොසත්ව සිටී. මේ අතර 2015 ජනවාරි 8 යහපාලන මූලධර්මයන්ට පටහැනිව ආණ්ඩුව කටයුතු කරන බවක් ඇතුළතින්ම අසන්නට ලැබුණි. එසේම ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ධාරාවන් දෙකේම අසමගිය හා පරස්පරතාවයන් මතුවීමට වැඩි කලක් ගතවූයේ නැත. නාස්තිය, දූෂණය පිටුදැකීමට පැමිණි රජයේ විවිධ පාර්ශ්වයන්ට දූෂණ චෝදනා එල්ල විය. ඊට ඇති හොඳම උදාහරණය මහබැංකු බැඳුම්කර සිද්ධියයි. මේ සමඟම ආණ්ඩුවට එල්ලවන විවිධ චෝදනා රජයේ සංවර්ධන කාර්යය ඉක්මවා යන තැනට පත්විය. මේ අතර රට කඩන, රට විකුණන විපක්ෂයේ සටන් පාඨය සමාජගත වීමට පටන්ගෙන තිබුණි. සමස්තයක් වශයෙන් ආණ්ඩුව දැක්වූ අකාර්යක්ෂමතාවය ද මීට හේතුවක් විය. ආණ්ඩුවට එරෙහිව එල්ල කරනු ලැබූ චෝදනාවන් කිසිවකට අභ්‍යන්තර ආරවුල් නිසා නිසි අයුරින් පිළිතුරු සැපයීමට රජය අපොහොසත් විය. වත්මන් ඡන්ද ප්‍රතිඵලය මෙම සමස්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලයකි. අවුලක පසුබෑමකි.

ඒනිසා රජය මේ පරාජය භාරගත යුතුය. මේ පිළිබඳ නිවැරදිව විග්‍රහ කරගත යුතුය. ඉන් පිටස්තර ඉලක්කම් විජ්ජාවලින් ඵලක් නොවනු ඇත. ඉදිරි කාලය සැලසුම් කර ගනිමින් රජය පැත්තෙන් මූලික වෙනසක් සිදුකර ගැනීම අත්‍යාවශ්‍යය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...