කතිරය කතා කළේ කොහොමද? | දිනමිණ

කතිරය කතා කළේ කොහොමද?

ආණ්ඩුව විසිරුවා හරින ලෙස පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ඝෝෂාව අඩු වශයෙන් දැනට පදනම් විරහිත ය. යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව ඉදිරියේ දී හැසිරෙන විදිහ අනුව එවැනි පදනමක් නිර්මාණය වීමට බැරි නැත. යහපාලන ආණ්ඩුවට පාර්ශ්ව දෙකේ ම වැරදි ගැන විග්‍රහයක යෙදෙමින් නැවතත් ප්‍රතිසංවිධානය වීමට ඉඩකඩ තිබේ. නව සම්මුතියකට පැමිණිමේ ඉඩකඩ තිබේ.

යමක් වූ පසු ඒ දෙස ආපසු හැරී බැලීමෙන් බොහෝ දේ උගත හැකි ය. බොහෝ දෙනකුට එහෙම ඉස්පාසුවක් නැත. ප්‍රතිඵල අසා ජය පැන් බොන්නටත් පරාජය හමුවේ පසුබෑමටත් හැර බොහෝ දෙනා ඉගෙනීමට සිත යොමු කරන්නේ නැත. වැඩි දෙනෙක් කරන්නේ කලබල වී ඊළගට කළ යුත්තේ කුමක් දැයි කල්පනා කිරිම ය.

අප මේ හැරී බලන්නට හදන්නේ පහුවුණු ඡන්දයේ ප්‍රතිඵල දෙස ය. එයින් එක් එක් පක්ෂයට උගත හැකි පාඩම් ගැන ය.

අපි මුලින් රජය කරවන එක්සත් ජාතික පක්ෂය දෙස බලමු. වාර්ථාගත ඉතිහාසය තුළ ආණ්ඩු කරන පක්ෂයක් ආණ්ඩු බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු ඡන්දයේ දී, පළාත් පාලන ඡන්දයක දී, පරාජය වී නැති බව කියවේ. එහෙම බැලුවහම එක්සත් ජාතික පක්ෂය පැහැදිලි පරාජයක් මේ තුළ ලබා තිබේ.

2015 අගොස්තු මස පැවති මැතිවරණයේ දී ලක්ෂ 51 ට ආසන්න ජනවරමක් ලැබූ එම පක්ෂය මේ මැතිවරණයේ දි ලබා ගෙන ඇත්තේ ලක්ෂ 36 ක් පමණ ය. ප්‍රතිශතයක් ලෙස ගත හොත් 2015 අගොස්තු මාසයේ 45.7% ක් ලබා ගන්නා එම පක්ෂය නියෝජනය කළ එජාපෙ මෙවර මැතිවරණයේ ලබා ගන්නේ ප්‍රතිශතයක් ලෙස 32.6% ක ප්‍රමාණයකි. මුස්ලිම් කොන්ග්‍රසය වෙනම තරග කළ ඡන්ද ද එකතු කළ ද අගයේ විශාල වෙනසක් වන්නේ නැත. එය අති විශාල අඩු වීමකි.

ඒ සඳහා බල පෑ හැකි එක් ප්‍රධාන හේතුවක් නම් බැඳුම්කරය සම්බන්ධව ගොඩ නැගුණු ගැටලුකාරි තත්ත්වය ය. එක්සත් ජාතික පක්ෂය යහපාලනය ගෙන එතැයි ද ඒ නිසා ම දූෂණයෙන් තොර රටක් ඇති කරනු ඇතැයි ද තිබූ අපෙක්ෂා සොළවා දැමීමට ඒ සිද්ධීය සමත් විය. දූෂිතයන් සොයා ගැනීම සඳහා කොමිසමක් පත් කළේ වුව ද එහි ලකුණු වැටුණේ ජනපතිතුමන්ට ය. ඒ වැටුණු ලකුණු එජාපයට වැටෙන්නට තිබුණු ලකුණු ය. එජාපයෙන් ගිලිහුණු ලකුණු ය. එජාපයෙන් ගිලිහුණු ඡන්ද එක්තරා ප්‍රමාණයක් එජාපයට අභියෝග කරමින් එක්සත් ජනතා සන්ධානය මෙහෙයවූ ජනපති විසින් ලබා ගන්නා විට ඉතිරියට සුළුවෙන් හෝ උරුම කීවේ ජනතා විමුක්ති පෙරමුණටය.

ඩීල් දේශපාලනය

දෙවැනි කාරණය නම් ආණ්ඩුව කලින් පාලනය විසින් සිදු කළ කිසිදු ප්‍රධාන හොරකමක් දූෂණයක් භීෂණයක් සම්බන්ධයෙන් දඩුවම් දීමට හෝ අඩු වශයෙන් නඩු පැවරීමට අපොහොසත් වූ බව ය. ඒ වෙනුවට කුඩා නොවැදගත් කීපයක් පමණක් උඩට ගත් බව ය. එයින් සිදු වුණේ ප්‍රධාන ඒවා යටපත් කිරිමට ආණ්ඩුව ඇතුළෙන් ම යම් යම් බලවේග ක්‍රියාත්මක වූ බවට ජනතාව අතර සැකයක් හට ගැනීම ය. එය ජනතාව අතර ප්‍රචලිත වූයේ ද ප්‍රචලිත කරනු ලැබුවේ ද ඩීල් දේශපාලනය ලෙස ය. ඒ සම්බන්ධයෙන් පිළිගැනෙණ උත්තරයක් දීමට රජය අපොහොසත් විය. එජාපය එවැනි තැනක සිටින්නේ නම් එවැනි කණ්ඩායමකට ඡන්දය දිය යුත්තේ ඇයි ද යන්න ඡන්ද දායකයන් අතර ප්‍රශ්නයක් වන්නට ඇත.

තුන්වෙනි කාරණය නම් රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් ඇති කළ ඔවුන් පසු පස සිට මෙහෙය වූ විරෝධතා ව්‍යාපාරන්ය. දෛනිකව පාරවල් වසා තබන්නට ඉඩ දීම හරහා ආණ්ඩුව ආණ්ඩු කිරීමෙන් ඉවත් වූ බවට ජනතාවගෙන් චෝදනා නැගුණ නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගැනිම ය.

සිව්වෙනි කාරණය නම් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන සේවා අඛණ්ඩව ලබා දීමට අපොහොසත් වීම ය. ඛණිජ තෙල්, පොහොර මේ සඳහා දිය හැකි උදාහරණ දෙකකි. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අනතුරුව ඇති වූ කුණු ප්‍රශ්නය දිගින් දිගට ඇදී යෑම තව උදාහරණයකි.

ඉහත කාරණා තුන ම පසුගිය පාලනය සම්බන්ධයෙන් සාපේක්ෂව වඩා සාධනීය පින්තූරයක් ඇති කිරීමට සමත් වන්නට ඇත. ඒ නිසා ම එජාපයෙන් මේ පදනම මත ගිලිහුණු ඡන්ද ඇතැම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණට ලැබුණා වන්නට පිළිවන.

බලය ලැබීම බොහෝ දෙනකු අන්ධ කරන්නේ ය. එසේ අන්ධ වූ විට තමන් කරන දේ නොපෙනෙන්නේ ය. කියන දෙයෙහි හොඳ නරක නොපෙනෙන්නේ ය. නැති බලයක් තමන් භාවිත කරන බව තේරුම් නොගන්නේ ය. තමන්ට නොපෙනෙන දේ ඡන්ද දායකයාට පෙනෙන බව ඔවුන්ට නොදැනෙන්නේ ය. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ගේ විශේෂයෙන් මැති ඇමතිවරුන්ගේ මේ වර්ගයේ හැසිරීම් ඔවුන්ගේ කියුම් කෙරුම් ද වහසි බස් ද මිනිසුන් එජාපයෙන් ඈත් කරන්නට හේතූ වන්නට ඇති බව ය.

එජාපය මේ නිසා ඉගෙන ගත යුතු පාඩම නම් මේ රටේ ජනතාව දූෂණය හා භීෂණය නොඉවසන බව ය. සේවා බිඳ වැටීම් හා කඩාකප්පල්කාරී ක්‍රියා පාලනය කිරීමට නොහැකියාව නොඉවසන බව ය. ආණ්ඩුව තිබුණු පලියට තව දුරටත් පළාත් පාලන ආයතන ආණ්ඩුවට දීමට, පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවකට දීමට ජනතාව සූදානම් නැති බව ය. ජන ප්‍රසාදය ඉතා ටික කලෙකින් දිය වී යා හැකි බව ය. වරම මේ යුගයේ හිමි වන්නේ ටික කලකට බව ය.

එසේ සිදු වූයේ ආණ්ඩුව රැගෙන තිබුණු සාධනීය පියවර රාශියක් තිබිය දී බව ද එජාපය විසින් තේරුම් ගත යුතු ය. ඒවා අතර 19 ව්‍යවස්ථාව, ස්වාධීන කොමිසම් සභා, තොරතුරු දැන ගැනීමේ පනත, ජී ඇස් පී ප්ලස් සහනය, ධීවර කර්මාන්තයට පනවා තිබූ යුරෝපා සංගමයේ තහනම ඉවත් කරලීම, මාධය නිදහස තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පමණක් නොව රජයේ සේවක වැටුප් වැඩි කිරීම විශ්‍රාමික දීමනා වැඩි කිරීම තෙල් මිල ගෑස් මිල අඩු කිරීම යන කටයුතු ද තිබුණි.

යට ගිය හොඳ

එහෙත් පොදුවේ ආණ්ඩු කරන ඕනෑම පක්ෂයක් තේරුම් ගත යුත්තේ කරන හොඳ වැඩ අභිබවා කරන නරක වැඩ ආණ්ඩුව කල් යන විට ජනතා සිත්සතන් තුළ මතු වී හොඳ වැඩ පසු පසට තල්ලු කර දමන බව ය. අතීතයේ තරම් කාලයක් ඒ සඳහා ගත නොවන බව ය.

එජාපයෙන් ගිලිහුණු ඡන්දවලින් වැඩි කොටසක් වැටුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රීලනිපයට ය. ඒ දෙක එකතු වී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 14.8 කි. මේ ඡන්ද පැහැදිලිව පොදු ජන පෙරමුණට හා මහින්ද රාජපක්ෂට විරුද්ධ ඡන්ද ලෙස සැළකිය හැකි ය.

එජනිස / ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුවේ අනෙක් පාර්ශවය ය. එසේ ගත් විට යහපාලන ආණ්ඩුවට 47.4% ක ප්‍රතිශතයක් ඇතැයි ගත හැකි ය. එය පොදු ජන පෙරමුණ ලබා ගත් ප්‍රතිශතයට වඩා 2.7% ක් වැඩි ය.

යහපාලන ආණ්ඩුවේ විරසකය නිසා ද ඡන්ද අඩු වූ බව නොසැළකුව ද තවමත් මහජන මතය ඇත්තේ යහපාලන ආණ්ඩුවේ සීමාව තුළ බව මෙහි දී සැළකිය හැකි ය. මෙයින් අප තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය නම් තවමත් බහුතර ජනතාවක් යහපාලන ආණ්ඩුව අනුමත කරන බව ය. බේද දුරලා වැරදි හදා ගෙන ශක්තිමත් ව ඉදිරියට එන්නේ නම් එයට තවදුරටත් පැවැත්මක් ඇති බව ය. ඒ නිසා ආණ්ඩුව විසිරුවා හරින ලෙස පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ඝෝෂාව අඩු වශයෙන් දැනට පදනම් විරහිත ය. යහපාලන ආණ්ඩුවේ පාර්ශව ඉදිරියේ දී හැසිරෙන විදිහ අනුව එවැනි පදනමක් නිර්මාණය වීමට බැරි නැත. යහපාලන ආණ්ඩුවට පාර්ශව දෙකේ ම වැරදි ගැන විග්‍රහයක යෙදෙමින් නැවතත් ප්‍රතිසංවිධානය වීමට ඉඩකඩ තිබේ. නව සම්මුතියකට පැමිණිමේ ඉඩකඩ තිබේ. ජනතා විමුක්ති පෙරමුණට ගිය ඇතැම් ඡන්ද ද නැවත අද්දා ගැනීමට මෙවැනි වැඩ පිළිවෙළ තුළ හැකි වනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද මේ ධජය ඇතුළට ගැනීමට එවැනි ප්‍රතිසංස්කරණයක් තුළ තැත් කළ යුතු ය.

ජනවරම කාගෙද

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා ද එජනිස ය ද තේරුම් ගත යුත්තේ එජාපය හා පොදුජන පෙරමුණ දෙකම ඉවත දා තනි ගමනක් යෑමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජන වරමක් ලැබි නැති බව ය. එජනිසයට හා ශ්‍රීලනිපය ඇතුළු මෛත්‍රී පිලට ලැබී ඇති ඡන්දවලින් කියවෙන්නේ යහපාලන ආණ්ඩුවේ එජාප පාර්ශවයට අනතුරු ඇගවීමක ලකුණු ය. ඒ ඡන්ද ඉදිරි මැතිවරණයක දී පොදු ජන පෙරමුණට යෑමට තිබෙන ඉඩ අඩු ය. එය නැවතත් යහපාලන පාර්ශ්වයට හෝ එජාපයට දිනා ගැනීමට නම් වල් වැදුණු තැනින් නැවත හරි පාරට පැමිණිය යුතු බව ඔවුන් තේරුම් ගත යුතු ය. නැතිනම් ඒ ඡන්ද වැටිමට නියමිත ජනතා විමුක්ති පෙරමුණට ය. නැතිනම් කුණු ගොඩට ය.

අපි දැන් ජයග්‍රාහකයාගේ පැත්තට හැරෙමු. ජයග්‍රාහී පොදු ජන පෙරමුණ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 49.4 කි. එය ප්‍රතිශතයක් ලෙස 44.7% කි. 2015 ජනවාරි 8 දා පැවතුණු ජනපතිවරණයේ දී ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සමඟ සසඳන කල එය ලක්ෂ 8 ක පමණ අඩුවීමකි. ඔවුන් ජයග්‍රහණය ලැබුව ද එදා ඡන්දය දුන් ලක්ෂ 8 ක් ඔවුන්ගෙන් මේ වන විට බැහැරව ගොස් තිබේ. එයට දිය හැකි එක් පැහැදිලි කිරිමක් නම් ඡන්දය දුන් මුළු ගණනේ අඩුවක් තිබිය හැකි බව ය. ඒ නිසා අප ඒ සංඛ්‍යා අමතක කර ප්‍රතිශත දෙසට හැරෙමු. එදා ජනපතිවරණයේ ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 47.6% කි. එයින් අදහස් කරන්නේ ප්‍රතිශතයක් ලෙස ගත්තත් 3.1% පසු බෑමක් ඔවුන් ද වාර්ථා කර ඇති බව ය.

ඒ නිසා ඔවුන් තේරුම් ගත යුත්තේ තමන් ලද ජයග්‍රහණය ඊට පසුපසින් සිටින පක්ෂයට සාපේක්ෂව මිස ගත වූ කාලයට සාපේක්ෂව නොවන බව ය. ඒ කියන්නේ පැහැදිලි ජයක් වාර්ථා කර ගෙන තිබුණ ද ජනතාව අතරින් පසුබෑමක් සිදු ව ඇති බව ය. තමන් කළ වැරදි පිළිබඳ පාපෝච්ඡාරණයක් නොකර නැවත ජනතාව දිනා ගැනීම තමන්ට පහසු නොවන බව ය.

ඔවුන් තේරුම් ගත යුතු අනෙත් වැදගත් ම කාරණය නම් සැළකිය යුතු සුළු ජාතික ඡන්ද පදනමක් ඇති හැම තැනකම එක්කෝ ඔවුන් පරාජය වී ඇති බව ය. නැතිනම් දිනා ඇත්තේ යහපාලනයේ විරසකයට පින් සිදු වෙන්නට බව ය. විශේෂයෙන් ප්‍රධාන නගර ගණනාවක ද මායිම් ගම්මාන ලෙස නම් දරණ ප්‍රදේශවල ද මේ තත්ත්වය පැහැදිලිව පෙනෙන්නට තිබිණි. තමන්ගේ ජයග්‍රහණය සඳහා පමණක් නොව රටේ ඉදිරිය සඳහා ද දැන්වත් පොදු ජන පෙරමුණු දේශපාලනයේ තනි “සිංහල බෞද්ධ“ලකුණ වෙනස් විය යුතු බව ඔවුන් තේරුම් ගත යුතුය.

එසේ නැතිව ඇතිවන පාලනයක දී නැවත වතාවක් සුළු ජාතිකයන් රට තුළ දී ම රටේ ප්‍රධාන ධාරාවෙන් පිටට තල්ලු වනු ඇත. එය සාමය හා සහජීවනය සඳහා අවහිරයක් වනු ඇති අතර පොදුවේ රටට ද අහිතකර වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේ දී 6.3% ක් ලබා ගෙන ඉදිරි පිම්මක් තබා තිබේ. එය ඔවුන් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් 4.8% ක ඡන්ද ප්‍රමාණය සමඟ සසඳන විට 1.5% ක වැඩි වීමකි. මේ ඡන්ද ද එජාපයෙන් ගිලිහුණු ඡන්ද වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එජාපය තමන්ගේ කඳවුර තුළ ම දූෂණවලට වැට බැඳීමට අපොහොසත් වීම නිසා එජාපයට 2015 අගෝස්තු මාසයේ ඡන්දය දුන් පිරිසක් මේ වාරයේ ඒ ඡන්ද ජවිපෙට දෙන්නට ඇත. එහෙත් ඒ වැඩිවීම 2020 බලය ඉල්ලූ, මේ වතාවේ ගමේ බලය ඉල්ලූ, පක්ෂයකට තරම් නොවන අඩු මට්ටමේ වැඩි වීමකි. එයින් කියවෙන්නේ ජවිපෙ හොරකම් හා දූෂණය නොකරන බවට කිසියම් විශ්වාසයක් ඇතත් ඉතිරි ප්‍රශ්න ගැන ජවිපෙ ස්ථාවරය තවමත් පසුගාමී ලෙස පෙනී යෑම විය හැකි ය.

ජවිපෙට වූ දෙය

පොදු ජන පෙරමුණේ සිංහල බෞද්ධ ඡන්ද කඩා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ජවිපෙයත් වැඩ කළේ වී නමුදු එය කෙසේවත් සිදු කළ හැකි දෙයක් නොවන බව මේ ප්‍රතිඵලවලින් පෙනී යා යුතු ය. ඒ ධජය මහින්ද රාජපක්ෂට තරම් හොඳින් එසවීමට එතුමා සිටිනතුරු කිසිවෙකුට නොහැකි වනු ඇත. ඒ නිසා ඒ පසු පස යෑමෙන් ජවිපෙට පලක් වන්නේ නැත. කළ යුතුව තිබෙන්නේ “සිංහල බෞද්ධ“ලකුණේ තිබෙන සීමිතකම පෙන්වා දීම ය. ඒ සඳහා තවමත් ජනතා විමුක්ති පෙරමුණට කොන්දක් ඇතැයි පේන්නේ නැත. කාන්තාවට මත් පැන් මිලදී ගැනීම අකැප කරමින් පැනවූ නීති සම්බන්ධයෙන් එම පක්ෂයේ ස්ථාවරයෙන් එය මනාව පැහැදිලි විය.

එපමණක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ කරන ලද බරපතළ වැරදි තිබේ. 88-89 භීෂණ සමයේ කරන ලද වැරදි ඒ අතර ප්‍රමුඛ ය. ඒවා ගැන නිසි පාපොච්චාරණයක් ඔවුන් සිදු කර නැත. ඒවා මිනිසුන් තුළින් ඉවත් කරලීමට එවැනි පාපෝච්චාරණයක් අවශ්‍ය ය. ඊට අමතරව තුන්වෙනි කාරණයක් ද තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ කඩාකප්පල්කාරී විරෝධතාවලට හරි හරියට ඔවුන් සම්බන්ධ වීම ද ඔවුන් පිළිබඳ විශ්වාසය පලුදු වීමට හේතුවක් වී තිබේ. ආණ්ඩු බලය ඉල්ලන පක්ෂයක් ඊට වඩා වගකීමෙන් හැසිරිය යුතු ය.

අවසාන වශයෙන් කිව යුත්තේ හොරකම් මැරකම් නැති වූ පළියට රටක් ඉදිරියට ගෙන යෑ නොහැකි බව ය. ඒ සඳහා වැඩ පිළිවෙළක් අවශ්‍ය ය. තමන් බලයට පත් වූ පසු අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක්, විශේෂයෙන් මෙතෙක් බලයට පත් නොවූ පාර්ශවයක් ලෙස, ඔවුන් විසින් කළ යුතු ය.

උතුරේ පණිවුඩය

එසේ නොකොට අනුන්ගේ වැරදි පෙන්නීමෙන් පමණක් බලය ලබා ගැනීමට යෑම නුවණට හුරු නැත. උතුර නැගෙනහිර පළාත් දෙකේම ජාතික පක්ෂවලට කළ හැකි බලපෑම තව දුරටත් සීමා සහිත බව මේ මැතිවරණය ද නැවත වතාවක් ඔප්පු කර සිටියේ ය. එයින් කියන්නේ ඔවුන් ප්‍රධාන ධාරාවෙන් තව දුරටත් වෙන්ව ජිවත් වන බව ය. හිතන පතන බව ය. ඒ පිළිබඳ අවිශ්වාසයෙන් පෙළෙන බව ය. එය නොකියා කියන්නේ ඒ පළාත් දෙක වෙනම රටක් බව ය.

තමන්ගේ ජය ගැන කරන කිසිදු විශ්ලේෂණයක ජාතික පක්ෂ ඒ පළාත්වල තමන්ගේ ප්‍රතිඵල ගැන සඳහන් කරන්නේ නැත. එය වෙනම රටක පවතින බව ඔවුන් පිළිගත්තා සේ ය. ඔවුන්ට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගෙන එන්නේ අසුබ පණිවුඩයකි. ඒ පණිවුඩයෙන් කියවෙන්නේ ඔවුන් අපේක්ෂා කළ ව්‍යාවස්ථා සංශෝධනයන් මේ කපේ දී සිදු නොවන බව ය. ඒ, එසේ කරන බවට පොරොන්දු දුන් සම්මුති ආණ්ඩුව තවදුරටත් සම්මුති ආණ්ඩුවක් නොවන නිසා ය. ඒ විසම්මුතිය තුළ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ පොදු ජන පෙරමුණ ලද ජය නිසා ය.

දකුණෙන් ලබා ගැනිමට බැරි යැයි පැහැදිලි වන දේ ලබා ගැනිමට ඔවුන් කුමක් කරනු ඇතිද? රටේ අනාගතය ඒ මත ද තීන්දු වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...