පීඩිත පන්තිය ගැන කතා කරන අමුතු කතාවක් | දිනමිණ

පීඩිත පන්තිය ගැන කතා කරන අමුතු කතාවක්

ගුණරත්න ඒකනායක

ඔහු සිය විශ්‍රාමික දිවිය, ග්‍රන්ථකරණය සඳහා ෙවන් කළේ ය. මේ වනවිට පූර්ණ කාලීන ලේඛකයකු ලෙස කටයුතු කරන ඔහු, ගුණරත්න ඒකනායක ය. නොසන්සිඳෙන බල අරගලය තුළ පීඩිතයන් තව තවත් පීඩාවට පත් කරමින්, ඔවුන්ගේ සාරය උරා ගන්නා ව්‍යාජ නායකයන්, දුගීන්ගේ කර මතින් දිනුම් කණුව වෙත යන ආකාරයත්, අන්ත දරිද්‍රතාවයේ ශාපයෙන් පීඩිත මිනිසුන් නොමිනිසුන් වී, සදාචාරයෙන්, සභ්‍යයත්වයෙන් ඔබ්බට යමින්, ජීවිත වල්වද්දා ගන්නා ආකාරයත් මැනවින් විදහා දැක්වෙන නවකතාවක් ලෙස,ඔහු විසින් රචිත "හුටපට වීදිය" හැඳින් විය හැකි ය. ඒ පිළිබඳ ඔහු හා කෙරුණු සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකසුණි.

"සමාජයේ නිතර ඇස ගැටෙන නොයෙකුත් සිද්ධි, විශේෂයෙන් ම අපේ රටේ තරුණ පරපුර නොයෙකුත් කූට උපක්‍රම මඟින් දේශපාලනයට ගාව ගන්නා ආකාරය ගැන කතා කිරීම කාලීන අවශ්‍යතාවක් කියලා මට හැඟුණා. අපේ රටේ බහුතරයක් ඉන්නෙ දරිද්‍රතාවෙන්. දිළිඳු බවින් පෙළෙන තරුණයන් ඕනෑම කාර්යයකට බිලීබා ගැනීම හරි ම පහසුයි. තමන්ගේ කූට උපක්‍රම සාර්ථක කර ගැනීම සඳහා, දේශපාලඥයන් එදත්, අදත්, විශේෂයෙන් ම තරුණයන් යොදා ගන්න බව අපට දැකගත හැකියි . මම මේ කතාව හරහා කතාබහ කරන්න උත්සාහ ගන්නෙ, ඒ ඛේදවාචකය ගැනයි.

පැල්පත් වාසීන්ගේ ජීවිතේ ගැන කතා කරන මේ නවකතාව පුරා ම , හැම තැන ම, හැම වෙලාවෙම මොකක් හරි සිද්ධියක්, පැටලැවිල්ලක් ඇති වෙනවා. ඒ ජීවිතේ ඉතාමත් ම ගැටුම්කාරියි වගේ ම, ගැටලුකාරියි. ඒ අනුව තමයි මම මේ කෘතියට 'හුටපට වීදිය ' කියන නම යොදන්න හිතුවෙ.

මේ නිර්මාණය, පීඩිත පන්තිය හා බැඳුණු සමාජ ප්‍රශ්න යම් ආකාරයකින් විවරණයකට ලක් කෙරෙන්නක්. දරිද්‍රතාවෙන් පෙළෙන සහ ඒ නිසා ම නොමඟ යන චරිත මම මෙහිදී යොදා ගත්තා. ප්‍රධාන චරිතයේ පියා කම්කරුවෙක්. ඔහු අසනීප වුණාට පස්සෙ, තමන්ගේ ශරීර විකුණා ජීවත් වෙන්න ඔහුගේ බිරියට සිදු වෙනවා. හැම කෙනාම අන්ත දරිද්‍රතාවෙන් ගැලවෙන්න යම් යම් උපක්‍රම පාවිච්චි කරනවා. සමහර වෙලාවට සදාචාරාත්මක නැති දේ පවා කරනවා. මට ඕන වුණේ, පැල්පත්වාසීන්ගේ ජීවිතවල මිනිසුන් නොදන්නා පැතිකඩක් විවර කරන්නයි. ඒ නොදන්නා දේවලින් රසාස්වාදයක් ලබා ගනීවි කියලා මං හිතුවා.

මේ කතාව ගොඩනැංවීම සඳහා මම බොහොම සරල භාෂාවක් යොදා ගත්තා. මේ වන විට මම නවකතා 30ක් පමණ ලියලා තියෙනවා. ඒ හැම එකක ම භාෂා උපක්‍රම යොදාගෙන තියෙන්නෙ, කතාවට උචිත විදිහටයි.

මම, එක ම භාෂා රීතියක් මගේ පොත්වලට යොදා ගන්නේ නෑ. සුළු සුළු වෙනස්කම් තියෙනවා. හැමෝටම කියැවීමට පහසු භාෂාවක් තමයි හැම කෘතියකට ම යොදා ගන්නේ. අද තියෙන කාර්යබහුල සමාජ රටාවට අනුව, ලේසියෙන් කියවා තේරුම් ගතහැකි කෘතියක් තමයි නිර්මාණය කරන්න ඕනෙ. නැත්නම් පාඨකයා කියැවීමෙන් තවත් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා, කියවා වටහාගෙන, රසවිඳිය හැකි භාෂාවක් මා මේ සඳහා යොදා ගත්තා.

කතාව පුරාවට දිවෙන්නේ පැල්පත්වාසීන්ගේ ජීවිත හා ගෙතුණු කතාන්දර. සමාජය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් තමයි මම ඉන්නෙ. ලේඛකයෙක් විදිහට හැම දෙයක් දිහා ම මම බලන්නේ වෙන ම කෝණයකින් සහ මානුෂික හැඟීමකින්. ඒ නිසා මට චරිත වටහා ගැනීම, තෝරා ගැනීම සහ ගොඩනගා ගැනීම අපහසු නෑ. මේ හැම එකක් ම සමාජය තුළ අපි දකින චරිත. ඒ වගේ ම මේ හැම දෙයක් ම අපි අහන, දකින දේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නෑ. අපි මේ සමාජය තුළ දිවි ගෙවද්දි අපට අහන්න දකින්න ලැබෙන දේවලට තවත් දේ එක්කරමින්, නිර්මාණකරුවෙක් විදිහට මම මට ම අනන්‍ය වූ නිර්මාණයක් බිහි කරනවා." ඔහු පවසයි.

මේ නවකතාව ඇතුළෙ තමන්ගේ පැලැන්තිය වෙනුවෙන් පෙනී සිටින "විජිත" වැනි චරිතයක් විශේෂ කොට දැක්වීමට හේතුව කුමක්ද? මම ඔහුගෙන් ඇසුවෙමි.

"විජිත වැනි තරුණයන් මේ සමාජයෙන් නිරන්තරයෙන් ම ගොඩනැගෙනවා. තරුණයන් කියන්නෙආවේගශීලි කොට්ඨාසයක්. මේ කොට්ඨාසය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නිරන්තරයෙන් අරගල කරනවා. විජිතත් එහෙමයි. එක පැත්තකින් පැල්පත් ජීවිතය. ඒ සමාජය ඔහුට රුස්සන්නෙ නෑ. ඒත් ඒ සමාජයේ ඔවුන් ජීවත් විය යුතුයි. මේ බාධක ජය ගැනීමට උනන්දු වන චරිතයක් විදිහට විජිත කියන චරිතය හුවා දක්වන්න පුළුවන්. මේ දරිද්‍රතාව දකින කපටි දේශපාලනඥයා හැම විට ම උත්සාහ ගන්නෙ, ඔහුගේ ජයග්‍රහණය සඳහා සමාජයේ පීඩිතයන් යොදා ගැනීමටයි. ඒත්, විජිත කියන චරිතය ඇත්ත වශයෙන් ම ඔහුගේ පැලැන්තිය ආරක්ෂා කර ගැනීම සඳහා දියුණු වීමට උනන්දු වන චරිතයක්. අර පීඩිත පංතියෙන් ඉහළ පන්තියකට යෑම තමයි ඔහුගේ ඒකායන අදහස."

නව පරපුරේ නිර්මාණකරුවන් අතින් බිහි වන නිර්මාණ පිළිබඳව ද ඔහුට අදහසක් ඇත.

"නව පරපුරේ හොඳ නිර්මාණකරුවන් ඉන්නවා. ඒක සතුටට කරුණක්. සාහිත්‍යයට නව ලේඛකයන්ගේ පිවිසීම අවශ්‍යයි. අපි මේ ලේඛන කලාවට ආවේ බොහෝ බාධක මැඩගෙනයි. ඒ නිසාම, නවකයන්ට අත දෙන්න මං කැමැතියි. මෑතකදි නවක ලේඛකයන්ගේ නිර්මාණ අතරින් තෝර ගත්ත කෘති කිහිපයක් පළ කරන්න, මං ඒ අයට උදවු කළා.

මිනිසුන් ලේඛන කලාවට පිවිසීමට හරි ම කැමැතියි. ඒ තුළ තියෙන්නේ, ආශාව ඉෂ්ට කර ගැනීමක්. එසේ බිහිවෙන නිර්මාණ අතර අවර ගණයේ නිර්මාණත් තියෙන්න පුළුවන්. ඒත්, ඒ අතරින් තමයි දවසක හොඳ නවකතාකරුවන් බිහි වෙන්නෙත්. මාර්ටින් වික්‍රමසිංහගේ වුණත් "ලීලා" වගේ නවකතා ගත්තහම, ඒවා එතරම් සාර්ථක මට්ටමක තියෙනවා කියලා කියන්න බෑ. ඒත්, ඔහු දවසක"ගම්පෙරළිය", "විරාගය" වැනි විශිෂ්ට ගණයේ නවකතා ලියන තත්ත්වයට පත් වුණා . මූලික ම අවධියේ අපි වුණත් කරපු කෘති එච්චර සාර්ථක නෑ කියලා හිතෙනවා. ඒක එහෙම වෙන්න ඕන. අත්දැකීම් සහ පරිපූර්ණත්වයට පත්වීම අනුව ලේඛනයේ ,සතතාභ්‍යාසයෙන් නොයෙකුත් දේ දියුණු කරගෙන, දවසක පරිපූර්ණ ලේඛකයෙක් බිහි වේවි. අවරගණයේ කෘති මුලදි ඔවුන් පළ කරාවි. ඒක පාඨකයා වැළඳ ගන්නා ආකාරය අනුව තමයි, හොඳ නරක තීරණය වෙන්නෙ. එකවරම හොඳ ම කෘතියක් ලියන්න අමාරුයි . සතතාභ්‍යාසය, ප්‍රතිභාව මේ හැම දේම ඒ සඳහා අවශ්‍යයි. ඒ දේ එක්ක කවදා හරි දවසක හොඳ ලේඛකයෙක් බිහි වෙයි. තරුණ පරපුර වැඩි වැඩියෙන් ලේඛන කලාවට නැඹුරු වීම අවශ්‍ය බවයි මගේ හැඟීම ."

ඔහුගේ මීළඟ කෘතිය "ගන්ධබ්බයන්ගේ රාත්‍රිය"ය. එම කෘතියේ පළමු වැනි කොටස "නඩුකාරයන්ගේ කතාව" ලෙස ඉදිරිපත් කර තිබේ. මේ කෘතිය නවකතා මාලාවක් විදිහට ඉදිරියට නිර්මාණය කිරීම ඔහුගේ අදහස ය.

"මගේ 86 වැනි කෘතියත්, 31 වැනි නවකතාවත් විදිහට "ගන්ධබ්බයන්ගේ රාත්‍රිය" මාර්තු මාසෙ පාඨකයන් අතට පත් වෙනවා. එය ඔබට අලුත් ම අත්දැකීමක් වේවි." ෙල්ඛකයා පවසයි.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...