අවසානයට සත්‍යය ගාටමින් ඔබ හමුවට | දිනමිණ

අවසානයට සත්‍යය ගාටමින් ඔබ හමුවට

මතුපිටින් පෙනෙන දෙය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත."
"සත්‍යය තම ගමන යන්නට පාවහන් පළඳින පමාවෙන් බොරුව ලොව වටා පියාසර කරයි."

උක්ත කියමන් දෙකම අපට හමු වන්නේ මාක්ස් ලෙනින්වාදී ලියවිලි අතර ය. පළමුවෙන් සඳහන් කළ කියමන වී.අයි.ලෙනින් ට උරුම යැයි කෙනෙක් කියති. දෙවැනි කියමන අපට හමුවන්නේ තවත් මාක්ස්වාදී විචාරකයෙකු වන මැක්ස් ෂැට්මන් ගේ ආන්දෝලනාත්මක කෘතියකිනි.'මොක්ස්කව් අවනඩුව පි‍ටුපස' යනුවෙන් එය සිංහලයට ද නැඟී ඇත.මාක්ස්වාදීහු භෞතිකවාදියෝ වෙත් යැයි කියති.එහෙත් සියලු භෞතිකවාදියෝ මාක්ස්වාදියෝ නොවෙති.ණයට ගෙන හෝ ගිතෙල් කෑ යුතු බවට දේශනා කළ 'මක්කලී ගෝසාල' ද භෞතිකවාදියෙකි.

ජ්‍යොතිෂය සහ මාක්ස්වාදය අතර මොනම ආකාරයේ හෝ සම්බන්ධයක් නොතිබිය හැකි බවට ජනප්‍රිය දෘෂ්ටි වාදයක් පවතී.ඔවුන්ට පිළිතුරු සපයන්නට අප ලෙනින්ගේම වැකියක් ගත හොත් මතුපිටින්‍ පෙනෙන දෙය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත' යන්න ඉදිරිපත් කළ හැකි ය.‍ලෝකායතන ජ්‍යොතිෂයේ දී සිද්ධාන්ත මත පිහිටා පළකරන ලද අනාවැකි අතර සමාජ දේශපාලන විප්ලවයන් ද සඳහන් වේ. ප්‍රංශ, රුසියානු විප්ලව එම කාලයන් හි දී හටගන්නා බවට ඊට දශක ගණනාවකට පෙර අනාවැකි පළකර තිබිණි.

විප්ලව වාදීන් ප්‍රතිපත්තියක් ලෙසට ජ්‍යොතිෂය පිළි නොගන්නා නමුත් කෙනෙකු විප්ලව වාදියෙකු වන්නේ කෙසේ ද? සහ විප්ලව හටගන්නේ කුමන කාලයන් හි දී ද? යන්න පිළිබඳ අනාගත දැක්මක් ජ්‍යොතිෂයේ පවතී.

විප්ලව වාදීන් පිළිගන්නේ අරගලය තුළින් විමුක්තිය ලබාගත යුතු බවයි.ජ්‍යොතිෂය නියති වාදයක් ලෙස ඔවුන් දකී."ඒ අනුව සියල්ල සිදුවන්නේ උපන්ගෙයි කරුමය හැටියට ය." එසේ නම් සමාජ දේශපාලන අරගලවලින් පලක් නොවනු ඇත. ජ්‍යොතිෂය එබඳු තැනකට නිර්වචනය වන්නේ නම් එය ගර්හාවට ලක් වීම සාධාරණ ය. එහෙත් ජ්‍යොතිෂය පරම ලෙසම නියති වාදයට ප්‍රතිපක්ෂව පිහිටයි.

කර්මය, කර්ම පලය මිනිසාට අවශ්‍ය ලෙස හසුරුවා ගත හැකි බව ජ්‍යොතිෂය ඉතා ඉහළින් පිළිගනී. එපමණක් නොව තමාගේ දෛවය තමාට වුවමනා හැටියට වෙනස්කර ගැනීමේ ක්‍රමෝපායන් ද එහිදී මැනවින් විස්තර කොට ඇත. ඒ අනුව ජ්‍යොතිෂය සෑම පුද්ගලයෙකු තුළම අවුළුවන්නේ විප්ලවවාදී චින්තන යයි. අනාගතයේ මෙසේ විය හැකි යැයි ප්‍රක්ෂේපණය කරන ජ්‍යොතිෂය ඒ අනාගතය වඩාත් යහපත් ලෙස ගොඩනඟා ගන්නේ කෙසේ ද යන්නත් කියා දෙයි.මේ අනුව ජ්‍යොතිෂය කරුමය මතම සියල්ල තීන්දු වන්නේය යන නියති වාදය මත පවතින්නේ නැති බව මොනවට පෙන්වයි. විප්ලවවාදීහූ සමාජ විමුක්තිය පතා අරගල කරති. ජ්‍යොතිෂවේදීහූ පුද්ගල විමුක්තිය සඳහා මඟ පෙන්වති. මේ දෙකෙන් කුමක් ප්‍රාථමික වන්නේ ද යන්න පිළිබඳ විවාදයක් පැවතිය හැකි නමුත් පුද්ගල විමුක්තිය බැහැර කිරීමක් අදහස් නොකෙරේ.

එහෙයින් ජ්‍යොතිෂය දෙස මතුපිටින් නොබලා එහි ගැඹුරට බැස සත්‍ය සොයා බලන ලෙස අපි ඇරයුම් කරමු.මෙතෙක් ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක් යැයි කිසියම් භෞතිකවාදියෙක් (ණයට ගෙන හෝ ගිතෙල් කෑ යුතු යැයි කී දෘෂ්ටි වාදියා හැරෙන්නට ) සිතන්නේ නම් අපි ඔහුට ඇරයුම් කරන්නේ පළමුව ජ්‍යොතිෂය අධ්‍යයනය කරන ලෙසයි.

ඔහු තවමත් දකිමින් සිටින්නේ බොරුව ලෝ වටා පියාසර කරමින් සිටින අවස්ථාවයි. එසේ වන්නේ සත්‍යය තම ගමන යන්නට පාවහන් පළඳින්නට තරමක් ප්‍රමාද වීම නිසයි.හැම විටම පළමුව පැතිරෙන්නේ බොරුව හෙවත් අසත්‍යයයි. එහෙත් අවසානයට ගාටමින් වුවත් සත්‍යය ඔබ හමුවට එන බව මතක තබා ගැනීම මැනවි.

කේ. සී. ජේ. රත්නායක

නව අදහස දක්වන්න