ඇබෑර්තු ඇත! | දිනමිණ

ඇබෑර්තු ඇත!

 ඇබෑර්තු ඇත. යන කෙටි වැකියෙන් අද මේ තීරය ආරම්භ කරන්නට කැමැත්තෙමු. අප එසේ කියන්නේ විද්‍යාත්මක සාධකයක් පදනම් කරගෙන ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණ වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව රැකියා ලක්ෂ පහක් සඳහා ඇබෑර්තු ඇත. එහෙත් ඒවා සම්පූර්ණ වන බවක් පෙනෙන්නට නැත. ඒ අතර රටේ රැකියා වියුක්තිය 6% කට ආසන්න මට්ටමේ ඇති බව ද දැනගන්නට ලැබේ. මේ අනුව පෙනී යන්නේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් අපට ඇති බව ය.

ඇබෑර්තු ඇති ක්ෂේත්‍ර මොනවාදැ'යි පළමුව සොයා බලමු. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වන අන්දමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇබෑර්තු 77,000 කට වැඩිය පවතී. ආරක්ෂක නියාමක අංශයේ රැකියා ඇබෑර්තු 57,000 කට වැඩිය පවතී. නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇබෑර්තු 39,000 කට වැඩියෙන් පවතී. තවද, යාන්ත්‍රික ඉංජිනේරු, තාක්ෂණවේදී, ගිණුම් සහායක හා හෙද - හෙදි ක්ෂේත්‍රවල ද ඇබෑර්තු සැලැකිය යුතු මට්ටමක පවතී. මේවා සම්පූර්ණ කරගැනීමට නො හැකි හේතුව කුමක් ද? සොයා බැලිය යුතු වැදගත් කාරණය එයයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන විට ඉතිහාසයත් යම් පමණකින් විභාගයට ලක්කළ යුතුය.

ඇඟලුම් ක්ෂේත්‍රය රටේ ප්‍රචලිත රැකියා සම්පාදන මාධ්‍යයක් බවට පත්වූයේ හේතු දෙකක් නිසා ය. පළමුව නිදහස් වෙළෙඳ කලාප ඇතිකිරීම නිසා ඇඟලුම් කම්හල් ව්‍යාප්ත විය. ඊට අදාළ විදේශ වෙළෙඳපොළක් ද ඒ ඔස්සේ නිර්මාණය විය. දෙවනුව රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ද, අර්ධ නාගරික ප්‍රදේශවල ද ඇඟලුම් කම්හල් ස්ථාපනය විය. මේ අනුව රටේ තරුණ ශ්‍රම හමුදාවෙන් සැලැකිය යුතු පිරිසක් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන්නට පටන් ගත්හ. එහෙත් මේ ක්ෂේත්‍රයට අදාළ වැටුප්, පහසුකම් හා වෘත්තීය අභිමානය පිළිබඳ ගැටලු තිබිණි. කිසිදු ආණ්ඩුවක් ඒවා විසැඳීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ඇඟලුම් ක්ෂේත්‍රයේ කළමනාකරණ, ඉංජිනේරු, අධීක්ෂණ ආදී වෘත්තීය ක්ෂේත්‍රවලට ඉහළ වැටුප් හිමි වේ. එහෙත් පහළ ශ්‍රේණිවල කටයුතු කරන සාමාන්‍ය සේවකයන්ගේ වැටුප්, පහසුකම් හා වෘත්තීය පිළිගැනීම ඉහළ ගියේ නැත. පහළ සේවකයකුගේ මාසික වැටුප රුපියල් 14,000/- ට අඩු ය. අර්ධ නාගරික ප්‍රදේශයක වුව නේවාසික ගාස්තු ආහාර වියදම් ආදිය සලකා බලන විට ඇඟලුම් කම්හලක සේවයෙන් තරුණ ජීවිතවලට සහනයක් ලැබෙන්නේ නැත. ඒ හැරත් මීට වඩා පහසුවෙන් කටයුතු කළ හැකි හා තරමක වැඩි වැටුප් ද ඇති වෙනත් රැකියා දැන් පවතී. මේ හේතු නිසා ඇඟලුම් ක්ෂේත්‍රය තරුණ පරපුර වෙතින් ගිලිහී යමින් පවතී.

ආරක්ෂක නියාමක තනතුරුවලට ‍රටේ ඒ හැටි පිළිගැනීමක් නැත. ඒ හැරත් මේවා පෞද්ගලික අංශයේ රැකියා ලෙස ලේබල් වී ඇත. පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු සඳහා යම් ඉල්ලුමක් හා පිළිගැනීමක් තිබෙන්නේ වුව පෞද්ගලික අංශයේ ආරක්ෂක නියාමක තනතුරුවලට එබඳු පිළිගැනීමක් නැත. නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් ඇතත්; ඊට අදාළ සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ හිඟයක් පවතී. නිදසුනක් ගතහොත් කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධන, කෘෂි නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රවල රැකියා විශාල ප්‍රමාණයක් ඇතත්; ඒ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් නැත. එම ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයන කරන කෙනකු සොයා ගැනීම ද අපහසු ය. අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පිරිස අඩු බව ඉන් පෙනී යයි.

අපේ රටේ රැකියා සම්පාදනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හා ඒ ගැන නිතර අධ්‍යයන කරන විද්වතුන්ගේ මතයට අනුව රටේ අධ්‍යාපනය, පාසල් විෂයමාලාව හා විභාග ක්‍රමය ද අදට ගැළපෙන්නේ නැත. එසේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට නම් මූලික වශයෙන් කරුණු හතරක් ගැන අවධානය යොමු කළ යුතු ය. එක; ලෝක ආර්ථිකයේ කෙටිකාලීන හා දිර්ඝකාලීන වෙනස්කම් හඳුනාගැනීම ය. දෙක; නූතන ලෝකයේ මානව හා භෞතික අවශ්‍යතා හඳුනාගැනීම ය. තුන; තාක්ෂණික වෙනස්කම් තේරුම් ගැනීම ය. හතර; නූතන දැනුම සමාජය වෙත කාන්දු කිරීමය. මේවා නොසළකා හැර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය නො හැකි ය.

මේ අතර රැකියා වියුක්තිය සම්බන්ධයෙන් ගොඩනැඟෙන ආරවුලක් ද තිබේ. උපාධිධාරීන් 53,000 කට පමණ රැකියා නැති බව ද ඔවුන් විරෝධතාවකට සූදානමින් සිටින බව ද වාර්තා වී ඇත. ආබාධිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් වෙනම පවතී. ආබාධිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේදී වෙනත් රටවල් මෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ රැකියා වියුක්තිය සම්බන්ධයෙන් පවතින ආරවුල් හා ගැටුම් මානව සම්පත් කළමනාකරණයට අදාළ දුර්වල ලක්ෂණ නිසා හටගෙන ඇති බව ය. එහෙත් දැන් හෝ ඒවා වෙනස්කොට රැකියා සම්පාදනය නිසි පීල්ලට ගත හැකි නම්; බොහෝ ගැටලු විසඳාගත හැකි ය. සිදුවිය යුත්තේ ද එයම ය.

දැනට පවතින රැකියා නියුක්තිය පිළිබඳ අනුපාතයක් ගතහොත් රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය 14.6% ක් වේ. පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිය 43.3% ක් වේ. සේවා අංශයෙහි රැකියා නියුක්තිය 31.6% ක් වේ. මුල් කාලයේ අපේ ජනතාව පෞද්ගලික අංශයේ රැකියා කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වූයේ නැත. එය වැරැදි අදහසකි. පෞද්ගලික අංශය අද වන විට ශක්තිමත් ය. පෞද්ගලික අංශයෙන් තොරව රට ගෙන යෑමේ හැකියාවක් ද නැත. එක අතෙකින් පෞද්ගලික අංශය, රාජ්‍ය අංශයට වඩා සාර්ථක යැයි කියන්නට පුළුවන. 1977 න් පසු ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශීඝ්‍රයෙන් දියුණුවට පත්විය. දැන් කළ යුත්තේ එම අංශය තවදුරටත් ශක්තිමත් කිරීම ය.

රටක සංවර්ධනය තීන්දු කරන ප්‍රධාන සාධකයක් ලෙස එරට මානව සම්පත පෙන්වා දිය හැකිය. මානව සම්පතෙන් ඉහළම ඵල-ප්‍රයෝජන ලබාගැනීමට නම්; බිම් මට්ටමේ සිට උපායමාර්ගික ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුය. ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනින් පසු එබඳු දැවැන්ත හා ශක්තිමත් රැකියා සම්පාදන වැඩසටහනක් තවම ක්‍රියාත්මක වී නැත. එදා එම වැඩසටහන සේවකයාට ශක්තියක් ලබා දුන්නේ ය. 


නව අදහස දක්වන්න

Or log in with...