ශ්‍රී ලංකාව විස්සයි20ත් ජයගන්න අද තරග බිමට | දිනමිණ

ශ්‍රී ලංකාව විස්සයි20ත් ජයගන්න අද තරග බිමට

 බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය හා ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණයෙන් පසුව තරග ජය ගැනීමේ පිපාසය ඇතිකර ගෙන සිටින දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවද ජයග්‍රහණය කිරීමේ අරමුණින් යුතුව අද ඩකා අගනුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයට පිවිසෙයි.

අසාර්ථක 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව වර්ෂය ආරම්භ කර තිබෙන්නේ ජයග්‍රාහී ක්‍රීඩාවකිනි. ඒ ජය මාවත ඔස්සේ ඔවුන් තව දුරටත් ගමන් කරනු ඇතැයි ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දීප්තිමත් දිනයන් ඔවුන්ගේ මේ 2018 බංග්ලාදේශ සංචාරයත් සමග ආරම්භ වී තිබේ. බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ අවසාන තරගය හා ඊට පෙර පැවැති තරගයට පෙර ඔවුන් සාමාන්‍ය කණ්ඩායමක් බවට පත්ව සිටියේය. එහෙත්, ජගත් ක්‍රිකට් කෙළිබිමේ සැමදා සිටින ‘කළු අශ්වයා‘ ලෙසින් සලකනු ලබන ශ්‍රී ලංකාව ඒ තරග දෙකම ජය ගැනීමට සමත් විය. මේ ජයග්‍රාහී මානසිකත්වය තවදුරටත් ඉදිරියට ගෙන ගිය ඔවුන් ඉන්පසුව පැවැති ටෙස්ට් තරගමාලාවේදී සත්කාරක බංග්ලාදේශය 1-0කින් පරාජය කළේය. පැහැදිලිවම දැන් සියල්ල වෙනස් වී ශ්‍රී ලංකාව යළිත් ඔවුන්ගේ ජයග්‍රාහී දවස්වලට පිවිස සිටී.

ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පාදයේ ආබාධයකට ලක්ව සිටින බැවින් මේ තරගමාලාවට ක්‍රීඩා නොකරයි. ඔහු වෙනුවට තවත් ආක්‍රමණශීලී පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇත. ජීවන් මෙන්ඩිස් ද කලකට පසුව ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටී.

තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගමාලාවේ අද පැවැත්වෙන පළමු තරගයේදී මහ්මුදුල්ලා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවයි. මහ්මුදුල්ලා නායකත්වයට පිවිසෙන්නේ ජාත්‍යන්තර එක්දින තරගමාලාවේදී ඇඟිල්ලක් තුවාල කර ගත් තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් තවමත් ඒ ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නැති හෙයිනි. වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක නස්මුල් ඉස්ලාම්, ෂකිබ් වෙනුවට සංචිතයට ඇතුළත්ව සිටී. ටමිම් ඉක්බාල් හා මුස්ටෆිසුර් රහ්මාන් ද යළි සංචිතයට කැඳවා තිබේ.

මේ අනුව දෙපිලෙන්ම අලුත් මුහුණු දිස්වන බැවින් තරගමාලාව තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 8 වැනි ස්ථානයේය. බංග්ලාදේශය 10 වැනි ස්ථානයට පත්ව සිටී. දෙපිල අතර අද පැවැත්වෙන්නේ 8 වැනි විස්සයි20 තරගයයි. මීට පෙර පැවැති තරගවලදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක් වාර්තා කර ඇති අතර බංග්ලාදේශය තරග 2කින් ජය ගෙන තිබේ. බංග්ලාදේශය මේ ජයග්‍රහණ හිමිකර ගත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදීය. පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය ලකුණු 45කින් ජය ගත් බංග්ලාදේශය ඊට පෙර 2016 පෙබරවාරියේ ධකා නුවර පැවැති තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය : දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශ සංචිතය: මහ්මුදුල්ලා (නායක), ටමිම් ඉක්බාල්, සොඋම්යා සර්කාර්, මුෂ්ෆිකුර් රහිම්, සබිර් රහ්මාන්, මුස්ටෆිසුර් රහ්මාන්, රුබල් හුසේන්, මොහමඩ් සයිෆුඩින්, අබු හිදර්, අබු ජයිඩ්, අරිෆුල් හොක්, මෙහෙදි හසන්, සකිර් හසන්, අෆිෆ් හුසේන්, නස්මුල් ඉස්ලාම්.

- වර්නන් ගුණසේකර 

 

නව අදහස දක්වන්න