‘අයන්මෑන් 70.3’ විසිපස් වැනිදා කොළඹ දී | දිනමිණ

‘අයන්මෑන් 70.3’ විසිපස් වැනිදා කොළඹ දී

ගීෂා මුණසිංහ

‘ආසියාවේ චමත්කාරය ශ්‍රී ලංකාව, අයන්මෑන් 70.3 කොළඹ’ නමින් දකුණු ආසියාවේ පළමු වරට පැවැත්වෙන තුන්ප්‍රයාම තරගය මේ මස 25 වැනි දා උදැසන 6.00ට කොළඹ ගොල්ෆ්ස් ග්‍රීන් තණ නිල්ලේ දී පැවැත්වීමට නියමිතය.

රටවල් 64කින් තරගකරුවන් 880ක් කාණ්ඩය 2ක් යටතේ තරගාවලියට සහභාගී වන අතර ඔවුන්ගේ සහයට 3000ක් දෙනා එක්වීමට නියමිතය.

ලොව පුරා රටවල් ගණනාවක වාර්ෂිකව සංවිධාන ‍වන මේ අයන්මෑන් 70.3 තරගය මේ වනෙවිට ඔලිම්පික් තරගාවලියට ද ඇතුළත් තරග ඉසව්වකි.

අයන්මෑන් 70.3 තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් තරගාවලියට සත්කාරකත්වය සපයන කොළඹ සැන්ග්‍රීල්ලා හෝටලයේදී පෙරේදා පැවැත්විණි. තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් මෙවර තරගාවලියේ අධ්‍යක්ෂ, 15 වතාවක් අයන් මෑන් කිරූළ හිමිකරගෙන සිටින ශ්‍රී ලංකිය ක්‍රීඩක රාජන් තනයාගම් මහතා පවසා සිටියේ මේ තරගය සුවිශේෂී එකක් වන අතර එය පිළිගත් ක්‍රීඩා තරග තුනකින් සමන්විත බවයි. ලොව පුරා ප්‍රචලිත පිහිනීම, දිවීම හා පාපැදි යන තරග තුනෙන් සමන්විත මේ තුන් ප්‍රයාම තරග ඉසව්වට කිලෝ මීටර් 1.9 දුරක් පිහිනීමටත්, අර්ධ මැරතන් තරගයක් වන කිලෝමීටර් 21.1 දුරක් දිවීමටත් හා අවසන් වශයෙන් කිලෝමිටර් 90ක දුරක් පාපැදි තරගයක නියැලෙමින් තරග කිරීමට කාන්තා හා පිරිමි දෙපාර්ශ්යටම සිදුවන බවයි.

මේ තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර බාලක හා ළමුන් සඳහා වන තරගය 24 වැනි දා පැවැත්වෙයි. එම බාලක හා ළමුන් සඳහා වූ අයන් මෑන් 70.3 තරගය අවුරුදු 3-5 අතර මීටර් 500 ක දුරක්ද 6 -8 අතර කිලෝමීටර් 1ක දුරක්ද 9-11 අතර කිලෝමීටර් 1.5ක දුරක් හා 12-14 වයස් කාණ්ඩයේ තරගකරුවන් කිලෝ මිටර් 2ක දුරක්ද සම්පූර්ණ කළ යුතුය. බාලක හා ළමුන්ගේ තරගය උදැසන 10ට ආරම්භවී 12ට අවසන් වීමට නියමිතය.

ප්‍රධාන අයන්මෑන් 70.3 තරග ඉසව්ව 25 වැනි දා උදැසන 6 .00ට ආරම්භ වීමට නියමිත අතර සියළු තරගකරුවන් පැය 8ක් තුළදී සමස්ත තරගයම නිමා කළ යුතු වෙයි.

තරග කාණ්ඩ දෙ‍කේම ජයග්‍රහකයන් උදෙසා කුසලාන හ ත්‍යාග එදින සවස සැන්ග්‍රීල්ලා හෝටලයේදී පැවැත්වෙන උත්සවයේදී ප්‍රදානය කිරීමට නියමිතය.

මේ තරගාවලියට ලොව පුරා පැවැත්වෙන විට අයන්මෑන් 70.3 සමඟ එක්ව සිටින 3000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල පිරිසද මේ සමග සංචාරය කිරීම නිසා විශාල විදේශ විනිමයක් රැගෙන එන තරගාවලියක් ලෙස ද අයන් මෑන් තරගාවලිය සටහන්ව ඇත.

මෙම 25 වැනි දා කොළඹදී පැවැත්වෙන තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 133ක්, බ්‍රිතාන්‍යයෙන් 76ක්, ප්‍රංශයෙන් 47ක්, ඔස්ට්‍රේලියාවෙන් 34ක්, අමෙරිකාවෙන් 30ක් හා සිංගප්පූරුව නියෝජනය කරමින් තරගකරුවන් 26 දෙනෙකු සහභාගී විමට නියමිතය.

ප්‍රෝ ආම් සෙරන්ඩිබ් සංවිධානය අයන්මෑන් 70.3 තරගාවලියට අනුග්‍රහකයන් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කරන අතර සෙසු අනුග්‍රහකයන් ලෙස සැන්ග්‍රීල්ලා හෝටලය, ‘මාස්’ සාමාගම, ඩෙල්මා තේ සමාගම, හේලීස් ආයතනය,සෙලින්කෝ වී.අයී.පී.රක්ෂනායතනය හා ආසිරි සෞඛ්‍ය සේවය තරගාවලිය සමග එක්ව සිටී.

මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ සුදේෂ් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රෝ ආම් සෙරන්ඩිබ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන යසස් හේවගේ හා ශ්‍රී ලංකා පිහිනුම් ශූර ජුලියන් බෝලින් සමගින් සැන්ග්‍රීල්ලා හෝටලයේ අලෙවි හා වෙළෙඳ අධ්‍යක්ෂ චෙෂ් මැක්ෆාල්, ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී. ප්‍රනාන්දු හා හෙලීස් ඇඩ්වාන්ටීස් සමුහ ව්‍යාපරයේ කළමණාකර අධ්‍යක්ෂ රුවන් විද්‍යාරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න