දකුණු අප්‍රිකාව පරදවමින් ඉන්දියාව යළිත් එක්දින පිටියේ 1 ට | දිනමිණ

දකුණු අප්‍රිකාව පරදවමින් ඉන්දියාව යළිත් එක්දින පිටියේ 1 ට

 දකුණු අප්‍රිකාව සමග පොර්ට් එලිසබත් හිදී පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගය ලකුණු 73කින් ජය ගැනීමට සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජයගත් ඉන්දියාව යළිත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට පත්විය.

තරගාවලිය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි අතර මේ පරාජයත් සමග දෙවැනි ස්ථානයට ඇද වැටිණි.

මෙය මාස 6ක කාලයක් තුළ ඉන්දියාව පළමු ස්ථානය හිමිකරගත් තෙවැනි අවස්ථාව වීමද විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 274ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු පිලට ඕවර 42.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 201ක් පමණි.

ආරම්භක පිතිකරු හසීම් අම්ලා පන්දු 95කින් ලකුණු 71ක් රැස්කරමින් දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 4ක් දවා ගත්තේය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 115ක් රැස්කළේ 17 වැනි එක්දින ශතකය ලෙසිනි. පන්දු 126ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් හා හයේ පහර 4කින් වර්ණවත් විය. 


නව අදහස දක්වන්න

Or log in with...