පෝද්දිවලින් රටට ආදර්ශයක් | දිනමිණ

පෝද්දිවලින් රටට ආදර්ශයක්

 වස විස නැති එළවළු, පලතුරු, අල වර්ග ලබාදීම මෙන්ම කෘෂිකර්මය හා ගෙවතු වගාව පිළිබඳව රජයේ නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන, පාසල් දරුවන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන අතරින් ගාල්ල - පෝද්දිවල කෘෂිකාර්මික සංචාරක පුහුණු මධ්‍යස්ථානය විශේෂ වැදගත්කමක් උසුලයි.

මනරම් පරිසරයක පිහිටි මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයේ බෑවුම් සහිත ස්වාභාවික උල්පත්වලින් එක්රැස් කරගත් ජලය හා වැසි ජලය යොදාගෙන සියලු වගාවන් සිදු කෙරේ.

මෙහි තවත් විශේෂත්වයක් වනුයේ වසර ගණනාවක් කැලයට යටවී තිබුණු ඉතා සිත්ගන්නා සුළු ගල්බංගලාවයි.

වසර 35 - 40 පමණ කාලයක් වසා දමා තිබූ මෙම ගල් බංගලාව අද වන විට රජයට විශාල ආදායම් මාර්ගයක් ලබාදෙන ස්ථානයක් මෙන්ම දෙස් - විදෙස් සංචාරකයින්ගේ පැසසුමට ලක්වූවක් ද වේ. මෙහි පැමිණෙන සංචාරකයින් ගල් බංගලාවේ නවාතැන් ගැනීමෙන් පසු දේශීය එළවළු - පලතුරු ලබාගැනීම, එළවළු පලතුරු සිටුවීම, එහි ඵලදාව දැකගැනීමට හැකි වීම, උදෑසන කිරි දෙනුන්ගෙන් කිරි දෙවීම, කුඹුරු අස්වැද්දීම සඳහා බිම් සකස් කිරීම ආදී සියලු කාර්යයන් සඳහා සංචාරකයින්ට සහභාගිවීමට හැකි වීම නිසාවෙන් විදෙස් සංචාරකයෝ මෙම ස්ථානයට පැමිණීමට දැඩි ප්‍රියතාවක්, මනාපයක් දක්වති.

මෙම ස්ථානයේ පරිසරය ආරක්ෂා වන පරිදි දේශීයත්වය ගොඩනැ‍ඟෙන ලෙස, අලංකාර ලෙස පරිසරය නිර්මාණය කර ඇති බව මෙහි යන එන ඕනෑම අයකුට දැකබලාගත හැකිය.

1987 වර්ෂයේදී කෘෂිකර්ම ඇමැතිව සිටි ගාමිණී ජයසූරිය මහතාගේ අදහසක් අනුව මෙය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් විය. මෙහි පාලන කටයුතු දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සිදුවන අතර වත්මන් කළමනාකරු ලෙස අයි. ඩී. එම්. පුෂ්පකුමාර මහතා කටයුතු කරයි. මෙම ගොවිපළෙහි ආදායම සෑම වසරකම රජයට ලබාදීමට කළමනාකාරීත්වය සමත් වී ඇත.

මෙම භූමිය අක්කර විසිපහකින් සමන්විත වන අතර එළවළු, පලතුරු, අල වර්ග, කෙසෙල් වර්ග, විසිතුරු මල් වර්ග මෙහි වගාකර ඇති අතර අවශ්‍ය පැළ වර්ග හා බීජ වර්ග ද මිලදී ගැනීමට හැක. එසේම දිනපතාම අලුත් එළවළු, පලතුරු වර්ග ප්‍රදේශයේ වෙළෙඳුන්ට, ප්‍රදේශවාසීන්ට ලබාගැනීමට අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

එළ ගවයින්, මී ගවයින්, ඌරන්, එළුවන් හා කුකුළන් මෙහි ඇතිකරන අතර, මීකිරි, එළකිරි හා එළුකිරි දිනපතාම පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. එසේම ප්‍රදේශයට ඔරොත්තු දෙන වී ප්‍රභේදයන් නිෂ්පාදනය කර ගොවීන්ට බෙදාහැරීම ද, මෙම මධ්‍යස්ථානයේ තවත් එක් කාර්යයකි. අක්කර පහක් වූ කුඹුරුවලින් මේ සඳහා බිත්තර වී ලබා ගනී. සත්ත්ව ගොවිපළින් ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන ජීව වායුව ද කොම්පෝස්ට් පොහොර ද නිපදවේ. වගාවන් සඳහා ද එම පොහොර භාවිතා කෙරේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලබුදූව කෘෂි පුහුණු මධ්‍යස්ථානයට අමතරව මෙවැනි කාර්යයන් සඳහා වූ එකම මධ්‍යස්ථානය මෙය වේ. එසේම දෙස් - විදෙස් සංචාරකයින් සඳහා විවේකීව, විනෝදයෙන් කාලය ගතකිරීමට හැකි මනරම් පරිසරයක පිහිටි කෘෂි මධ්‍යස්ථානයක් දකුණු පළාතටම නැති තරම්ය.

එසේම ගොවීන් වැඩි ‍උනන්දුවක් නොදක්වන දූරියන් වගාව ද ව්‍යාප්ත කිරීමටත්, දූරියන් පැළ බද්ධ කිරීමක් ද මෙහි සිදුකෙරේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ පෝද්දිවල කෘෂිකාර්මික සංචාරක පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන වත්මන් කළමනාකාර අයි. ඩී. එම්. පුෂ්පකුමාර මහතා -

මෙහි වස විස නැති එළවළු, පලතුරු තමයි වගා කරන්නේ. පොහොර සඳහා අප විසින්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. සෑම විටම නැවුම් එළවළු, පලතුරු පාරිභෝගිකයන්ට දෙන්න තමයි අපේ වෑයම. ඒ වගේම අවුරුදු ගණනාවක් වසා දමා තිබූ ගල් බංගලාව අද වන විට ආදායම් උපයන ස්ථානයක් බවට පත්කිරීමට අපට හැකි වුණා. උත්සාහය, කැපවීම තුළින් තමයි අපට මෙහි දියුණුවක් ඇතිකර ගැනීමට හැකි වුණේ. රාජකාරිය ගැනම හිතල මෙහෙම වැඩ කරන්න බැහැ. කැපවීම තියෙන්නම ඕන. මෙහි මා සමඟ එකට වැඩ කරන කෘෂිකර්ම උපදේශකවරු, කාර්යාලයේ කළමනාකාර සහකාරවරු, සංවර්ධන නිලධාරීන්, රියැදුරන්, කම්කරුවන් ආදී සියලුම දෙනා ඉතා කැපවීමෙන්, ඕනෑකමින් රාජකාරිය ඉටුකරනවා. ඒ නිසයි මෙම ආයතනය මෙතරම් දියුණු තත්ත්වයට පත්වුණේ. එසේම අපේ වෑයම මෙම මධ්‍යස්ථානය දකුණු පළාතේ කෘෂිකාර්මික දැනුම, කුසලතාවය හා ආස්වාදය ලබාදෙන විශිෂ්ටතම පුහුණු ආයතනයක් බවට පත්කිරීම. ඒ වගේම අපිට හැකිවෙලා තියෙනවා මසකට පුහුණු වැඩමුළු 10 - 20 අතර ප්‍රමාණයක් සෑම මාසයකම පවත්වන්න. ඒ මඟින් දිස්ත්‍රික්කයේ විවිධ මට්ටමේ ගොවි කණ්ඩායම්වලට, පාසල් දරු දැරියන්ට අවශ්‍ය දැනුම, කුසලතාවය වර්ධනය කර ගැනීමට හැකි වෙනවා.

මේ නිසා ගොවි ජනතාවට තව තවත් වස විස නැති ඵලදායී වැඩි ඵලදාවක් ලබාගැනීමට හැකි වෙනවා. එසේම මේ හැම දේකදීම අපට උපදෙස් දෙමින් මෙම කටයුතු දියුණු කිරීමට අප දිරිමත් කරන පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා ආදී ප්‍රධාන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය සිහිපත් කළ යුතු වෙනවා.”

දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී. ඒ. පළිහවඩන මහත්මිය -

මෙම පෝද්දල කෘෂි පුහුණු මධ්‍යස්ථානය පළාත් සභාවේ පරිපාලනයත් එක්ක තමා දියුණු තත්ත්වයට පත් වුණේ. මෙම ස්ථානයේ ස්වාභාවික පිහිටීමත්, භූගෝලීය පිහිටීමත්, අලුත් පරිපාලනයත් එක්ක මෙය දියුණු තත්ත්වයට පත්වීමට හේතු වුණා. ඒ වගේම මෙහි කළමනාකරු ලෙස කටයුතු කරන කුමාර මහතා ඉතා දක්ෂ නිලධාරියෙක්. ඔහු මේ කටයුතු පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක්. ඔහුගේ කලාත්මක හැකියාවන් හා අපගේ උපදෙස් අනුව ‍වැඩ කළ නිසා මෙවැනි තත්ත්වයකට මෙම මධ්‍යස්ථානය ගෙන යාමට හැකි වුණේ. ඒ වගේම කෘෂිකර්ම උපදේශකවරු ඕනෑකමින් වැඩ කළා. මේ තුළින් ප්‍රදේශයේ රැකියා විරහිත අයට රැකියා ලබා දෙනවා. ඒ වගේම ප්‍රදේශයේ අයටත් මෙය ස්වයං රැකියාවක් ලෙස තමන්ගේ නිෂ්පාදන කිරීමට උපදේශ ගත හැකි මධ්‍යස්ථානයක් බවටත් පත්කර තිබෙනවා.”

වස විසෙන් තොර වූ එළවළු - පලතුරු ලබාගත හැකි, ස්වභාව සෞන්දර්යත්වයේ අපූරු තෝතැන්නක් බවට පෝද්දිවල කෘෂිකාර්මික සංචාරක පුහුණු මධ්‍යස්ථානය පත්කිරීමට අනූපමේය මෙහෙයක් කළ වත්මන් කළමනාකරු අයි. ඩී. එම්. පුෂ්පකුමාර මහතාට අපගේ ස්තූතිය.

සටහන සහ ඡායාරූප 
ප්‍රභාත් විතානාච්චි දකුණු පළාත් විශේෂ 


නව අදහස දක්වන්න

Or log in with...