ගල්ගමුව රැස්වෙහෙරේ හිටි පිළිම වහන්සේ | දිනමිණ

ගල්ගමුව රැස්වෙහෙරේ හිටි පිළිම වහන්සේ

 ගල්ගමුව රැස්වෙහෙර පුරාණ විහාර ස්ථාන භුමියේ ඇති සිත් නිවන ප්‍රධානතම අපුර්ව නිර්මානය වන්නේ සුවිසල් ගල්තලාවක නෙළන ලද අඩි 38 අගල් 10ක් උස හිටි පිළිම වහන්සේය. සුප්‍රකට අවුකන බුදු පිළිමය හා බෙහෙවින් සමානකමක් ඇති රැස්වෙහෙර බුදු පිළිමය පිළිබඳව ගෙතී ඇති ජනප්‍රවාද රැසකි. ඇතැමුන් පවසන්නේ අවුකන පිළිමය හා මෙම රැස්වෙහෙර පිළිමය එකම අයකු විසින් නිර්මාණය කරන ලද බවයි. තවත් සමහරු පවසන්නේ පළමුව මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරිමේදී එම පාෂාණය එතරම් සුදුසු නැතිබව දැණුනු හෙයින් එහි ඉදිකිරිම් අකර මඟ නවතා දමා අවුකන පිළිමය ඉදිකළ බවයි.

තවත් සමහරුන් පවසන්නේ අවුකන බුදු පිළිමය ත් රැස්වෙහෙරේ පිළිමයත් මුහුණට මුහුණ යොමා වැඩ සිටින බවයි. ඉතිහාසයට අනුව මේ ප්‍රතිමා වහන්සේ මහසෙන් යුගයේ ඉදි කළ එකකි. මෙය ක්‍රිස්තු වර්ෂ 274 දී මහයාන ලක්ෂණ අනුව නිර්මාණය කර ඇත. පිළිමයේ සිවුරු අතරින් සිරුරේ පහළ කොටස විනිවිධ පෙනෙන අයුරින් නිර්මාණය කර තිබිණි. මේ ප්‍රතිමාවෙන් දිස්වෙන්නේ අභය මුද්‍රාවයි.

මෙම ප්‍රතිමාවේ ශිර්ෂය අඩි7 අගල් 4ක් උස්වේ. මෙහි ලී සිරස් පතක් තිබු බවට සලකුණු පවති. මෙය අවුකන පිළිමයට වඩා අගල් 6ක් උසින් යුක්තයි. ශ්‍රී ලංකාවේ පැරැණිම හිටි පිළිමය ලෙස නම් කළ හැකි රැස්වෙහෙර පිළිම වහන්සේගේ දකුණු කන නිර්මාණය කර අවසන් කර නැත. මෙයින් හැගෙන්නේ ප්‍රතිමාව නිර්මාණය කිරීම අතර මඟ නැවති ඇති බවයි. අවුකන පිළිමයේ පියුම් මත බුදුන් වහන්සේ වැඩ හිදින ආකාරය දැක්වෙන නමුත් මෙහි පියුම් දක්නට නැත.

මුලින්ම රංහර යනුවෙන්ද ඉන්පසුව සැස්සේරුව නමින්ද ප්‍රකට මේ විහාර ස්ථානය අද හැදින්වෙන්නේ රැස්වෙහෙර නමිනි. ගල්ගමුවේ සිට ඇහැටුවැව හරහාත් අඹන්පොළ හරහාත් කුරුණෑගල ඉබ්බාගමුවට පැමිණ මඩගල්ල පාර ඔස්සේත් අවුකන ගල්නෑව පාර ඔස්සේත් මෙම පුදබිමට ළඟාවිය හැකිය.

සටහන සහ ඡායාරුපය-කටුපොත විශේෂ
බී. ඒ .එන්. ශාන්ත කුමාර 


නව අදහස දක්වන්න

Or log in with...