නිකවැරටියේ දුරකතන කණු දාලා මාර්ග බාධක | දිනමිණ

නිකවැරටියේ දුරකතන කණු දාලා මාර්ග බාධක

 නිකවැරටිය නගර මධ්‍යයේ ඇති පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට මාර්ගය දුරකතන කණු යොදා අවහිර කර ඇති ආකාරයයි මේ. නිකවැරටිය මහව පාරේ කඩ සාප්පු රැසක් පිහිටා ඇති ප්‍රදේශයක මෙලෙස කොන්ක්‍රීට් කණු යොදා අවහිර කර තිබේ. දිවයිනේ ප්‍රසිද්ධ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයක පාලනාධිකාරිය විසින් මෙම ඉවත දැමූ දුරකතන කණු ගෙනැවිත් දමා මඟ අහුරා ඇත්තේ පාරිභෝගිකයන් තම වාහන මෙම ස්ථානයේ නැවැත්වීම වැළැක්වීමටයි.

ප්‍රධාන මාර්ගයටද අවහිර වන සේ සිදුකර ඇති මෙම ක්‍රියාව හේතුවෙන් රියදුරන් මෙන්ම පදිකයන්ද දැඩි දුෂ්කරතාවට මුහුණපා සිටිති. නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සිසුන් දහස් ගනනක් දිනපතා මෙම ස්ථනය පසු කර ගමන් කරන අතර මෙම කොන්ක්‍රීට් කණු හේතුවෙන් ඔවුන්ට මාර්ගය අයිනෙන් ගමන් කිරීම අපහසු බැවින් මහ පාරේ ගමන් කරති. මහව පාරේ ගමන් ගන්නා බස් රථද හවස හයෙන් පසු මෙම ස්ථානයෙන් මගීන් නංවා ගන්නා අතර මේ දිනවල එම කටයුත්තටද අවහිරතා ඇතිව තිබේ. රාත්‍රී කාලයේ ගමන් ගන්නා පදිකයන් හෝ යතුරුපැදි කරුවන් අනතුරට ලක්වීමට පෙර මෙම කණු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව මගීහු පෙන්වාදෙති.

ඡායාරූපය - වාරියපොළ සමූහ 

නව අදහස දක්වන්න