ග්‍රෑන්ඩ්පාස් තේ ගබඩාව කඩා වැටී 7ක් මරුට | දිනමිණ

ග්‍රෑන්ඩ්පාස් තේ ගබඩාව කඩා වැටී 7ක් මරුට

මහින්ද අලුත්ගෙදර

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි තේ ගබඩාකර තිබූ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් කිහිප දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක් මෙලෙස ඊයේ (14) පස්වරු 3.15 ට කඩාවැටී තිබෙන අතර සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් හත්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි. මියගිය අය අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි තිදෙනකු සිටින අතර තුවාල ලැබූවන් අතරින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ ගොඩනැඟිල්ල හදිසියේ කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගතකිරීමට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පියවර ගෙන තිබෙන අතර සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිර වී සිටීද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ ආපදා සහන සේවකයින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. තේ සහ කරාඹු ඇතුළුව සුළු අපනයන භෝග අපනයනය සඳහා මේ ගොඩනැඟිල්ලේ ගබඩාකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේ වුවද තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ගොඩනැඟිල්ලට යටවී සිටින බවට තොරතුරු වාර්තා වන අතර එම පුද්ගලයින් සංඛ්‍යාව කොපමණ ද යන්න වාර්තා නොවේ. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව සහ ප්‍රදේශවාසීන් ද සහන කටයුතුවල නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. මේ අතර අදාළ ස්ථානයේ සිදුකෙරෙන සහන කටයුතුවලට සහාය ලබාදීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ආපදා රථ අටක් පමණ යොමුකළ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

නව අදහස දක්වන්න