හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ප්‍රසන්න 16 තෙක් රිමාන්ඩ් | දිනමිණ

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති ප්‍රසන්න 16 තෙක් රිමාන්ඩ්

රිද්මි අමෝදා

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්කි වසන් කිරීමට සහ ව්‍යාජ සාක්ෂි ඇතුළත් කිරීම සම්බන්ධව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර පෙබරවාරි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පෙරේදා රාත්‍රී 11.00 සිට පැය 10ක් ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් පසු මොහුව අත්අඩංගුවට ගෙන ඇත. සාක්කි සටහන් කර ගැනීමෙන් පසු ඊයේ (14) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

අපරාධ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා, පොලිස් පරීක්ෂක සුගත් කුමාර කරුණු ඉදිරිපත් කරමින් මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාව මත සිදුවී ඇති බව කියා සිටියේය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සඳහා පැමිණි බවට සැක කළ යතුරුපැදිය අත්තිඩිය ඇළේ ඇති බවට ලැබුණු තොරතුරු අනුව 2009/01/26 වන දින  සෝදිසි කිරීම් සිදුකළ අතර 2009/01/27 දින යතුරුපැදිය සොයාගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෙම යතුරුපැදිය විෂ්ණු කුමාර් නමැති අයකුගේ නමින් මුල් ලියාපදිංචිය සිදුවී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

මෙම යතුරුපැදියේ ගමන්ගත් විෂ්ණු කුමාර් සහ බාලරාජ් පොලිස් මාර්ග බාධකය ද පසුකරගෙන ගොස් ඇති බව හා පසුව කොළ පැහැ වෑන් රථයකින් මොවුන්ව පැහැරගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ රථයේ තිබී සොයාගත් සටහන් පොත 2009/01/08 වන දින ‍උප පොලිස් පරීක්ෂක වීරසිංහ සාක්ෂියක් විදිහට පත්කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

එම සටහන් පොතෙහි ලසන්ත මහතා විසින් හදිසියෙන් සටහන් කළ යතුරුපැදි අංක 02ක් සහ තවත් වැකි කීපයක් තිබී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේය.

රක්ෂිත බන්ධනාගාරව සිටින ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාල හට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු නොපවත්වන ලෙස ප්‍රසන්න නානායක්කාර මහතා බලපෑම් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ සේවාදායකයාගේ අසනීප තත්ත්වය සහ පොලිස් සේවා කාලය තුළ ලබාගෙන ඇති කීර්තිනාමය හේතුකොටගෙන මහේස්ත්‍රාත්වරයාගෙන් ඇප ඉල්ලීමක් ඉල්ලා සිටි අතර එය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය. 

නව අදහස දක්වන්න