ප්‍රසන්න රණතුංගට, බිරියට එරෙහි නඩුව මාර්තු 12 දා | දිනමිණ

ප්‍රසන්න රණතුංගට, බිරියට එරෙහි නඩුව මාර්තු 12 දා

කුමුදු හෙට්ටිආරච්චි

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක මුදලක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය හා ව්‍යාපාරිකයෙකුට එරෙහි නඩුවේ විභාගය ලබන මාර්තු 12 ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (14) නියෝග කෙළේය.

මේ නඩුව විභාගයට ඊයේ (14) දිනට දින නියම කර තිබුණ ද විත්තියේ නීතිඥවරයාට කොළඹ මහාධිකරණය හමුවේම වෙනත් නඩු දෙකක් පැවතීම හේතුවෙන් විත්තියෙන් කළ ඉල්ලීම සලකා බලමින් ප්‍රධාන විනිසුරුවරයා නඩුවේ විභාගයට එසේ දින නියම කළේය.

විත්තියේ ඉල්ලීමට විරුද්ධ නොවුනද නඩුව කෙටි දිනයකින් විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ (14) ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ලබන මාර්තු 12 සිට නඩුව විභාගයට නියම කළ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය හමුවේ පෙනී සිටි සාක්කිකරුවනට අවවාද කළේය.

විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග ඊයේ (14) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ව්‍යාපාරිකයකු වූ හරේෂ් කුමාර් නමැති විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින අතර ඔහු නොමැතිව මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර ඇත. 


නව අදහස දක්වන්න

Or log in with...