ගෝඨාගේ රීට් පෙත්සම කැඳවීම කල් යයි | දිනමිණ

ගෝඨාගේ රීට් පෙත්සම කැඳවීම කල් යයි

නෙල්කා මැදගෙදර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ අධි චෝදනා ගොනු කිරීම හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් ‍කිසිදු විරුද්ධත්වයක් නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (14) අභියාචනාධිකරණයට දන්වා සිටියේය. එහෙත් පොදු දේපළ පනත ය‍ටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඔහුට එරෙහිව සහතිකයක් ඉදිරිපත් කිරීම හෝ ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරුද්ධ වන අතර එය වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ බව හෙතෙම කීය.

පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව කටයුතු නොකරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූ‍රසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා සඳහන් කෙළේ වීරකැටිය, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පොදු දේපළ පනත යටතේ වන සහතිකයක් ගොනුකර ඇති බවය. පොදු දේපළ පනත යටතේ එවැනි සහතිකයක් ගොනු කරතොත් හෝ අත්අඩංගුවට ගතහොත් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අවදානමක් ඇති බව හෙතෙම කීය. එහෙත් පෙත්සම්කරුට එරෙහිව විමර්ශන සිදු කිරීම, චෝදනා ගොනු කිරීම හෝ නඩු පැවරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැති බව හෙතෙම කීය.

අධිකරණයට අද (14) දැනුම්දුන් පෙත්සම්කරුගේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය කුමක්ද යන්න ගැන උපදෙස් ලබාගත යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේය. එම ස්ථාවරය දැන ගැනීම පැයක් තුළදී සිදු කළ හැකි බැවින් ඒ සඳහා කල් ලබාදෙන ලෙස හෙතෙම අධිකර‍ණයෙන් ඉල්ලා සිටියේය.

එම රිට් පෙත්සම පැයකදී නැවත කැඳවීමට තරම් ප්‍රායෝගිකව කාලය ප්‍රමාණවත් නොවන බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවීමට අධිකරණය තීරණය කෙළේය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 28 දින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ අධිකරණය පෙත්සම පෙබරවාරි මස 27 දින නැවත කැඳවීමට තීරණය කෙළේය.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ. 

 

නව අදහස දක්වන්න