දැන් මට වැරදිලා ඉවරයි | දිනමිණ


 

දැන් මට වැරදිලා ඉවරයි

පි මේ කරන වැඩේ හරිද විකසිත ?" සඳ සේයා එහෙම ඇහුවෙ සීතල කම්මුලක් විකසිතගෙ පපුව උඩ තියාගෙන ඉන්න ගමන්..

"මොන ?"

"නිකං බබෙක් වෙන්න හදන්නෙපා... මං අහන්නෙ කසාද නොබැඳ එකට බුදියන එක ගැන."

"ඉතිං?"

"ඉතින් මං අහන්නෙ ඒක හරිද?"

"ඇයි ඒක වැරදිද?"

"වැරදියි නේද?" බරට හුස්මකුත් හෙළලා එහෙම අහපු සඳසේයා විකසිතගෙන් ටිකකට ඈත්වෙලා හිස්බැල්මෙන් සිවිලිම දිගේ ඇස් යැව්වෙ හිත ඇතුළෙන් පිච්චෙන ගමන්. අම්මා දන්නවා නම්... සඳසේයා හිතුවෙ එහෙම.

විකසිත කාමරේකට යන්න අඬගහපු කිසිම දවසක සඳසේයා හරි විදිහට විකසිතව ප්‍රතික්ෂේප කළේ නෑ. ඒ වුණත් ඇවිස්සුණු හැඟීම්වලට ඉඩ දීලා, තහනම් සුව විඳින හැම මොහොතක ම සඳසේයාගෙ හිත මහ වැරදිකාරී හැඟීමකින් පිරිලා ගියා.

"කෝ නැගිටින්න... මං අද වේලාසන යන්න ඕනෙ..." එහෙම කියන ගමන් විකසිත, දෙන්නත් එක්ක එකට ගුලි වෙලා හිටිය බෙඩ්ෂීට් එක ඇතුළෙන් එළියට ආවා. යට ඇඳුමෙ ඉඳන් ඔරලෝසුවට වෙනකම් ම පිළිවෙලට ඇඳපැලඳ ගත්තට පස්සෙ විකසිත ආයෙමත් මහත්තයෙක්.

ඉස්සර විකසිත ළඟ ආදරේ උතුරන්න තිබුණා. බලන බැල්මක් ගානෙ, කියන වචනයක් ගානෙ ඒ විතරක් නෙවෙයි බනින බැනුමක් ගානේ ඒ ආදරේ සඳසේයා හිත පුරා විඳගත්තා. රිදෙන රිදුමක් ගානෙ හදවත හෙව්වෙම ඒ ආදරේ විතරයි. ලෙක්චර්ස් කට් කරලා නාගහ ගාව බංකුවේ ඉඳගෙන විකසිතත් එක්ක පෙම් කවි කියනකොට සඳසේයට මුළු ලෝකෙ ම අමතකයි. ඒ ආදරේ එච්චරට ලස්සනයි. නා ගහ වටේට ලේන් පැටවු ඇවිත් ඉගිබිඟි කළේ ඒ ආදරේ දකින්න. අතුඅග ඉඳන් කුරුල්ලො සිංදු කිව්වෙ ඒ ආදරේට සුබ පතන්න. සඳසේයා හිතුවෙ එහෙම. විකසිතගෙ කර්ල් කොණ්ඩෙටයි, සුදු මූණටයි, හිතුවක්කාර ගතියටයි,ගොරෝසු පිරිමි කටහඬටයි සඳසේයා හිටියෙ පිස්සු වැටිලා.

සඳසේයට දැනුණෙ ජීවිතේ ඊට එහා තව දිනන්න දෙයක් නෑයි කියලයි. කැම්පස් එකේ කෙල්ලො පිස්සුවෙන් වගේ පස්සෙන් එන විකසිත තමන්ට අයිති වස්තුවක් කරගන්න ලැබුණු එක ගැන සඳසේයට තිබුණෙ එක විදිහක ආඩම්බරකමක්. විකසිතගෙ එක බැල්මක් වෙනුවෙන් කෙල්ලො මැරීගෙන එද්දි ඒ පිරිමි පපුව උඩ ඔළුව තියාගෙන නිදාගන්න ලැබෙන එකත් සඳසේයට මහා ලොකු දෙයක් වුණා. ඒ වුණත් හීන මාළිගා කැඩිලා ඉහිරිලා යන්න මහ කාලයක් ගියෙ නෑ. විකසිත ගැන වටෙන්පිටෙන් එක දිගටම එන නරක ආරංචි එකින් එක ඇත්ත වෙනකොට සඳසේයට කරකියාගන්න දෙයක් නැතුව ගියා. විකසිතව හිතින් අමතක කරලා හිත හදාගන්න වුණත් සඳසේයා පරක්කු වැඩියි එතකොට. ඒ වෙද්දි විකසිත ඒ අහිංසක ජීවිතේ කාලයක් තිස්සෙ පරිස්සම් කරපු හැම දෙයක් ම එයාගෙ සඳාගෙන් උදුරගෙන ඉවරයි. ඒත් සඳා නම් එයාගෙ මුළු ආත්මෙම උගසට තිබ්බෙ ආදරේ වෙනුවෙන්...ඒ ආදරේ දැන් විකසිත ළඟ හොයාගන්න නෑ.

කාමරේක තනිවෙලා අසම්මතේ සුව විඳිනවට වැඩිය දෙයක් දැන් විකසිත සඳසේයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඊට වැඩියෙන් දෙයක් සඳසේයට දෙන්න විකසිතගෙ හිතේ බලාපොරොත්තුවකුත් නෑ. මේ දේවල් කල්පනා වෙනකොට සඳසේයගෙ හිත පිච්චිලා අළු වෙලා යනවා.

"දවසක මේ හැමදේම ඉවර වුණා ම ඔයාට පුළුවන් සුද්දවන්තයෙක් වගේ ගෙට ගොඩවෙන්න. ඒත් මට බෑ. සුදු බෙඩ්ෂීට් එකත් නිරුවත් පපුවට කිට්ටු කරලා, තදින් අල්ලගෙන සඳසේයා ඇඳෙන් නැගිට්ටෙ එහෙම කියාගෙන.

"සඳා මං ඔයාට කවදාවත් බල කළේ නෑ."

ඒකට නම් සඳසේයා දැම්මෙ මහ පල් හිනාවක්...

"ඇයි ඇයි ඇයි? දැන් ඒ පාර ඔයා කියන්න හදන්නෙ මං ඔයාව මෙහාට බලෙන් උස්සගෙන ආවා කියලද?"

"දැන් ඕවා ගැන කතා කරලා මොකටද විකසිත? බලෙන් එක්ක ආවත් කැමැත්තෙන් ආවත් දැන් මට වැරදිලා ඉවරයි. ඒ වගේ ම ඔයා මාව ආශ්‍රය කරන්නෙ බඳින්න හිතාගෙන නෙවෙයි කියන විත්තියත් මං දැන් දන්නවා. වෙලාවකට මට හිතෙනවා මේ යන ගමන් ම කෝච්චියකට බෙල්ල තියලා මේ කාලකණ්ණි ජීවිතේ කෙළවරක් දකින්න. ඒත් මගෙ හිතට ඒ තරම් හයියක් නෑ."

මොකෝ කතා නැත්තෙ? ඒක එහෙම නේද?

"මොකක්ද?"

"ඔයා මාව ආශ්‍රය කරන්නෙ කසාද බඳින්න හිතාගෙන නෙවෙයි නේද?"

"ඔයාට මාව ඔය තරම් සැකනම් ඇයි මාත් එක්ක ආවෙ?"

"මං ඇහුවෙ ප්‍රශ්නයක් විකසිත?

ප්‍රශ්නෙකට ඕනෙ උත්තරයක්... එක අතකට වැඩක් නෑ. ඔයා ළඟ උත්තර නෑ. තියෙන්නෙ ප්‍රශ්න විතරයි."

"මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ ඔයා..." විකසිත එහෙම කිව්වම සඳසේයාට අදහාගන්න බැරුව ගියා. සඳසේයා ඇස්වලින් ඒ ඇස් අල්ලගන්න හදනකොට විකසිත කළේ ඒ බැල්ම දරාගන්න බැරුව අහක බලාගත්ත එක.

කාරෙකට නැගලත් ටික වෙලාවක් යනකම් දෙන්නා අතර වැඩි කතාවක් තිබුණෙ නෑ.

"මාව ඔය ඉස්සරහින් දාන්න..."ඒ සඳසේයා.

"ඇයි?"

"මගෙ රිපොර්ට්ස් ටික ගන්න ඕනෙ..."

"මට පරක්කු වෙනවා ළමයො.."

"හරි ඉතිං ඔයා යන්න..."සඳසේයා කාර් එකෙන් බැහැලා සද්දෙට දොර වැහුවා..ජීවිතේ හැම දෙයක් ම එපා වුණු ගානට සඳසේයා මෙඩිකල් සෙන්ටර් එක පැත්තට ඇවිදගෙන යන හැටි විකසිතත් බලාගෙන...

මෙඩිකල් රිපෝට්ස් දැක්ක සඳ්සේයා මළමිනියක් වගේ සුදුමැලි වුණේ රිපෝට්ස්වල තිබුණු දේ අදහා ගන්න බැරුව...

H I V ...ඒ තමයි සඳසේයගෙ අවංක,අකලංක, කුළුඳුල් ආදරේ වෙනුවෙන් ලැබුණු තෑග්ග.

 

 

 

 

 

නව අදහස දක්වන්න