ආර්ථික උවදුරු දුරුකිරීමට- ජාතික ආර්ථික සභාව | දිනමිණ

ආර්ථික උවදුරු දුරුකිරීමට- ජාතික ආර්ථික සභාව

ජාතික ආර්ථික සභා­වේ ලේකම් ලලිත් සම­ර­කෝන්

ආසියාව ලෝක ආර්ථිකයේ ප්‍රමුඛතම ‍බලවේගය බවට පත්වී තිබේ. කලාපීය ආර්ථිකය ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින්නේ මේ බලවේගයේ ප්‍රවාහයට නතුවෙමිනි. මෙලෙස පිබිදෙන ආර්ථිකයේ ප්‍රමුඛයෙකු වීමට අප සතු වැඩපිළිවෙළක් තිබේද? විශේෂඥ දැනුමින් යුතුව එවැනි වැඩපිළිවෙළක් සම්පාදනයට මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමට හා රටක් වශයෙන් දිගු කාලයක් පුරා මුහුණ දෙමින් පවතින ගැටලුවක් වන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය, කළමනාකරණය හා සම්බන්ධීකරණ දුබලතා මඟහරවා ගැනීම සඳහා පසුගිය වසරේ පිහිටුවූ ආයතනික ව්‍යුහය වන්නේ ජාතික ආර්ථික සභාවයි. එම ආයතනයේ ලේකම් ධුරය දරනුයේ ආර්ථීක විද්‍යාඥයෙකු, වරලත් ගණකාධිකාරීවරයෙකු මෙන්ම මූල්‍ය පිළිබඳව මහාචාර්යවරයෙකු ද වන ලලිත් සමරකෝන් මහතායි. ආර්ථික කළමනාකරණ මණ්ඩලය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ‍ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මෙය.

 

 

Q ආර්ථීක කළමනාකරණ සභාව කියන්නේ කුමක්ද?

 

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පිහිටුවන ලද ආර්ථිකය, මූල්‍ය පිළිබඳ තාක්ෂණ දැනුමින් හා අත්දැකීමෙන් සපිරි පිරිසක් සේවය කරනු ලබන ආයතනයක්. මේ මඟින් ඉටුකිරීමට අපේක්ෂිත මුඛ්‍ය කාර්යයක් වන්නේ.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳව රජයට උපදෙස් ලබාදීම

රටට ගැළපෙන අන්දමේ ආර්ථීක ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා රජයට උපදෙස් දීම.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීම, රේඛීය අමාත්‍යාංශ හා ආයතන සමඟ පුළුල් සබඳතාවක් ඇතිකිරීමෙන් ප්‍රතිපත්තිවල සංඝතබවක් ඇතිකිරීම. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත් ආර්ථික අභිමතයන් අතර කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වශයෙන් දැක්මක් තිබිය යුතුය. මෙබඳු දැක්මක් සෑම අංශයකින්ම ඉස්මතුවීම අත්‍යවශ්‍ය වේ. ඒවා එක් පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී විය යුතුවීම වැදගත්ය. ඒ සඳහා වන ජාතික සැලැස්ම සැකසීම හා ක්‍රියාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ කාර්යයක් බවට පත්වෙයි.

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශ විමර්ශනය කිරීම හා ඒවායේ යම් ගැටලු තත්ත්වයක් පවතී නම් වෙනස් කිරීමට උපදෙස් දීම.

 

Q ජාතික ආර්ථික සභාවේ ව්‍යුහය සකස් වී තිබෙන්නේ කෙසේද?

මෙම ආයතනය පිහිටුවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ යෝජනාවන්ට අනුවය. මෙහි සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. ලේකම් ධුරයට ආර්ථික, මූල්‍ය විශේෂඥයෙකුගේ අවශ්‍යතාව කැපී පෙනුණේ ඒ අනුවය. මා ඒ සඳහා පත්වූයේ සාමාජිකයින් දසදෙනෙකුගෙන් යුතු මෙම සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ. අගමැතිවරයා, මුදල් ඇමැති, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් යන අයයි.

 

Q මෙම ආයතනයේ ආයු කාලය තීරණය වෙන්නේ ආණ්ඩුවේ ආයු කාලයට අනුවද?

 

මේ ආයතනය ස්ථාපිත කිරීම සැලසුම් කර ඇත්තේ ස්ථාවර ආයතන ලෙසටය. කැබිනට් මණ්ඩල අනුමැතියකින් යුතුව පාර්ලිමේන්තුවේ පනතක් මඟින් පිහිටුවන ලද ආයතන ලෙස ඉදිරියේදී ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඊට හේතුව ආණ්ඩු මාරු වුවද ආර්ථික කළමනාකරණය සඳහා වන විශේෂඥ දැනුම හා මඟපෙන්වීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණය රාජ්‍ය යාන්ත්‍රණයේම කොටසක් බවට පත්විය යුතු බව පිළිගැනීමය.

 

ඔබ පැවසුවා පරිපාලනයේ පහසුව සලකා මෙම ආයතනය අංශ තුනක් යටතේ පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බව

 

එම අංශ තුන වන්නේ,

 

1. ආර්ථික කටයුතු අංශය

2. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අංශය

3. මූල්‍ය කටයුතු අංශය වශයෙනි.

ආර්ථික කටයුතු අංශය මඟින් අවධානය යොමු කෙරෙන්නේ මුර්ථ ආර්ථික අංශය හෙවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පිළිබඳවයි. එහිදී ආනයන, අපනයන, කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ, දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය ආර්ථීකය නඟාසිටුවීම වැනි අංශ පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අංශය මඟින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ ජාතික අයවැය ප්‍රතිපත්ති සකස් කිරීම, ජාතික වියදම් ප්‍රතිපත්තිය, ජාතික ආදායම් ප්‍රතිපත්තියන් සකස් කර ගැනීම, විදෙස් ආධාර කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය සම්පාදන පිළිබඳ ආදී කටයුතුය.

මූල්‍ය කටයුතු අංශය මඟින් සිදුවන්නේ බැංකු, මූල්‍ය ආයතන ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකිරීමයි. මෙම අංශ තුන යටතේ සමස්ත ආර්ථිකයම ආවරණය කළ හැකිය.

 

Q මෙම අංශ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවාද?

 

මේ අංශ කීපය සඳහාම මූල්‍ය, ආර්ථික දැනුම ඇති විශේෂඥයින්ගේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන සේවය අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. මේ වසරේ අයවැයෙන් මෙම ආයතනය පිහිටුවීමට අවශ්‍ය මුදල් වෙන්කොට තිබෙනවා. අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් කරගැනීම සඳහා මෙන්ම ආයතනය පිහිටුවීම කාර්යාලය සකස් කිරීම අවශ්‍ය ලිපිද්‍රව්‍ය, කාර්යාල උපකරණ මිලදී ගැනීම් ආදී කටයුතු සිදු කෙරෙනවා. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනෙහි වෙන්කරන ලද එක් මහලක මේ වන විට කාර්යාල සකස් කිරීම සිදු කෙරෙනවා.

නොයෙකුත් රාජ්‍යයන් යටතේ රජයට ආර්ථික උපදෙස් ලබාදීම සඳහා කමිටු පවත්වා තිබෙනවා. එම කමිටු සහ මෙම ආර්ථික සභාව අතර වෙනස වන්නේ එය ස්ථිර රාජ්‍ය ආයතන ලෙස ස්ථාවරව පැවතීමය. මෙම ආයතනය රටේ ආර්ථිකය පිළිබඳව වගවන, ආර්ථිකය පිළිබඳව අවධානයෙන් පසුවන ප්‍රමුඛතම ආයතන බවට පත්වේවි.

 

Q මෙම ආයතනයට බලය හිමිවන්නේ කෙසේද?

 

අමාත්‍ය මණ්ඩලය විසින් පිහිටුවූ මෙම ආයතනය කටයුතු කරන්නේ අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාදීම සඳහායි.

අප කටයුතු කරන්නේ ගෝලීය ආර්ථික සංදර්භය තුළය. එසේ කටයුතු කිරීමේදී ආර්ථික වශයෙන් නිගමනයන්ට එළඹීමේදී අංශ රාශිය පිළිබඳව විමර්ශනයකළ යුතුය. එසේම රටක් වශයෙන් ඉන්දියාව, චීනය, සිංගප්පූරුව හෝ ලොව වෙනත් කොතැනක හෝ සිදුකරනු ලබන ක්‍රමවේද, ප්‍රතිපත්ති අප රටට එලෙසින්ම ගෙන ඒම සාර්ථක වන්නේ නෑ. අපිට ගැළපෙන අපේ ක්‍රමවේද සකස් කළ යුත්තේ විශේෂඥ දැනුමකින් යුතුවය. එබඳු ව්‍යුහයන් ඇති විට ගැටලු මඟහරවා ගත හැකිය.

 

Q පසුගිය වසර අවසානයේ පිහිටුවූ මෙම ආයතනයෙන් මෙතෙක් සිදුකළ සේවාවන් කවරේද?

 

ඒ ඒ අමාත්‍යාංශයන්ගෙන් ඉටුකිරීමට අපේක්ෂිත කාර්යයන් පිළිබඳව ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැඟීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙසේ අප සමඟ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව අප සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලු ආයතන සමඟ සාකච්ඡා කර අප උත්සාහ ගනුයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීමයි

 

Q පසුගිය දිනෙක විගණකාධිපතිතුමා පැවසුවා රටේ ණය ගැටලුව පැටළුණු නූල් ‍බෝලයක් වගේ කියලා. එවැනි ගැටලුවලට මෙම ආයතනයේ පිළිතුරු ලැබේවිද?

 

එවැනි ගැටලු සඳහා පිළිතුරු ලබාදීම මෙම ආයතනයේ මුඛ්‍ය කාර්යයක් වෙනවා. මීට අමතරව මෙම ආයතනයේත් මූලිකම අරමුණ වන්නේ රටේ ආර්ථිකය කඩිනමින් දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කිරීමය. අපේ ආර්ථික වර්ධනය සියයට හතරත් පහත් අතර වෙනවා. මෙම වර්ධන වේගය සියයට දහයක මට්ටමකටවත් එසවිය හැකි නම් ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් අති කළ හැකියි. ආර්ථික පිම්මක් පැනිය හැකි වන්නේ එවිටය.

එබඳු තත්ත්වයන් ඇතිවීමට හෝ විදෙස් ආයෝජන අත්‍යවශ්‍ය වෙනවා. එම ආයෝජන ණය වශයෙන් නොව සෘජු ආයෝජන වශයෙන් ලැබිය යුතුයි. අප දන්නා පරිදි මෙරට ආයේජනය කිරීමේ අරමුණින් විදේශිකයන් පැමිණෙනවා. නමුත් ඒ අය නිසි ලෙස ඊට යොමුකිරීමට හැකි යාන්ත්‍රණයක් අප සතුව නෑ. ඒ යාන්ත්‍රණ සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

 

Q ඔබ ආයතනයට අවශ්‍ය සහයෝගය රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගෙන් ලැබේවි යයි විශ්වාස කරනවාද?

 

මෙහි සභාපති වන්නේ ජනාධිපතිවරයායි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පිහිටුවූ මෙම ආයතනයේ කටයුතු සඳහා සියලු පාර්ෂයන්ගේ සහාය දැනටමත් ලැබෙමින් පවතිනවා.

 
බුද්ධිකා බ්‍රහ්ම­ණගේ

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...