දෙස් විදෙස් වෙළෙ­ඳ­පොළ ජය­ගත් පාව­හන් කර්මා­න්තය | දිනමිණ

දෙස් විදෙස් වෙළෙ­ඳ­පොළ ජය­ගත් පාව­හන් කර්මා­න්තය

 

මීට වසර ගණනාවකට පෙර සිට ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ සහ පාවහන් කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. මිනිසුන්ට අත්‍යවශ්‍යම නිෂ්පාදනයක් ලෙස සලකන පාවහන් වර්තමානයේ දී සුවිශේෂී අපනයන නිෂ්පාදනයක් ලෙස ද වර්ධනය වී ඇත. සු‍ළු පරිමාණ, මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ ව්‍යවසාහකයන් තම තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයන් මූලික කර ගනිමින් දේශීය පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා දායක වේ. එපමණක් ද නොව වර්තමානයේ දී පාවහන් කර්මාන්තය හා සබැඳි ස්වයං රැකියාවල නියුතු වූවන්ගේ ද සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබේ. අන්තර්ජාතික මට්ටමට‍ සරිලන ලෙස විවිධ ක්‍රමෝපායන් උපයෝගී කරගෙන අන්තර්ජාතික වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා දේශීය පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් උත්සාහ ගෙන ඇති ආකාරය කදිමය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අන්තර්ජාතික වෙළෙඳ පොළට කල්පවත්නා, ගුණාත්මක බවින් යුතු පාවහන් හඳුන්වා දෙන ශ්‍රී ලංකීය පාවහන් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වර්තමානයේ පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රයට පවතින අභියෝග සහ ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව දැක් වූ අදහස් පහත දැක්වේ.

*2008 වර්ෂයේ තමයි අපි මුලින්ම ව්‍යාපාරය පටන් ගත්තේ. අපි ඉස්සෙල්ලාම ලෙදර් බෑග් තමයි පාරිභෝගිකයන්ට දුන්නේ. ඒ කාලේ යුද්දේ තිබුණ හින්දා අපි ළඟ තිබුණ ලෙදර් බෑග් විකුණ ගන්න අමාරු වුණා. අපිට ලොකු පාඩුවක් සිද්ධ වුණා. බැරිම තැන අපි සෙරෙප්පු හදන්න පටන් අර ගත්තා. අපි කලින් කරපු ව්‍යාපාර සංකල්පය මුළුමනින්ම වෙනස් කරන්න අපට සිද්ධ වුණා. සාමාන්‍ය‍යෙන් අපි ලෙදර් සපත්තු යුගලක් අපි රුපියල් 1200-1300 කට තමයි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. අපි අපේ සපත්තු විදේශිකයන් නිරන්තරයෙන් ගැවසෙන හික්කඩුව, මීගමුව වැනි ප්‍රදේශවල අලෙවි කරනවා. ඔවුන්ගෙන් අපේ සපත්තුවලට විශාල ඉල්ලුමක් තියෙනවා. 2018 වර්ෂයේ ආරම්භයේ දී නම් අපේ සපත්තුවලට හිතපු තරම් ලාබයක් ගන්න බැරි වුණා. දැන් ශ්‍රී ලංකාවේ සපත්තු කර්මාන්තය විශාල අර්බුදයකට ගොදුරු වෙලයි ඉන්නේ. ඉන්දියාවේ V K C කියලා සමාගමක් තියෙනවා. ඒ ගොල්ලන්ට හොඳ ආර්ථික මට්ටමකුයි, පහසුකම් හිඟතාවක් නොවන හින්දා සපත්තු සෙරෙප්පු ඉතාමත් අඩු මිලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ඒ හින්දා අනාගතයේ දී දේශීය සපත්තු ව්‍යාපාරකයන්ට ඔළුව උස්සන්න ලැබෙන්නේ නෑ. අපි අපේ ව්‍යාපාර කරගෙන යන්නේ ගේ දොර, ඉඩකඩම් උකස් කරලයි. අපිට අපේ ව්‍යාපාරය ඉදිරියේ දී කරගෙන යන්න බැරි වුණොත් අපිට ඉන්න හිටින්න තැන් පවා නැතුව යනවා. යනුවෙන් Leather Trend-z හි හිමිකරු තාජුඩීන් මහතා පැවැසීය.

දේශීය පාවහන් කර්මාන්තයේ නියුතු සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තම පාවහන් ව්‍යාපාරය යම් තරමකින් හෝ සංවර්ධනය කර ගැනීම සඳහා අනාගතයේ දී මුහුණ දීමට තිබෙන අභියෝග සුවිශාලය. ඇතැම් ව්‍යාපාරිකයන් තම ගේදොර උකසට තබා ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට කැප වී සිටී. ඔවුන් පවසන අකාරයට ඔවුන්ගේ ජීවිතය රඳා පැවැතී තිබෙන්නේ මේ ව්‍යාපාරය මතය. ව්‍යාපාරය අඩාල වුවහොත් ඔවුන්ට ජීවත්වන්නට වාසස්ථාන ද නැති වීමට ඉඩ තිබේ.

* මම අවුරුදු 25ක් තිස්සේම සපත්තු, සෙරෙප්පු කර්මාන්තයේ සිටිනවා. ඒ වුණත් Eco Trend එක පටන් අරන් දැනට අවුරුදු 05ක් විතර වෙනවා. අපි සපත්තු , සෙරෙප්පු පාරිභෝගිකයන්ට රුපියල් 1200, රුපියල් 850, රුපියල් 900 වැනි මිල ගණන්වලට අලෙවි කරනවා. අපි අපේ පාවහන් කිහිපයක් දැනට ජපානයට අපනයනය කරලා තියෙනවා. ඉදිරියේදීත් වෙනත් රටවලට අපනයනය කරන්න හිතාගෙන ඉන්නවා. අපේ පාවහන් පාදවල විවිධ අසාත්මිකතාවන් තිබෙන පුද්ගලයන්ට ගොඩාක් වටිනවා. පන් වියන අය ඉන්න කළුතර, කුලියාපිටිය වැනි ප්‍රදේශවලින් අපි අපේ පාවහන්වලට අවශ්‍ය පන් මිලදී ගන්නවා.

අපෙන් පාවහන් මිලදී ගන්න පාරිභෝගික පිරිසක් වෙනම ඉන්නවා . ඔවුන් සෑම කෙනෙක්ම දන්නවා අපේ පාවහන් කොපමණ ගුණාත්මක ද කියලා. ඔවුන්ට අමුතුවෙන් අවබෝධ කරලා දෙන්න අවශ්‍ය නෑ. යනුවෙන් Sena Eco( pvt ) Ltd හි හිමිකරු එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේය.

පාවහන් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සමඟ නැවුම් ව්‍යවසායක සංකල්පයන් ඉස්මතු කොට ගනිමින් පෙර නොවූ නිෂ්පාදනයක් හඳුන්වා දීමට ඇතැම් ව්‍යාපාරිකයන් උනන්දු වී සිටී. එවැනි පාවහන් ව්‍යාපාරිකයන්ට තමන්ට අනන්‍ය වූ පාරිභෝගික ප්‍රජාවක් ද ඇත. අන්තර්ජාතික වෙළෙඳ පොළට අපනයනය කරන දේශීය පාවහන්වලට වර්තමානයේ දී සැලකිය යුතු ඉල්ලුමක් ද තිබේ.

* මම මේ ව්‍යාපාරය ආරම්භ කරලා දැන් අවුරුදු 12ක් වෙනවා. මුලින්ම ආරම්භ කරන කොට අපි ළඟ තිබුණේ සෙරෙප්පු 12ක් විතරයි. අපි 100 % ක්ම සිදු කරන්නේ අපනයනය තමයි. local market එකට අපි අපේ සපත්තු සෙරෙප්පු හඳුන්වලා දීලා තියෙනවා sales organiz ලා විඳිහට අපි වැන්කුවර්, ටොරෙන්ටෝ, දකුණු අප්‍රිකා, ජොහැනස්බර්ග්, ඔසාකා, සිඩ්නි සහ වේල්ස් වැනි ලෝකයේ ප්‍රසිද්ධ නගරවලට අපි අපේ පාවහන් අපනයනය කරනවා. අපි අපේ පාවහන් රුපියල් 750-6000,7000 වැනි මිලකට තමයි දේශීය පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. අපි පාවහන් මහන්නයි, කපන්නයි විතරයි මැෂින් පාවිච්චි කරන්නේ. අනෙක් සෑම දෙයක්ම සිදු කරන්නේ අතින් තමයි. අපි අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වූවට ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ගැළපෙන විදිහට තමයි පාවහන් නිර්මාණය කරන්නේ. මම නම් කියන්නේ හොඳ දෙයක් පාරිභෝගිකයාට ලබා දුන්නොත් හොඳ ප්‍රතිචාර ලබා ගන්න පුළුවන් කියලයි. අපිටම විශේෂ වූ පාරිභෝගික පිරිසක් අපිට ඉන්නවා. වර්තමානයේ සමහර කඩවල සෙරෙප්පු දෙකක් රුපියල් 80 කටත් දෙනවා. ඒවා ජපානයෙන් ගෙන්වන ඒවා. ඒවා ශ්‍රී ලංකාවේ මිනිසුන්ට වැඩිකල් පාචිච්චි කරන්න බෑ. දැන් බත් පැකට් එකක්වත් රුපියල් 80 කට දෙන්න බැරි කාලේ සෙරෙප්පු දෙකක් එවැනි මුදලකට දෙන්නේ කොහොම ද කියලා හිතා ගන්න බෑ. එවැනි දේවල් හින්දා දේශීය පාවහන් කර්මාන්තය අර්බුද තත්ත්වයක පවතිනවා කියලයි මම කියන්නේ. යනුවෙන් Body warp desingwear හි හිමිකරු වන තිලාන් විතාරණ තම අදහස් දැක්වීය.

ඇතැම් පාවහන් ව්‍යාපාරිකයන් කොපමණ අභියෝග පැවැතිය ද නොසැළී ඉදිරියට ගමන් කිරීමට හැකි වන ලෙස තම ව්‍යාපාරය ගොඩනඟා ඇත. විදේශීය පාවහන් සමාගම් තමන්ට කළ හැකි සියලු දෑ සිදු කළ ද තම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳව විශ්වාසනීයත්වය දක්වන ව්‍යාපාරිකයන් ද වර්තමානයේ දී හඳුනා ගැනීමට පුළුවන. ‍

 

 l අපි අපේ පාවහන් කිහිපයක් දැනට ජපානයට අපනයනය කරලා තියෙනවා. ඉදිරියේදීත් වෙනත් රටවලට අපනයනය කරන්න හිතාගෙන ඉන්නවා. අපේ පාවහන් පාදවල විවිධ අසාත්මිකතාවන් තිබෙන පුද්ගලයන්ට ගොඩාක් වටිනවා.

*Supun Group of Company හි මෙහෙයුම් කළමනාකරු වන අෂාර් ෂාහිම් මහතා ප්‍රකාශ කළේ මෙසේ ය.

මේ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට අංක එකේ සිටින සමාගමක්. අපි අප්‍රිකානු රටවලට තමයි අපේ පාවහන් වැඩි වශයෙන් අපනයනය කරන්නේ. අපි වගේ දේශීය පාවහන් ව්‍යාපාරිකයන්ට තිබෙන ලොකුම ගැටලුව තමයි ඉන්දියාවේ V K C සමාගම, ඔවුන් ඉන්දියාවේ ප්‍රකට සමාගමක්. ඔවුන් අඩු මිල ගණන්වලට තමයි ශ්‍රී ලංකාවට පාවහන් හඳුන්වලා දීලා තියෙන්නේමේ නිසා දේශීය පාවහන් කර්මාන්ත ශිල්පීන්ට අසරණ තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් පසුගිය දිනක කථාබහ වුණා. අපි ගොදුරුවෙලා සිටින මේ අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයාටත් දැනුම් දෙන්න කටයුතු කරනවා.

වර්තමානයේ දී ඉන්දියාවේ V K C නමැති සමාගම, ‍ශ්‍රී ලාංකීය පාවහන් ව්‍යාපාරවලට අභියෝගයක් වී ඇත. එනිසා දේශීය පාවහන් අළෙවිකරුවන් බිය වී සීටී. ඒ මන්ද යත් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය අගාධයට පත් වෙතැයි යන්න හේතු කොට ගෙනය. එනිසා රජය මැදිහත්වීම මඟින් හෝ මේ සඳහා නිසි ක්‍රමවේදයක් ගෙන දේශීය පාවහන් කර්මාන්තයේ හෙට දවස සුබවාදී කරනවා නම් වඩාත් යහපත් යැයි ප්‍රකාශ කිරීමට පුළුවන.

 මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න