නොවැටුණු කෙනෙක් නැති පුංචි ඡන්දය | දිනමිණ

නොවැටුණු කෙනෙක් නැති පුංචි ඡන්දය

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය අතුල විතානවසම්

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ශ්‍රී ලාංකීය දේශපාලනයේ අනාගත දිශානතිය කොයි ආකාරයක් වේද යන ප්‍රශ්නය මේවන විට බරපතළ ලෙස සමාජය තුළ කතා බහට ලක් වෙමින් තිබේ. 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ බිහි වූ නව දේශපාලන සංස්කෘතිය තුළ ජාතික ආණ්ඩු සංකල්පය පෝෂණය කරමින් එකට ආණ්ඩු කළ අඩසියවසකට වඩා ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපය අභිබවා යමින් නව දේශපාලන පක්ෂයක් මැතිවරණයේ බහුතර බලය ලබා ගැනීම මැතිවරණ ප්‍රතිඵලයේ විශේෂතම ලක්ෂණයකි.එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව පළාත් පාලන 341 න් 239 කම බලය හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මෙම ප්‍රතිඵලය අපේක්ෂා නොකළ එකකි.විධායක ජනපති ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අග්‍රාමාත්‍යය ධූරය එජාපයටත් තිබියදී ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් පාලන ආයතනවල බහුතර බලය එම දෙපාර්ශ්වයටම නොදී නව පක්ෂයක් වෙත ලබා දීම පිණිස ශ්‍රී ලාංකීය ඡන්ද දායකයා තීරණය කළේ ඇයිද යන්න පිළිබඳව පරාජිතයන් මෙන්ම ජයග්‍රාහකයන්ද විමසුම් ඇසින් බැලීම ඉතා වැදගත් ය. මන්දයත් එමඟින් මෙරට දේශපාලනයේ ඉදිරි ගමන් මඟ තීරණය වන්නේ කුමන කාරණා පදනම් කරගෙනද යන්න සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බැවිනි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පැමිණ 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසු 1952 මුහුණ දුන් ප්‍රථම මැතිවරණයේදී ආසන 11 ක් හිමිකර ගත්තේය.එක්සත් ජාතික පක්ෂය 1977 දී ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රීලනිපය ආසන 08 ට අද වැටෙත්දීවත් නො ලැබූ ආකාරයේ පරාජයක් මෙවර එම පක්ෂයට හිමිවිය.ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත් කරමින් සුවිශේෂි ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිවූයේ ජනාධිපතිවරණය පරාජය වී මාස කිහිපයක් තුළ මහ මැතිවරණයකට මුහුණදී එහිදීද සැලකිය යුතු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නොහැකි වූ මහින්ද රාජපක්ෂ නම් දේශපාලනඥයාගේ ජනප්‍රිය බව නිසාද නැතහොත් බලයේ සිටි ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසාද යන්න විමසුම් ඇසින් දැකිය යුතුව ඇත.

මහින්ද හිතවාදීන් පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ තවමත් මෙරට පාලනය සඳහා බහුතර ජනතා කැමැත්ත ඇත්තේ මහින්දට බවය.එහෙත් එය එසේ නොවන බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පෙනී යයි.වලංගු ඡන්ද ඡන්ද ප්‍රතිශතයෙන් මහින්ද නායකත්වය දුන් පොදුජන පෙරමුණ 45% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිත්දී ඊට විරුද්ධව 55 % ක ජනතාවක් ඡන්දය ලබාදී තිබේ.ජාතික මැතිවරණයකදී මෙම ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන බව අනුමාන කරන්නට මෙම දත්ත මගින් පසුබිම සැලසෙන අතරම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රිලනිපය ප්‍රබල පසුබෑමකට ලක්වූයේ ඇයිද යන්නට පිළිතුරුද ප්‍රතිඵල විශ්ලේෂණය තුළින්ම ලබා ගැනීමට පුළුවන.

නිදහසින් පසු ගෙවුණු හැත්තෑ වසර තුළ තට්ටු මාරු ක්‍රමයට බලයේ සිටි ප්‍රධාන පක්ෂ දෙක පසුගිය ජනපතිවරණයෙන් පසු ප්‍රථම වතාවට ජාතික ආණ්ඩුව ස්වරූපයෙන් එකට එක්ව ආණ්ඩු කරන්නට විය.මෙය මෙරට ජනතාවට මෙන්ම දේශපාලන සංස්කෘතියටද අලුත් දෙයක් වූ අතර ගත වූ වසර දෙකහමාරක කාලය තුළ ජාතික ආණ්ඩුව තුළ කටයුතු කළ පක්ෂ දෙකේ නායකයන්ද මැති ඇමැතිවරුද එවැනි ආණ්ඩුවක් තුළ තිබිය යුතු ගුණාංග සම්බන්ධව අනවබෝධයෙන් කටයුතු කළ බවක් පැහැදිලිව පෙනෙනන්ට තිබිණි.ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව ආණ්ඩුවක් පිහිටවුවද ඒ තුළ පක්ෂ දෙක දෙමඟක යන බවක් රටේ ජනතාවට දක්නට ලැබිණි.තනි පක්ෂයක් විසින් ආණ්ඩු කරන විට ආණ්ඩුව තුළ ඇති අභ්‍යන්තර අර්බුද අනාවරණය වීම වලක්වා ගැනීම පිණිස මැති ඇමැතිවරු අතර විනයක් පවත්වා ගෙන ගිය නමුත් ජාතික ආණ්ඩුව එම පිළිවෙත සම්පූර්ණයෙන්ම බිඳ දමමින් එජාපයේ වැරදි ශ්‍රීලනිපයත්,ශ්‍රීලනිපයේ වැරදි එජාපයත් එළිපිට විවේචනය කරන්නට පෙළඹිණි.විපක්ෂය මඟින් කළ යුතු අනාවරණ හා විවේචන ආණ්ඩුව තුළ සිටි පක්ෂ දෙකේ ඉදිරි පෙළ නායකයන් යස අගේට සිදු කරත්දී මහින්ද ප්‍රමුඛ පොදුජන පෙරමුණ නිකන් ඉඳ ලකුණු දමා ගත්තේය.ආණ්ඩුව තුළ සිට එකිනෙකා විවේචනය කිරීම මගින් ප්‍රධාන පක්ෂ දෙක හිතුවේ තම තමන්ගේ ඡන්ද ගොඩ වැඩිවේයැයි කියාය.එසේ වුවත් අවසානයේ සිදු වූයේ එම දෙපාර්ශ්වයම වෙනුවට ජනතාව වෙනත් විකල්පයක් තෝරා ගැනීමය.

ඉතිහාසය පුරා සිදු වූයේ එජාපය එපා වනවිට ජනතාව ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක් වෙත ආකර්ෂණය වීමය.ශ්‍රීලනිප ප්‍රමුඛ කණ්ඩායමේ පාලනය එපා වූ විට ජනතාව යළිත් කළේ එජාපයට බලය දීමය.ජාතික ආණ්ඩුව තුළ මෙම දෙපක්ෂය එකට ආණ්ඩු කරත්දී ඇතිවූ වැරදි සම්බන්ධව ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා ජනතාවට තෝරා ගැනීමට තිබූ එකම විකල්පය පොදු ජන පෙරමුණය.ජනතාව මෙවර සිදුකර තිබෙන්නේ එයය.ජාතික ආණ්ඩුවක් නො තිබී එජාපය හෝ ශ්‍රීලනිපය තනිව ආණ්ඩුවක් කර තිබුණේ නම් නිදහසින් පසු පැවැති තට්ටු මාරු ක්‍රමයට අනුව ජනතාව මෙවරද එම පක්ෂ දෙකෙන් විපක්ෂයේ සිටි කණ්ඩායමට බලය දෙනු නොඅනුමානය.

අනෙක් පසින් වැදගත් වන්නේ යහ පාලන ආණ්ඩුව මෙතරම් ඉක්මනින් තමන් කෙරෙහි පැවැති ජනප්‍රසාදයට හානි කර ගත්තේ ඇයිද යන්නය.පසුගිය රජය බිඳ වැටීමත් සමඟ වත්මන් ආණ්ඩුව බාර ගත්තේ අති විශාල ණය කන්දරාවක් සහිත රටක් බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.එසේම සයිටම් වැනි ප්‍රශ්න එම රජය මගින් බීජ වපුරුවා ඇතිකර තිබූ ඒවාය.ප්‍රශ්න කන්දරාවක් සමඟ රටක් බාරගත් පසු ඒ පිළිබඳ ආණ්ඩුව ප්‍රකාශ කරන අසීරුතා දීර්ඝ කාලයක් අසා සිටින්නට ජනතාව කැමැති නැත.මෙම රජය පසුගිය රජයේ ණය පිළිබඳ තොරතෝංචියක් නොමැතිව සෑම ප්‍රශ්නයකදීම මන්තරයක් මෙන් මැතිරීම කල් යත්ම ජනතාවට එපා විය.

සයිටම් ප්‍රශ්නය හේතුවෙන් සිසුන් මහපාරට බැස උද්ඝෝෂණ කරමින් සාමාන්‍ය ජනතාව අසීරුතාවට පත් කරත්දී වෛද්‍යවරු නිතර වර්ජන කරමින් අනෙක් පැත්තෙන් රෝගීන් පීඩාවට පත් කළහ.පෙර කවර දිනක හෝ නොදුටු පෙට්‍රල් පෝලිම් රටේ නිර්මාණය වෙත්දී පොහොර ඉල්ලා ගොවීන්ට උද්ඝෝෂණ කරන්නට සිදුවිය.අවස්ථා ගණනාවකදී රටේම විදුලිය බිඳ වැටෙත්දී සහල් හා පොල් මිල ඉහළ ගියේ ජනතාවට දරාගත නොහැකි ලෙසය.

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන වංචා හා දූෂණවලට සම්බන්ධ වූවන්ට නීතිය හමුවට ගෙනවිත් දඩුවම් දීම දිනෙන් දින ප්‍රමාද වීම ඔස්සේ චෝදනාවලට ලක්ව සිටි පිරිස් හැකිනම් වැරදි ඔප්පු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමින් ඒවා දේශපාලන පළිගැනීම් ලෙස අර්ථකථනය කළහ.හොරුන් අල්ලන්නට ආ පිරිස් මහ බැංකුව හොරා කෑ බවට චෝදනා එල්ල වත්දී ආණ්ඩුව තුළින්ම ඒ සම්බන්ධ බරපතළ විවේචන එල්ල විය.ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණය ව්‍යාපාරය තුළ බැඳුම්කර වංචාව සම්බන්ධව විවිධ අදහස් පළ කරමින් කතා කර ශ්‍රීලනිපය පිරිසිදු පක්ෂයක් ලෙස මතු කරන්නට උත්සාහ කළත් අවසානයේ සිදුවූයේ යහ පාලන ආණ්ඩුවටම එරෙහිව ජනමතයක් ගොඩනැගීමය.

රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම,දේශීය සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලයට විකිණීම,රණවිරුවන් පාවාදීම වැනි චෝදනා රජයට පසුගිය කාලයේ එල්ල කරන්නට ඒකාබද්ධ විපක්ෂය ප්‍රබලව කටයුතු කළත් මෙවර මැතිවරණයේදී ජනතාව එවැනි කරුණු සම්බන්ධව අවධානයක් යොමුකර ඇතැයි සිතිය නොහැකිය.රට බෙදීම හා දේශීය සම්පත් විකිණීම යන කාරණයන් හිදී ප්‍රබලව චෝදනාව එල්ල වන්නේ එජාපයටය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයට මුළුමනින්ම සමපාත මතයකය.ඡන්ද ප්‍රතිඵලය අනුව එජාපය 33 % කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ.පළාත් පාලන ආයතන 41 ක බලයද ඔවුන් හිමිකර ගෙන ඇත.අනෙක් පසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකීය යන කාරණය මුල් කරගෙන කටයුතු කළේය.උතුරේ ජනතාව එම ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයටත් වඩා වැඩි බලයක් ශ්‍රීලනිපයට ලබාදීම තුළින් පැහැදිලි වන්නේද ඉහත කී කාරණා සම්බන්ධව ප්‍රබල අවධානයක් ජනතාව ඡන්දයේදී මතුකර නොමැති බවයි.

විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කරීම,දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම,තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම වැනි සමාජ ප්‍රගමනය සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිසත් බලපාන්නා වූ වැදගත් තීන්දු තීරණ ගණනාවක් වත්මන් ආණ්ඩුව විසින් ගනු ලැබීය.යහ පාලන ආණ්ඩුව බිහි වීමෙන් පසු දේශපාලන ඝාතන,අතුරුදන් වීම් කිසිවක් සිදු නොවුණි.මෙම කරුණු කෙරෙහි ජනතාව සංවේදී නොවූ බවක් ප්‍රතිඵල මගින් ගම්‍ය වෙයි.

එසේ නම් අප තේරුම් ගත යුතුව ඇත්තේ ජනතාව වඩා සංවේදී වන කරුණු කෙරෙහි ආණ්ඩුව සංවේදී නොවී ඇති බවයි.තමන් ගන්නා වැටුපෙන් ජීවිතය අසීරුතාවක් නොමැතිව ගෙන යෑමට ජනතාවට අවශ්‍ය පසුබිම සැකසීම කෙරෙහි රජය එතරම් අවධානයක් යොමු නොකළ බව පසුගිය වසර තුන තුළ පැහැදිලිව දක්නට ලැබිණි.මෙම රජය ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී දැඩි දුර්වලතාවක් දක්වයි.එය ඉවසා සිටි ජනතාව මැතිවරණයේදී දී ඇත්තේ ආණ්ඩුවට හොඳ කනේ පාරකි.

2015 දී මහින්ද පරාජය කළත් මහින්ද ගොඩනැගූ රෙජීමය වෙනස් කරන්න මෛත්‍රීට නොහැකි විය.හමුදාව,පොලීසිය,අධිකරණය,වෛද්‍ය වෘත්තියේ,රාජ්‍යය පරිපාලනයේ සිට මෙම රෙජීමයේ නියෝජිතයින් මහින්ද වෙනුවෙන් වැඩ කළහ.රට අවුල් කිරීම පිණිසය මොවුන් කළ මෙහෙයුම් තේරුම් ගැනීමට රජය අපොහොසත් වීමද මෙවැනි ඡන්ද ප්‍රතිඵලයක් මතු වීමට හේතු විය.ජනපති මෛත්‍රී මහින්දට විකල්පයක් මිස ආදේශකයක් නොවිය යුතුය.පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය හරහා මහ මැතිවරණයකට යායුතු බව කියමින් ජනපති අතකොළුවක් බවට පත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කරන උත්සාහය සාර්ථක වුවහොත් නැවතත් රට ඇදීයන්නේ 2015 ට පෙර පැවති යුගයටය.එය මෙරට ජනතාව කිසිසේත් අපේක්ෂා නොකළ දෙයකි.මෙම ප්‍රතිඵලය මගින් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා දී නොමැත.ලැබුණු ජනවරම උපයෝගි කර ගනිමින් ආණ්ඩුව අස්ථාවර කිරීම පිණිස ඉදිරි කාලය තුළ වැඩවර්ජන,උද්ඝෝෂණ,කඩාකප්පල්කාරී ක්‍රියා බොහොමයක් සිදුවිය හැකිය.ඒ සියල්ල මහින්දගේ ගිණුමට බැරකර උඩ බලාගෙන නොසිට ඒවා ඇති වීම වැළැක්වීම පිණිස කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමය.ජනතාව දුන් කනේ පාර පාඩමකට ගෙන දැන් හෝ ජනතාව 2015 ජනවාරී 08 දින බලය දී අපේක්ෂා කළ ගමන යෑමට ආණ්ඩුව ප්‍රමාද නැත.

සටහන අසේල කුරුළුවංශ


නව අදහස දක්වන්න

Or log in with...