දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුමට මිලියන 85ක් | දිනමිණ

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුමට මිලියන 85ක්

ගීෂා මුණසිංහ
පසුගිය වසරේ හොඳම ක්‍රීඩා සමාජය එස්.එස්.සී.පිලට වෑන් රථය පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, උපසභාපති මොහාන් ද සිල්වා මහත්වරු ද මෙහි වෙති. (වමේ) සහ පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ චතුරංග ද සිල්වාට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෝටර් රථය පිරිනැමූ අයුරු. ඡායාරූප-රංජිත් අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 104 දෙනෙකුට රුපියල් මිලියන 85ක් ආයෝජනය කරමින් ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමනු ලැබීය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සමතිපාල මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවනාගාරයේ මේ කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීම සිදුවූ අතර ඊට සමගාමීව පසුගිය වසරේ දේශිය ක්‍රිකට් පිටියේ දස්කම් දැක් වූ දක්ෂතම ක්‍රීඩකයාට රේනෝට් වර්ගයේ මෝටර් රථයක් හා හොඳම ක්‍රීඩා සමාජයට නිසාන් වර්ගයේ වැන් රථයක් පිරි නමනු ලැබීය.

පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ චතුරංග ද සිල්වා මෝටර් රථයට හිමිකම් කී අතර එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වසරේ හොඳම ක්‍රීඩා සමාජය ලෙස වැන් රථය හිමිකර ගත්තේය.

වසර 2016 -2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ අන්තර් සමාජ තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගෙන් හා අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදි දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මේ ගිවිසුම් පිරිනමා ඇත. ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන්, අවුරුදු 23 -29 අතර නැගී එන ක්‍රීඩකයන්, අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්, ජාතික කණ්ඩායම නියෝජනය කළ හා මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් මෙන්ම මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් කාණ්ඩ පහක් යටතේ ක්‍රීඩකයන් 104 දෙනෙකු වෙනුවෙන් කොන්ත්‍රාත් ගිවිසුම් පිරීනැමීය.

නව කෙන්ත්‍රාත් ගිවිසුමට සමගාමිව එක් ක්‍රීඩකයකු උදෙසා රුපියල් ලක්ෂ විසිපහක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරණයක්, ලක්ෂ තුනක් බැගින් වූ වෛද්‍ය රක්ෂණයක් ද පිරිනමන ලදී.

 

නව අදහස දක්වන්න